විලාසිතා කියන කතා
කරපටිය යනු හුදෙක් සැරසිල්ලක් වශයෙන් පමණක් භාවිත කෙරෙන්නකි. එය පැළඳීමෙන් සීතලෙන් ආරක්ෂාවක්, උණුසුමක් හෝ සුව පහසුවක් නොලැබේ. එහෙත් ලොව පුරා සිටින පිරිමි මෙම ප‍්‍රයෝජනයක් නැති කරපටිය ඇඳීමට ප‍්‍රිය කරති. අවස්ථානුකූලව ගැහැනු ද කරපටි අඳිති.
ඔබ නොදන්නවා වුවත් අද ගැහැනු පිරිමි දෙපක්ෂයම අඳින කරපටිය හෙවත් ටයි එකෙහි ඉතිහාසය ගෝත‍්‍රික සමාජ දක්වාම දිවෙයි. ඇමේසන් වනාන්තරයේ වෙසෙන සමහර ගෝත‍්‍රික කණ්ඩායම් සහ ඕෂනියාවේ ඇබොරිජින්වරු ඇඳුම්වලින් විලි වසාගැනීමට උනන්දු නොවෙතත්, ගෙල වටා ආභරණ හා සැරසිලි පළඳිති.
නූතන මානවයා නූල්වලින් වියාගත් රෙදි කැබලි ගෙල වටා බැඳීම ඇරඹුවේ කුමන වකවානුවේද යන්න අවිනිශ්චිත වුවත්, ඇමෙරිකාවේ, යුරෝපයේ හෝ පෙරදිග වුවත් ගෙල පළඳනා භාවිතය සම්ප‍්‍රදායක් විය. ජීවත්වෙන ප‍්‍රදේශයෙන් ලබාගත හැකි වූ අමුද්‍රව්‍ය අනුව ලී කැබලි, ඇටවර්ග, මුතු, පබලු හා සත්ව දත් යනාදිය ඔවුහු මෙසේ ගෙල වටා අඳින සැරසිලි තනා ගන්නට භාවිත කළහ.
ඇඳුම්වල ඉතිහාසය පිළිබඳව විශේෂඥයින් කියා සිටින්නේ කරපටියේ සම්භවය 17 වැනි සියවසේ ප‍්‍රංශයේ පැවති 30 අවුරුදු යුද්ධය අතරතුර බවය.
30 අවුරුදු යුද්ධය
1618දී පමණ ස්වීඩනය හා ප‍්‍රංශය හැබ්ස්බර්ග් අධිරාජ්‍යයට (ඔස්ට්‍රියානු හා ස්පාඤ්ඤ පාලනයට) එරෙහිව යුද්ධ කිරීම ඇරඹූ අතර එම යුද්ධය වසර 30ක් මුළුල්ලේ පැවතිණ.
මෙම යුද්ධය සඳහා 13 වැනි ලුවී රජතුමා ක්‍රොඒෂියානු කුලී හේවායන් බඳවාගත්තේය. ඔවුහු කර වටා බැඳගෙන සිටි ලේන්සුව ඔවුන්ගේ රාජකාරි නිල ඇඳුමේම කොටසක් ලෙස සැලකිණි. මෙම මුල්ම කරපටියෙන් කිසියම් කාර්යයක්ද ඉටුවූ අතර එය සැරසිල්ලක් වශයෙන්ද භාවිත වූවක් විය. 13 වැනි ලුවී රජතුමා කරපටිය බැඳි හේවායන්ගේ නිල ඇඳුම බොහෝ සෙයින් ප‍්‍රිය කළේය. ඔහු එය කොතෙක් ප‍්‍රිය කළේද යත්, ක්‍රොඒෂියානු කුලී සෙබළුන්ට ගරු කිරීමක් වශයෙන් රාජකීය උත්සවවලදී හා නිල රාජකාරි කටයුතුවලදී සියල්ලෝම මෙම කරපටිය පැළඳිය යුතු බවට නීතියක් පැනවීය. ප‍්‍රංශ බසින් අදටත් කරපටිය හඳුන්වන ‘ලා ක‍්‍රැවට්’ යන වචනය නිර්මාණය කළේ 13 වැනි ලුවී රජතුමා විසිනි.
