ඉතිහාසයෙන් පිටුවක්

දුටුගැමුණු මාවතේ සිට බලන විට ඩේව්ගේ බෝගස ජාත්‍යන්තර පාසලේ ගොඩනැගිල්ලට ඉහළින් පෙනෙන්නේ මෙලෙසය.

මහවැලි ගඟ පොල්ගොල්ල වේල්ලට දිස්වන අයුරු. ඩේව් ඇතුළු පිරිස ගඟින් එතෙර වීමට උත්සාහ කර ඇත්තේ ගඟේ මේ පෙදෙසින්ය. 

වාගොල්ල පොදු සුසාන භූමිය

 

 

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගෙත් මුහුදු බඩ පෙදෙස් පාලනය කළ ඉංග්‍රීසීන්ගෙත් විශේෂ අවධානයට යොමු වී සිටි සිරකරුවෙක් සිටියේය. ඔහු ඇඩම් ඩේව්ය. ඉංග්‍රීසිහු ඩේව් නිදහස් කරගන්නට අපමණ වෙහෙසක් දැරූහ. ඒ වෙහෙස ගඟට කැපූ ඉනි මෙන් විය. අවසානයේදී සිදුවූයේ ඩේවිට මහනුවරදී අවසන් සුසුම් පොද හෙළන්නටය. 


1803 වර්ෂයේ පෙබරවාරි 21 වැනිදා බ්‍රිතාන්‍ය හමුදා මහනුවරට එන විට ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාත් ඔහුගේ මැති ඇමැතිවරුත් නගර වැසියොත් ඌවේ කඳුකරයට පලා ගොස් එහි ලැගුම් ගෙන සිටියෝය. කිසිදු ගැටලුවකින් තොරවම ඉංග්‍රීසීහු මහනුවර බලය පිහිටුවා ගත්හ. රජකමට අයිතිවාසිකම් කියූ මුත්තුසාමි කුමාරයා මාර්තු 8 දා සිංහල සිරිත් විරිත් අනුගමනය කරමින් රජකමට පත්කරන්නට ඉංග්‍රීසීහු පියවර ගත්හ. 


1803 ජූනි 24 දිනය ඉංග්‍රීසීන්ට දැඩි පීඩාවක් ගෙන දෙන දිනයක් වූයේ ඔවුන්ගේ මහනුවර බළකොටුවට ශ්‍රී වික්‍රමගේ හමුදාවන්ගෙන් දැඩි ප්‍රහාර එල්ල වීම හේතුවෙනි. ඉංග්‍රීසි සේනාවේ නායකයා වූයේ මේජර් ඇඩම් ඩේව්ය. ශ්‍රී වික්‍රමගේ ප්‍රහාරයන්ට මුහුණ දෙන්නට හැකියාවක් නොමැති බව ඔහු තේරුම් ගත්තේය. හවස 2.00 ට පමණ බළ කොටුවේ සුදු කොඩියක් එසවූයේ යටත් වූ බව සංකේතවත් කරන්නටය. 


යටත් වීමේ කොන්දේසි අනුව මේජර් ඇඩම් ඩේව් මුත්තුසාමි කුමාරයා යුරෝපීය නිලධාරීන් හා භටයන්, මැලේ භටයන්, බෙංගාලි ලංසක්කාරයන් හා ඉන්දීය පුරෝගාමී භටයන් මහනුවර හැරදා ත්‍රිකුණාමලයට යාම සඳහා උඩවත්ත කැලය හරහා මහවැලි ගංතෙරට ගියහ. ඒ වනවිට හවස් වී තිබිණ. වර්ෂාව නිසා මහවැලි ගඟ දෙගොඩතළා ගලා යමින් තිබිණ. ගඟින් එතෙර වීමට ක්‍රමයක් නොතිබූ නිසා ගඟ අද්දර තිබූ බෝ ගසක් යට ඔවුහු ලැගුම් ගත්හ. වර්ෂා සහිත එම රැයෙහි කිසිවකුගෙන් කිසිදු ප්‍රහාරයක් ඔවුනට එල්ල නොවිණ. 


වැස්සට තෙමී බෝ ගස යට ලැගුම් ගෙන සිටි ඔවුනට කුසගින්නද හොඳ හැටි දැනෙමින් පැවතිණ. ජූනි 25 දා හිරු උදාවන විට කුමකින් කුමක් සිදුවේදෝයි යන්න තෝරා බේරාගත නොහැකිව තැතිගෙන සිටියහ. සිංහල සේනාවෙන් දැනුම් දීමක් ලැබී තිබුණු අතර එයින් කියැවුණේ මුත්තුසාමි කුමාරයා තමනට ලබාදෙන ලෙසය. 


