ලෝකයාට පුදුමයක් වුණු ලෝකයේ පුදුම 7   

 

 

ලෝක පුදුම යනුවෙන් හැඳින්වෙන්නේ, මිනිසා විසින් නිර්මාණය කළ සිත් අදහාගත නොහැකි, ඉතා අපූරු ඉදිකිරීම් සහ නිර්මාණය. ගොඩනැගිලි, ප්‍රතිමා, ස්මාරක ආදිය මෙම පුදුම අතරට ඇතුළත්ය. ලෝකයේ ඉපැරණි පුදුම 7 සහ නූතන පුදුම 7 යනුවෙන් ලයිස්තු දෙකකි. ඉපැරණි පුදුම 7 නම් කරනු ලැබ ඇත්තේ ග්‍රීක ඉතිහාසඥ හෙරඩෝටස් (උපත ලබා ඇත්තේ ක්‍රි.පූ. 485 දීය.) විසිනි. නූතන පුදුම 7 නම් කිරීම සිදුවූයේ 2007 වසරේ දී ය. ඒ, ‘ද නිව් සෙවන් වොන්ඩර්ස් ෆවුන්ඩේෂන්’ (නව පුදුම 7 පදනම) නමැති ස්විස්ටර්ලන්තය කේන්ද්‍ර කොටගත් ආයතනයයි. නූතන යුගයේ ලොව පුරා දකින්න ලැබෙන සුවිශේෂී ඉදිකිරීම්, ස්මාරක, ප්‍රතිමා ආදී 200ක් (සීගිරිය පවා මීට ඇතුළත් වුවත් නව පුදුම හතට එය ඇතුළත් නොවිණි.) අතරින්, හතක් තෝරා ගෙන ඒවා නවීන ලෝකයේ පුදුම හත එසේත් නැතිනම් ‘නව පුදුම හත’ යනුවෙන් නම් කිරීම සිදුවිය. එය සිදුවූයේ අන්තර්ජාලය සහ දුරකථන මාර්ග ඔස්සේ, 2001 වසරේ සිට 2007 වසර තෙක් සිදු කළ ජනමත විමසුමකිනි. ලොව සෑම කෙනක්ම පාහේ මෙම ජනමත විමසුමට එක් වූහ. අන්තර්ජාලය ඔස්සේ එක් අයකුට එක් ඡන්ද අවස්ථාවක් පමණක් ලැබුණ අතර, දුරකථන ඔස්සේ කෙනකුට කැමැති ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව ලබා දී තිබුණි. ලොව පුරා මිලියන 100ක පිරිසක් මීට දායක වූහ. ඒ අනුව, තෝරා ගත් ‘පුදුම 7’ 2007 වසරේ ජුලි මස හත් වැනිදා (2007/07/07) පෘතුගාලයේ ලිස්බන් නුවරදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණි.  

 
ග්‍රීක ඉතිහාසඥ හෙරඩෝටස් විසින් නම් කළ පුදුම හතට ගීසා හි යෝධ පිරමීඩ ත්‍රිත්වය ඇතුළත් වෙයි. හෙරඩෝටස්ගේ ඉපැරැණි පුදුම හතෙන් තවමත් ඉතිරි වී ඇති එකම ‘පුදුමය’ ලෙස මෙම පිරමීඩ හැඳින්වෙයි. නූතන පුදුම 7ටද පිරමීඩ ඇතුළත් වෙයි. ඒ, ගරු සඳහන් කිරීමක් ලෙසය. වර්තමාන ඊජිප්තුව පුරාණයේ හැඳින්වූයේ මිසරය යනුවෙනි. මිසරයේ රජකම් කළ රජවරුන් හැඳින්වෙන්නේ පාරාවන් යනුවෙනි. පිරමීඩ යනු, පාරාවන්ගේ සොහොන් ගෙවල්ය.   