කෙසේ වෙතත්, තවත් පිරිසක් විශ්වාස කරන්නේ කරපටියේ යුදමය භාවිතය ඇරඹුණේ ලුවී රජු යටතේ ක්‍රොඒෂියන් සෙබළුන්ගෙන් නොව ජර්මනියේ දෙවැනි ෆර්ඩිනන්ඩ් රජුගේ සෙබළුන්ගෙන් බවය. මෙම තිස් අවුරුදු යුද්ධ කාලයේදී ක්‍රොඒෂියාව, හන්ගේරියාව හා බොස්නියාව යන රටවල් තුනෙහිම සෙබළු පොදුවේ ක්‍රොඒෂියන්වරු යනුවෙන් හැඳින්වුණු අතර වැඩිම මුදලක් ගෙවන්නා වෙනුවෙන් සටන් වැදුණු මෙම කුලී හේවායෝ ප‍්‍රතිපත්ති අනුව නොව මිල අනුව තමන් පෙනී සිටින පාර්ශ්වය වෙනස් කිරීමට පවා පෙළඹුණහ. විටෙක ඔවුහු හැබ්ස්බර්ග් අධිරාජ්‍ය නියෝජනය කරමින් ප‍්‍රංශයට විරුද්ධවත් සටන් කළහ. එම නිසා කරපටි පළමුව පැළැන්දේ ප‍්‍රංශයන්ද ජර්මානුවන්ද යන්න සටන් වැදි පක්ෂය අනුව කීම අවිනිශ්චිතය.
යුරෝපයේ පමණක් නොව ලෝකයේ වෙනත් රටවලද මුල්කාලීන කරපටියට සමාන තවත් ඇඳුමක් චීනයේද භාවිත වී ඇත. කෙසේ වෙතත්, කරපටිය සම්භවය වී තිබෙන්නේ ලෝකයේ ඉපැරණි හමුදා සේවය ඇසුරින් යැයි කියැවේ.
කරපටියේ මුල
කරපටිය සම්භවය වී තිබෙන්නේ සළුවෙනි. මිනිසුන් ගෙල වටා සළු පැළඳි බවට මුලින්ම ඓතිහාසික සාධක හමුවෙන්නේ රෝමයේ ට්‍රොජන් කුළුණෙන් හා චීනයේ ටෙරාකොටා හමුදාවෙනි.
චීනයේ පළමු අධිරාජයා වූ ක්වින් සි හුවාන් ගේ සොහොන 1974 දී සොයාගන්නා ලදී. එය අත්‍යාලංකාර සොහොනක් වූ අතර මුළු මහත් හමුදාවක්ම මියගිය රජුගේ තනියට එහි සිටියහ. එම රජතුමා ජීවත් වූ පළාතේ ඔහුට පෙර සිට පැවති රාජ්‍ය සම්ප‍්‍රදායය වූයේ කිසියම් අධිරාජයෙක් මිය ගියහොත් ඔහුගේ මුළු රාජ සභාවම මරා දැමීමයි. එමගින් අපේක්ෂා කරන ලද්දේ මරණින් මතු ජීවිතයේදී රජුට ආරක්ෂාව සැපයීමයි. කෙසේ වෙතත් හුවාන් රජුගේ පාලන සමයේදී යුද්ධය නිසා රටේ ජනගහනය ඉතා පහළ මට්ටමක පැවති බැවින් සැබෑ මිනිසුන් වෙනුවට ටෙරාකොටා පිළිම රජුගේ ආරක්ෂාවට යැවීමට තීරණය විය.
රාජකීය උපදේශකයින්ගේ අදහසක් වූ එම තීරණයට අනුව රජුගේ හමුදා සෙබළුන්ගේ ජීවමාන ප‍්‍රමාණය හා හැඩරුව සහිතව ටෙරාකොටා පිළිම නිමැවිණි.
එම ටෙරාකොටා පිළිමවල ගෙල හා උරහිස වටා පුළුල් සළු ඔතා තිබෙන අයුරු දක්වා ඇත. පිළිමවලින් ප‍්‍රකට වෙන අන්දමට සාමාන්‍ය තත්ත්වයේ සෙබළු සිය කර වටා සළුව ඔතා යුද ඇඳුමට යට කර තිබෙන අතර තත්ත්වයෙන් උසස් වූ හමුදා නිලධරයෝ ගෙල වටා මනාව ඔතන ලද සියුම් සළු පැළැන්දෝය.