එසේ ලබාදුනහොත් මහවැලි ගඟින් එතෙර වීමට පහසුකම් සැපයෙන බවද කියවිණ. කළ හැකි කිසිවක් නොවීය. මුත්තුසාමි කුමාරයා ශ්‍රී වික්‍රමගේ සේනාවට භාර දෙන්නට සිදුවිය. ශ්‍රී වික්‍රම රජු ළඟට කැටුව ගිය මුත්තුසාමි කුමාරයාට සිදුවූයේ හිස් ගැසුම් කා මිය යන්නටය. 


ශ්‍රී වික්‍රමගේ සේනාව මේජර් අැඩම් ඩේව් සහකාර නිලධාරීවරුන් වන රම්ලි හා හම්ප්‍රීස් මැලේ හමුදාවේ නායකයා වූ නවුරදීන් හා ඔහුගේ සහෝදරයා අත්අඩංගුවට ගත්හ. 


ඉතිරි වූ ඉංග්‍ර්‍රීසි හමුදාවේ පිරිස් වාගොල්ලට කැටුව ගොස් ඉතා ම්ලේච්ඡ හා කුරිරු සහගත අන්දමට කපා කොටා පහර දී මරා දැම්මෝය. 


මරණයට පත් කිරීම සඳහා තලාපෙලා පහර දුන් බාන්ස්ලේ නමැති හේවායා මළමිනී මැද සිහි නැතිව සිට ඇත. පහර දුන් අය සිතා ඇත්තේ ඔහු මිය ගොස් ඇතැයි කියාය. සිහිය ලැබුණු විට කාටත් හොරා ගං ඉවුරට පැමිණ තොටියෙකුගේ ආධාරයෙන් ගඟෙන් එතෙර වී ත්‍රිකුණාමලයට ගොස් ඇත. බේරී පලා යන්නට හැකිවූ එකම හේවායා ඔහුය. 


රම්ලි හා හම්ප්‍රීස් ටික කලකින් මිය ගොස් ඇත. නවුරදීන් හා ඔහුගේ සහෝදරයා මාසයකින් පසු මරා දමා ඇත. 


ඇඩම් ඩේව්ට වසර නවයකට අධික කාලයක් නිදහස් සිරකරුවකු ලෙස කල් ගෙවන්නට හැකියාව ලැබී තිබේ. ශ්‍රී වික්‍රම රජුගේ අණින් කාන්තාවන් දෙදෙනෙක් ඇසුරු කිරීමටද අවස්ථාව සැලසී තිබේ. ඉංග්‍රීසීන් ඩේව් නිදහස් කරගන්නට උත්සාහයන් රැසක් කර ඇතත් ශ්‍රී වික්‍රම රජු ඩේව් නිදහස් කරන්නට කිසිදු උනන්දුවක් දක්වා නැත. අසනීපව සිටියදී ඔහුට 1811 දෙසැම්බර් මස 12 සහ 1812 ජනවාරි 12 අතර දිනයකදී ස්වභාවික මරණයක් හිමිවී තිබේ. 


ඩේව් මියගොස් මේ දක්වා ගෙවී ඇති කාලය වසර 206 ක් පමණ වේ. මහනුවර මහවැලි ගඟ හරහා ඉදිකර තිබෙන පොල්ගොල්ල වේල්ල මතින් ගමන් කර දුටුගැමුණු මාවතින් ඉහළට ඇදෙන පරණ ගංතොට මාර්ගයේ ගමන් ගන්නා අයට ඩේව් නමැති නමක් මතක් වන්නේ නිතැතින්මය. එයට හේතු වන්නේ එම පාරට ඩේව් පාර යන්න භාවිත කිරීම හේතුවෙනි. වසර 206 කට පෙර මිය ගිය මේජර් ඇඩම් ඩේව්ගේ නම එම මාර්ගයට යොදා ඇති බව දන්නේ ඉතා සුළු පිරිසක් පමණි. 


ඩේව් ඇතුළු පිරිස උඩවත්ත කැලේ හරහා පැමිණ ගංතොට මාර්ගයෙන් මහවැලි ග​ඟෙන් එතෙර වීමට ගමන් කිරීමත්, මහවැලි ග​ෙඟන් එතෙර විය නොහැකි වූ නිසා එම මාර්ගයෙන්ම ආපසු පැමිණීමත් නිසා සාමාන්‍ය ජනයා එම මාර්ගයට ඩේව් පාර යන්න භාවිත කළා විය හැකිය. එසේ නැතහොත් 1815 කන්ද උඩරට රාජ්‍යයේ බලය අත්පත් කරගත් ඉංග්‍රීසීන් ගංතොට මාර්ගයට ඩේව් පාර යනුවෙන් නම් තැබුවා විය හැකිය. 