මිසරයේ නයිල් නදී මිටියාවතේ එක් කොටසක් හැඳින්වෙන්නේ ‘මළවුන්ගේ මිටියාවත’ (වැලී ඔෆ් ද ඩෙඩ්) යනුවෙනි. ඊට හේතුව පාරාවන්ගේ සිරුරු තැන්පත් කළ පිරමීඩ නමැති සොහොන් ගෙවල් 80ක් පමණ මෙහි තිබීමය. පිරමීඩ ත්‍රිත්වය පිහිටා ඇත්තේ ගීසා නමැති නිම්නයේය. පිරමීඩ ගීසා පිරමීඩ යන නමින් හැඳින්වෙන්නේ ද එහෙයිනි. මෙම පිරමීඩ වසර පන්දහසකට වඩා පැරණිය. මෙම පිරමීඩ අයත් වන්නේ කූෆු, කාෆ්රේ සහ මෙනකුරේ යන රජවරුන් (පාරාවන්) ගේ සිරුරු තැන්පත් කිරීමටය.   


ක්‍රි.පූ. 26 වැනි සියවස, එනම් මීට අවුරුදු 4600කට පෙර පැවැති සියවස, මිසර සංස්කෘතික දියුණුවේ උච්චම අවස්ථාව ලෙස සැලකෙයි. එම කාලයේ පාරාවන් (ලෙස කටයුතු කළේ කූෆු ඔහුගේ පුතු කාෆ්රේ සහ මුනුපුරු මෙනකුරේ ය. පිරමීඩ නිර්මාණය කරන්නැයි අණ දී ඇත්තේ මොවුන්ය. ඒ, ඔවුන්ගේ සොහොන් ගෙවල් හැටියටය.   



ගීසා නිම්නය පිහිටා ඇත්තේ ඊජිප්තුවේ කයිරෝ අගනුවර සිට කිලෝ මීටර් 18ක් දුරිනි. ගීසා නිම්නයේ පළමුවෙන්ම සෑදූ පිරමීඩය කූෆු නමැති රජුගේ පිරමීඩයයි. මෙම පිරමීඩය චියොප්ස් පිරමීඩය ලෙස ද හැඳින්වෙයි. ලෝකයේ විශාලතම පිරමීඩය ලෙස ද සැලකෙන මෙය ‘මහා පිරමීඩය’ යනුවෙන් හැඳින්වෙයි. 14 වන සියවස තෙක්, ලෝකයේ උසම ගොඩනැගිල්ල වූයේ ද මෙයයි. මෙම පිරමීඩය ඉදිකළ අවධියේ මෙහි උස අඩි 481ක් වුව ද දැන් මෙහි මුදුනත කොටස කැඩී විනාශ වී ගොසිනි. කූෆු රජ්ජුරුවන්ගේ මෙම මහා පිරමීඩයේ පාදම අක්කර 13ක් එනම් හෙක්ටයාර 5.3ක් පුරා විහිදෙයි. එක පැත්තක දිග මීටර 230 (අඩි 756) කි. කාෆ්රේ රජුගේ පිරමීඩය ඉදිකර ඇත්තේ කූෆුගේ පිරමීඩයට වඩා අඩි 10ක් උසින් අඩුවෙනි. කූෆු රජුගේ මුනුපුරු මෙනකුරේගේ පිරමීඩය මේ පිරමීඩ දෙකටම වඩා කුඩාය. එහි උස මීටර 66 කි. කූෆුගේ බිසවුන් වෙනුවෙන් ඔහුගේ පිරමීඩය අසල තවත් කුඩා පිරමීඩ ඉදිකර තිබේ. එපමණක් නොවේ, රජ පවුලේ අනෙක් රාජකීයයන් සහ ඥාතීන් වෙනුවෙනුත් මෙම පිරමීඩ සමූහය අසල කුඩා දේවාල සහ සොහොන් ගෙවල් ඉදිකර තිබේ.   