ට්‍රොජන්හි ගෞරවනීය සෙබළු සිය ගෙල වටා සළු පළඳින්නට වසර 300කට මත්තෙන් චීනයේ හමුදා සෙබළු සළු පැළඳීමෙන් පෙනී යන්නේ කරපටියේ ඇරඹුමේ මුල්කාලීන සාධක අතර රෝමයට වඩා චීනය ඉදිරියෙන් සිටින බවය.
ටෙරාකොටා හමුදා සෙබළු ගෙල වටා සළු පැළඳියේ සන්නාහයෙන් සිදුවිය හැකි අනතුරුවලින් ගෙල පෙදෙස ආරක්ෂා කරගැනීමටත්, ගෙල පෙදෙස උණුසුම්ව තබා ගැනීමටත්ය.
මුළු චීනයෙන්ම මේ කරපටිය ඇන්දේ ක්වින් සි හුවාන්ගේ හමුදාවේ සෙබළු පමණකැයි කියති. මන්ද අධිරාජයාගේ සෙබළු හැරුණුවිට එකල චීනයේ වෙනත් කිසිදු පන්තියක ජනයා මෙවැනි කරපටියක් පැළඳි බවට සාධක හමු නොවේ.
ට්‍රෙජාන් කුළුණේ සලකුණු
චීනයේ පමණක් නොව ඉපැරණි රෝමයේ ට්‍රෙජාන් කුළුණේද නොයෙක් විලාසිතාවල කරපටි පැළඳ සිටින රෝම සෙබළුන්ගේ පිළිරූ දක්නට ලැබේ. ට්‍රෙජාන් අධිරාජයාගේ පාලන සමය ක‍්‍රිස්තු වර්ෂ 117න් නිමාවූ අතර රෝම අධිරාජයේ ශ්‍රේෂ්ටම ව්‍යාප්තිය සිදුවූයේ මොහු අතිනි. ෙට‍්‍රජාන් අධිරාජයා හමුදාවන් හැසිරවීමේ මනා හැකියාවක් තිබූ දක්ෂයෙකු ලෙස ඉතිහාසය විසින් හඳුන්වනු ලබයි. ඔහුගේ ඩාසියා හමුදා ජයග‍්‍රහණය සිහි කිරීම පිණිස ක‍්‍රිස්තු වර්ෂ 113 දී පමණ ෙට‍්‍රජාන් මාබල් කුළුණ ඉදිකරන ලදී. නොයෙක් විලාසිතාවල කරපටි පැළඳ සිටින රෝම සෙබළුන්ගේ රූප දක්නට ලැබෙන්නේ මෙහිය. නමුත් එවකට රෝමයේ විසූ වෙනත් සෙබළු විසින් මෙබඳු කරපටි පැළැඳි බවට සාධක හමු නොවේ. ඒ අනුව කළ හැකි නිගමනය නම්, සුවිශේෂී සටන්කරුවන්ට ගරු කිරීම් වස් මෙම කරපටි පැළැන්දවූ බවය.
1650න් ඇරඹෙන සමයේ මහත්වරු ක‍්‍රැවට් (පිරිමි ගෙල වටා පළඳින සළුවක්) පැළඳ සිටින අයුරු දැක්වෙන ආලේඛ්‍ය චිත‍්‍ර දක්නට ලැබේ. බලය, ධනය හා තත්ත්වය පෙන්නුම් කිරීමට අවශ්‍ය වූ මෙම මහත්වරු නිල පළඳනාවක් ලෙස ගෙල පළඳන ක‍්‍රැවට් භාවිත කළහ.