වර්තමානයේ ඇතැම්හු එම පාරට දේවි පාර යන නම භාවිත කරති. එය සම්පූර්ණ වැරදි ව්‍යවහාරයකි. වටපුළුව ගම්මානයට පිට පළාත් වලින් පැමිණි අය එම වැරදි ව්‍යවහාරය කරන්නට පෙළඹී සිටිති. ඩේව් යන නම භාවිතා කිරීමේ හේතුව තේරුම් ගෙන දේවි වෙනුවට ඩේව් යන්න භාවිත කිරීමට පෙළඹීම සුදුසු ක්‍රියා මාර්ගයකි. 


ඩේව් වෙනුවෙන් නම් කෙරුණු බෝගසක් වටපුළුවේ මහවැලි ගඟ අද්දර භූමියක තිබේ. වසර 206 කට අධික කාලයක සිට එම බෝධියට වහරන්නේ ඩේව්ගේ බෝ ගස යන්නය. ඉංග්‍රීසීන් එයට පවසා ඇත්තේ David's Bo Tree යන්නය. එය වර්තමානයේ පවතින්නේ මහනුවර මහවැලි ගඟ හරහා ඉදිකර තිබෙන පොල්ගොල්ල වේල්ලට නුදුරින් වූ වටපුළුවේ කොළඹ ජාත්‍යන්තර පාසලේ මහනුවර ශාඛාවේ භූමියේය. 


පාසලේ භූමිය තාප්ප බැඳ ආරක්ෂා කර තිබෙන නිසා එම භූමියට බාහිර කිසිවෙකුට ඇතුළු විය නොහැකිය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් මාහට ලබාදී ඇති හැඳුනුම්පත පාසලේ පාලනාධිකාරියට පෙන්නා බෝධිය නැරඹීමට අවස්ථාවක් ලබාදෙන ලෙස මම ඉල්ලුවෙමි. ඔවුන් පැවසුවේ බෝධිය නැරඹීමට හෝ ඡායාරූප ගත කිරීමට අවස්ථාවක් ලබාදිය නොහැකි බවකි. 


බෝධිය නැරඹීමට අවස්ථාවක් ලබානොදීමට හේතු මම සොයා බැලුවෙමි. බෝධියේ අතු මේ දිනවල කපමින් පවතී. බෝධිය පාමුල තිබූ ශිලා ලේඛනද ඉවත් කර ඇත. 


පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති දේපොළවලට හානි සිදු කිරීම බලවත් වරදකි. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව මේ ඓතිහාසික වටිනාකමකින් යුක්ත බෝ ගසේ අතු කපන්නේ කෙසේදැයි යන්න ගැටලුවකි. 


බෝධිය නැරඹීමට අවශ්‍ය අයට එය පහසුවෙන් නැරඹීමට අවශ්‍ය පරිසරය සකස් කරදීම පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ වගකීමකි. එසේම ඩේව්ගේ බෝ ගසේ අතු කැපීමට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද පුරා විද්‍යා දෙපාර්තමේන්තුව බැඳී සිටී. 


1803 ජුනි 24 හා 25 යන දිනයන්හී ඩේව් ඇතුළු පිරිස මේ බෝ ගස යට ආරක්ෂා සහිතව රැඳී සිටීම ඩේව්ගේ බෝ ගස යන්න භාවිත කිරීමට හේතු වී තිබේ. 


ශ්‍රී වික්‍රමගේ සෙබළුන් මරණයෙන් ගැලවුණු පිරිස හැර අනෙක් අය මරා දමා ඇත්තේ ඩේව් බෝධියට යම් දුරකින් පිහිටි වර්තමාන වාගොල්ල සුසාන භූමි ප්‍රදේශයේදී යැයි සැලකේ. ඇතැම් විට සුසාන භූමියට නුදුරු බිමකදී මරා දැමුවා විය හැකිය. 


සිංහලයන්ට අති මහත් ජයක් අත්වූ ඉංග්‍රීසීන්ට අන්ත පරාජයක් හිමි වූ 1803 ඉංග්‍රීසි ආක්‍රමණයේ සිහිවටන ලෙස අද පවතින්නේ ඩේව් පාර ඩේව් බෝධිය හා වාගොල්ල ප්‍රදේශය පමණි. පරණගංතොට පාර ඩේව් පාර යනුවෙන් නිත්‍යානුකූලව නම් කිරීම සුදුසු වේ. පිටින් පැමිණි පිරිස් දේවි පාර යනුවෙන් කරන භාවිතය නවතා දමා ඩේව් පාර යන්න භාවිත කළ යුතුව ඇත. ඉතාමත්ම අනාරක්ෂිතව පවතින ඩේව් බෝධිය සංරක්ෂණය කරන්නට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ක්‍රියා කළ යුතුය. 

 

 


සටහන හා ඡායාරූප 
හුන්නස්ගිරියේ පාලිත මඩුගල්ලේ