කූෆු රජ්ජුරුවන්ගේ මහා පිරමීඩය මැද මහා වංකගිරියක් වැනි උමං මාර්ගයක් ඇත. මධ්‍යයේ ඇත්තේ දේහය තැන්පත් කර ඇති මධ්‍යම කුටියයි. මෙම පිරමීඩය තැනීමට එකක් මෙට්‍රික් ටොන් 2.27ක් බර හතරැස් හුනුගල් කුට්ටි 2,300,000ක් භාවිතා කර ඇත. මේවා ආනත තල ක්‍රම මගින් ඉහළ පහළ ගෙන ගොස් ඇතැයි විශ්වාස කරයි. මෙම ගල් දිනකට 300 බැගින් පාරු යොදාගෙන නයිල් ගඟ දිගේ ගෙනෙන ලදී. මෙම පිරමීඩය නිම කිරීමට කම්කරුවන් (බොහෝ දෙනා වහලුන්) ලක්ෂයක් අවුරුදු 20ක් පමණ වැඩ කොට ඇතැයි ගණන් බලා ඇත. මෙම පිරමීඩවල යම් යම් කෝණ අහසේ පෙනෙන ඔරායන් හා සිරියස් තාරකා මණ්ඩලවල ඇති විශාල තාරකාවලට එක එල්ලේ යොමු කර ඇත. පුරාණ මිසර වැසියෝ මරණින් මතු ජීවිතයක් ගැන විශ්වාස කළහ. ඒ නිසා ඔවුහු මියගිය පසු සිරුරු සුරැකිව තබා ගැනීමට හුඟක් මහන්සි ගත්හ. පාරාවන්ගේ සිරුරු මමීකරණයට ලක් කළේ එහෙයිනි.   


මේ අතර, කූෆු රජුගේ මහා පිරමීඩයේ ඇතුළත විද්‍යාඥයන් මවිත කිරීමට සමත් අබිරහස් හිඩැසක් පිළිබඳ සොයා ගැනීමට ද මේ වනවිට විද්‍යාඥයෝ සමත් වී සිටිති. පිරමීඩවල පමණක් නොව, පිරමීඩ ආශ්‍රිත අබිරහස් රැසක් වන අතර ඒවා විසඳීමට විද්‍යාඥයන්ට හැකියාව ලැබී නැත. චියොෆ් යන නමින් ද කූෆු පාරාවන් වෙනුවෙන් ඉදිකළ මහා පිරමීඩයේ ඇතුළත ‘අබිරහස් හිඩැසක්’ ඇති බව සොයා ගැනුණේ පිරමීඩය විශේෂ ස්කෑන් පරීක්ෂණයකට ලක් කිරීමෙන් පසුවය. එම පරීක්ෂණය සිදු කළේ ප්‍රංශ සහ ජපාන පුරාවිද්‍යාඥයන් සහ තාක්ෂණවේදීන් එක්වෙමිනි. ස්කෑන් තාක්ෂණය හැඳින්වෙන්නේ ‘මුවෝග්‍රැෆි’ යන නමිනි. මුවෝග්‍රැෆි යනු ජපාන නව තාක්ෂණයකි. මෙහිදී සිදු කෙරෙන්නේ, පෘථිවියට පතිත වන කොස්මික් කිරණ යොදා ගනිමින් ස්කෑන් පරීක්ෂණයක් කිරීමය. කොස්මික් කිරණ වායුගෝලය හරහා එද්දී, දෘහිතෘ අංශු එසේත් නැතිනම් අණුවලට වෙන් වෙයි. ‘මුවොන්ස්’ අණු ද ඒ අතර වෙයි. මේවා පස්වල ඇති ඛනිජ ද්‍රව්‍ය විසින් උරාගෙන පරාවර්තනය කිරීමක් සිදු කරයි. පරාවර්තනය වීමක් සිදු නොවන්නේ නම් එතැන ඇත්තේ හිස් අවකාශයකි.   

 

 

 

 

 

 


ලුසිත ජයමාන්න   
ආචාර්ය පෝල් බාන්ගේ   
‘එක්ස්​ප්ලෝරිං ද වර්ල්ඩ්’   
කෘතිය ඇසුරිනි