17 වැනි සියවසේදී භාවිත වූ මුල්ම ක‍්‍රැවට්වල පෙනුම අද කරපටියේ පෙනුමට වඩා බෙහෙවින්ම වෙනස්ය. එහෙත් එම විලාසිතාව වසර 200කටත් අධික කාලයක් යුරෝපයේ ජනප‍්‍රිය විලාසිතාවක්ව පැවතිණි. කෙසේ වෙතත් අද අපි දන්නා කරපටිය භාවිතයට පැමිණියේ 1920 ගණන්වලදීය. මුල්කාලීන කරපටි හොඳම අමුද්‍රව්‍යවලින් නිමවා, විසිතුරු ලෙස එම්බ්‍රොයිඩර් කරන ලද කලාත්මක අංගයක් විය.
ප‍්‍රකට ගත් කතුවරයෙකු වූ ඔස්කා වයිල්ඩ්ද කරපටිය ගැන මෙසේ කියා ඇත. මනාව ගැට ගසන ලද ටයි පටිය ජීවිතයේ පළමු බැරෑරුම් පියවරයි.
1880 ගණන් වෙන විට අන් අයෙකුගේ කරපටිය ස්පර්ශ කිරීම වනාහි ද්වන්ධ සටනකට අභියෝග කිරීමක් විය. අපට අද දැක හුරු පුරුදු කරපටි වර්ග මෙකල ඒවායේ මූලික අවදීන්හි පරිණාමය වෙමින් පැවතිණි. 1920න් පසුව කරපටිය එතෙක් පැවති පෙනුම වෙනස් වීම කෙරෙහි දායක වූයේ නිව්යෝර්ක්හි විසූ කරපටි මසන්නෙකු වූ ජෙස් ලැන්ඩෝර්ෆ් විසින් කරපටි මැසීමට පෙර කැපීම සඳහා නව ක‍්‍රමයක් සොයාගත් බැවිනි. එක්තරා කෝණයකට අනුව කපන ලද මෙම කරපටිය කොටස් තුනක් එකතු කර මසන ලද්දක් වූ අතර පැළඳ සිටින විට ඇඹරීම ද දක්නට නොලැබිණි. සෝදා නැවත අඳින හැම වතාවකම එහි හැඩය නොවෙනස්ව පැවතිණි. මෙම නව නිපැයුම නිසා කරපටිය සඳහා තවත් ගැට වර්ග රැසක් භාවිත කරන්නට අවස්ථාව ලැබිණි.
වින්ඩ්සර් ආදිපාදවරයාගේ ගැටය
1930 ගණන් වෙන විට කරපටිය දිගින් අඩු හා මහත ස්වරූපයක් ලබාගෙන තිබිණි. එහෙත් මෙම දශකය වෙන විට කරපටිය පිළිබඳව වැදගත්ම වෙනස්කම වූයේ එයට නව පන්නයේ ගැටයක් වූ වින්ඩ්සර් ගැටය හඳුන්වාදෙනු ලැබීමය. 1936 දී පමණ වින්ඩ්සර් ආදිපාදවරයා විසින් මෙය සොයාගනු ලැබිණි. වින්ඩ්සර් ආදිපාදවරයා කරපටියේ ගැටය තරමක් විශාලව පළඳින්නට රුචි වූ බැවින් ගැටය යෙදූ විට කරපටිය විශාලව පෙනෙන ලෙස වඩාත් ඝනකම් වූ අමුද්‍රව්‍යයකින් නිපදවන ලදී. 1940 පමණ වන විට දීප්තිමත් වර්ණයෙන් හා නොයෙක් සංකර විලාසිතාවන්ගෙන් කරපටි නිෂ්පාදනය කෙරිණි. ඉතා පුළුල් කරපටි නිපැයුණේ මෙකලය. මෙම පුළුල් කරපටි ‘බෙලි වෝමර්’ වශයෙන්ද හැඳින්විණි. එහි අරුත නම්, උදරය උණුසුම් කරනසුළු යන්නයි. විහිළුවක් ලෙස හඳුන්වාදෙනු ලැබුවද බොබ් හෝප්, ඇලන් ලැඩ් වැනි නළුවන් මෙම කරපටි නිපැයුම භාවිත කිරීම සමඟ එම විලාසිතාව ජනප‍්‍රිය විය. එම ප‍්‍රතිසංස්කරණයෙන් පසුව ටයිපටියේ කෙළවරේ යටි පැත්තට වෙන්නට සරාගී ලඳුන්ගේ රූප මුද්‍රණය කිරීම පාරිභෝගිකයන් ආකර්ෂණය කළ විලාසිතාකාරී රහසක් විය.
විලාසිතා කොපමණ වේගයෙන් වෙනස් වන්නේද යන්න සනාථ කිරීමට කරපටියම හොඳ උදාහණයකි. මන්ද එතෙක් කාලයක් විශාල බව හා පුළුල් බව විලාසිතාව බවට පත් ව තිබූ කරපටිය 50 දශකය වන විට එයට සපුරාම ප‍්‍රතිවිරුද්ධ ලක්ෂණ පෙන්වමින් ඉතා සිහින් වෙන්නට පටන් ගති. ඒවායෙහි පළල අඟල් දෙක නොඉක්මවීය. එම කරපටි සමඟ ඇඳීම පිණිස සිරුරේම ප‍්‍රමාණයට හෙවත් ස්ලිම් ෆිට් කෝට් මසන ලදී.
හැට හැත්තෑ ගණන් වෙන විට සිහින් කරපටි විලාසිතා යටපත් කරමින් පුළුල් විලාසිතා ජනප‍්‍රිය විය. බොලෝ ටයි නමැති ආභරණයක් සහිතව පැළඳි කරපටිය ජනප‍්‍රිය වුණේත් මෙකලය. 90 දශකයේ අග භාගයේදී රූපවාහිනී වැඩසටහනක් හේතුවෙන් කරපටි විලාසිතා උඩු යටිකුරු විය. එය රෙජිස් පිල්බින් විසින් මෙහෙයවූ Who wants to be a millionaire රියැලිටි වැඩසටහනයි. ඒ සඳහා ඔහු සැරසුණේ අඳුරු පැහැ ටයි කෝට් විලාසිතාවකිනි. ඒ වර්ණයට ගැළපෙන පැහැයකින් යට කමිසය ඇන්ද අතර වඩාත් දිලිසෙන සුළු අමුද්‍රව්‍යයකින් නිපදවූ කෝට් එකෙහි වර්ණයෙන්ම යුත් කරපටියක් පළඳන ලදී. ධනවත් විලාසිතාකාරයෙකු වූ ඔහුගේ පෙනුමට වශී වී ගිය ජනයා ඉවක් බවක් නැතිව ඔහුගේ පෙනුම අනුකරණය කළහ.
සමාජ තත්ත්වයේ සලකුණක්
බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජිනගේ පාලන සමයේදී ධනවත් හා බලවත් මධ්‍යම පන්තියක් බිහිවී තිබිණ. එහිදී පුද්ගලයෙකුගේ සමාජ තත්ත්වය හෙවත් සමාජයේ ඔහුට අයත් තැන සංකේතවත් කෙරෙන පරිදි කරපටි පැළඳීමේ සම්ප‍්‍රදායයක් විය. තත්ත්වයෙන් ඉහළ නැගෙත්ම කරපටි සරල හා නේක වර්ණ වූ අතර තත්ත්වයෙන් පහළ යන විට විලාසිතාවෙන් හා වර්ණයෙන් විවිධාකාර විය. සමාජයේ ඉහළ තැනකට යන්නට මිනිසා තුළ වූ ආශාව එමගින් සංකේතවත් විය.
ලිංගිකත්වයේ සංකේතයක්?
පිරිමියෙකුගේ ලිංගිකත්වයේ හා ශක්තියේ සංකේතයක් ලෙස පිළිගැනීමට ලක්වීම කරපටියේ ජනප‍්‍රියත්වයට හේතුවූ බව ජේ.සී. ෆ්ලූගල් ලියූ The Psychology of Clothes නමැති ග‍්‍රන්ථයේ එන සිද්ධාන්තයකි. බ්‍රිතාන්‍ය රෙදිපිළි කර්මාන්ත සංගමය මගින් ෆ්ලූගල්ගේ මතය පිරික්සා බැලීම සඳහා තෝරාගත් පිරිසක් ඇසුරින් සමීක්ෂණයක් කළ අතර එයින් 400ක් දෙනා එම මතයට එකඟ වී තිබුණි. ටයිම්ස් පුවත්පතෙහි දැන්වීමක් පළ කරමින් ඒ පිළිබඳ මහජන මතයද ඔවුන් විමසා සිටි අතර සිය ගණනක් වූ ප‍්‍රතිචාර අතරින් අඩකටත් වඩා වූයේ කරපටිය ලිංගිකත්වයේ සංකේතයක් බව තහවුරු කරන අදහස්ය.
පුද්ගලයෙකුගේ පෞරුෂය පෙන්නුම් කරන්නක් ලෙසද කරපටිය වැදගත්ය. කිසිවෙකු ටයි පටියේ ගැටය ගසා ඇති ආකාරයෙන් ඔහුගේ චරිතය හා පෞරුෂය ගැන අනාවැකි කියන්නට පුළුවන. බුරුල්ව ගැසූ ගැටයකින් එය පැළඳ සිටින්නා කරුණාවන්ත අයෙක් ලෙස හැෙඟ්. අෙළවි ප‍්‍රවර්ධකයින්ට විශාල ගැට සහිතව ටයි ඇඳීමට උපදෙස් ලැබෙන්නේ එම සිද්ධාන්තය අනුවයි. කුඩා හා තද ගැට පළඳින්නෝ ආත්මාර්ථකාමී හා රළු චරිත ලෙස හැඳින්වෙති. කරපටි පැළඳීම මෙන්ම කරපටි කියවීම යන දෙකම කලාවන්ය.
ප‍්‍රායෝගිකව කිසිදු වැදගත්කමක් නැති සැරසිල්ලක් පමණක් වුවද, ප‍්‍රාථමික සමාජවල ගෙල සැරසූ ආභරණ, සළුවක් දක්වාද, එතැනින් නොනැවතී විවිධ නම් ගම් හා හැඩ සහිතව විවිධ අමුද්‍රව්‍යවලින් සැදී මිනිසුන්ගේ අතිමානය තෘප්තිමත් කිරීමට වසර ගණනාවක් තිස්සේ විවිධ වෙනස්කම්වලට ලක්වෙමින් කර පටිය අද පවතින ස්වරූපය අත් කරගෙන ඇත. අනෙක් විලාසිතා මෙන්ම කර පටියද කලින් කලට වෙනස් වෙමින්, එහෙත් භාවිතයෙන්ද ඈත් නොවෙමින් දිනෙන් දින පරිණාමය වෙමින් විලාසිතා අතර රැඳී පවතී.
නිසංසලා දිසානායක
අන්තර්ජාලය ඇසුරිනි.
ඉහතින් සඳහන් කළ ඒ ගීත, ඇය ගැයූ අර්ථාන්විත මෙන්ම රසාලිප්ත ගීත ගොනුවේ ඇති ගීත අතරින් කිහිපයක් පමණකි.
කලාවේ රූස්ස ගස් සෙවණේ වැඩෙමින් තම කලා ජීවිතය ගොඩ නඟා ගත් ඔහු අද තවත් පරම්පරාවකට එම දායාදයන් රැගෙන යමින් සිටියි.
ශ්රී ලංකාවේ සිටි දක්ෂ කලාකරුවෙකු නිවේදකයෙකු, දක්ෂ මාධ්‍යවේදියෙකු සහ මානව හිමිකම් ක්‍රියාධරයෙකු වූ ’’රිචඩ් ද සොයිසා ’’ 1990 පෙබරවාරි 15 සමුගන්නේ ලොකු හ
“මම රඟපෑව කිසිම චරිතයක් මට අමතක වෙන්නෙ නෑ.. ඒත් ධවල පුෂ්පයේ මේට්‍රන් චරිතය මට විශේෂයි...”
මේ දිනවල සාමාන්‍ය විදිහට මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඒ අතරේ පසුගිය දිනවල ෆිල්ම් දෙකක රංඟනයෙන් දායක වුණා.
පත්තර කලාවෙන් තම වෘත්තිය ජීවිතය ආරම්භ කළද, ඉන් අනතුරුව රංගන ශිල්පියෙක් ලෙසත්, සහය අධ්‍යක්ෂකවරයෙක් ලෙසත් කලා ලොව සමඟ සම්බන්ධ වෙන ඔහු නමින් තිස්ස ගුණතිල
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ආදි කාලෙ හමුදා සේවයෙන් තෑගි ලැබුණු ‘කරපටිය’