භාරත දේව සභාව

 

සර්පයන්ට දිව දෙකකි. උන් දිව එළියට දමන හැම විටෙකම උන්ට දිවවල් දෙකක් ඇති බව පෙනෙයි. එහෙත් සත්‍යය නම් සර්පයාගේ දිව දෙකට මැදින් පැළී තිබීමය.   


සර්ප දිව එ් අයුරින් දෙකඩ වූයේ කෙසේද? ඇත්තෙන්ම එයට ඇත්තේ බොහෝ දිගු ඉතිහාසයකි. අන්න ඒ අපූරු කතාව මෙවර භාරත දේව සභාවෙන් කියවන්න.  
 
කාද්රූ සහ විනාතා යනු ​ඉසිවර කාශ්‍යපගේ ආදරණීය බිරියන් දෙදෙනාය. මොවුනතුරින් කාද්රු දහසක් සර්පයන්ගේ මාතාව වූවාය. එහෙත් විනාතාට දරුවන් සිටියේ නැත. ඒ වෙනුවට ලොකු බිත්තර දෙකත් දිගු කාලයක සිට රකිමින් සිටින්නට ඇයට සිදුවිය.   


කාලය දවසින් දවස ගෙවී ගියේය. කද්රු ඇගේ සර්ප දරුවන් රැක බලා ගනිමින් වෙහෙසන විට විනාතාටද දරු සුරතල්  බැලීමේ හදිසියක් ඇති විය. ඈ තම බිත්තර දෙක වෙත ගොස් ඒවා පුපුරන මොහොත එන තුරු බලාසිටියාය.   


ඇයට තිබුණේ පුදුම හදිසියකි. නොඉවසිල්ලකි. මේ ​නොඉවසිල්ල කොයි තරම්ද යත් දිනෙක විනාතා තමන් සතු බිත්තර දෙකෙන් එකක් කැඩුවාය.   


බිත්තරය තුළ සිටියේ දරුවෙකි. එහෙත් බිත්තරය නිසි ලෙස මෝරා නොතිබුණු බැවින් බිත්තරයෙන් මතු වූ දරුවා හරිහැටි වර්ධනය වී සිටියේ නැත.   


නිසි කලට කලින් බිත්තරය කැඩීම පිළිබඳව දරුවා විනාතා සමඟ කෝපයට පත්ව සිටියේය.   


“මට කළ අපරාධයට දඬුවම් වශයෙන් ඔබට කාගේ හෝ මෙහෙකාරියක වීමට සිදුවෙනවා.   


දරුවා - අරුණ, ඉපදුණු මොහොතේම තම මවට ශාප කළේය.   


එහෙත් ඒ ශාපයෙන් කැළඹුණේ විනාතා නොවේ. ඇය සතු අනෙක් බිත්තරයෙන් බිහි වන අරුණගේ සහෝදරයා විසින් තමා රැකබලාගන්නා බව ඇය විශ්වාස කළාය.   


ඊට ටික කලකට පසු දිනෙක කාද්රූ විනාතා වෙත ආවේ සිනාසෙමිනි.   


“ඔබ දන්නවද විනාතා ඉන්දු අශ්වයෙක් ගෙනත් සිටින බව”   


“අශ්වයෙක්?   


ඒ පුවත දැන නොසිටි විනාතා   


කාද්රූ දෙස බැලුවේ කුහුලෙනි.   


“ඔව්” අශ්වයෙක්. ඔබ හිතන්නෙ ඒ අශ්වයා තනිකරම සුදුද?   


එහෙම නැත්නම් කළුද?   


මම දන්නේ නැහැ. ඔබ ඌ දැක්කද?   


“මම කොහේ දකින්නද?   


මං ඇහුවෙ ඔබ හිතන විදිහ ගැන”   


“මම කිසිවක්ම දන්නෙ නැහැ”   


“එහෙම බැහැ” ඔබ කියන්න ඕනෑ ඌ සුදුද? එහෙම නැත්නම් උගේ ඇඟේ කොහේ හෝ කළු පැහැයක් තියෙනවද කියලා”   


කාද්රු බලකළාය.   


“තනිකර සුදුයි”   


“හොඳයි ඌ තනිකර සුදු නැතිනම් ඔබ ඔට්ටුවෙන් පරාදයි. ඔබ ඔට්ටුවෙන් දිනුවොත් මම ඔබේ මෙහෙකාරිය වෙනවා. මම ඔට්ටුවෙන් දිනුවොත් ඔබයි මගේ මෙහෙකාරිය.”   
කාද්රු එසේ කියා සිනාසුණාය.   


දින කිහිපයකට පසු ඉන්දුගේ අශ්වයා දකින්නට කාද්රූට සහ විනාතාට හැකිවිය. සුදුම සුදු පාට ලස්සන අශ්වයා දුටු විට විනාතා සතුටට පත්වූවාය.   


“මම ඔට්ටුවෙන් දිනුම්.”   


එහෙත් කාද්රූ ඉන්දුගේ අශ්වයා වටේ කැරකී බැලුවාය. බලනවිට උගේ වලිගය කළුපාටය. 

 
“මමයි දිනුම් අශ්වයාගෙ වලිගෙ කළු පාටයි   


විනාතා ඉහළට ගත් හුස්ම පහලට හෙළන්නට අමතක වූවාත් මෙන් බලාසිටියාය.   


“එන්න මේ මොහොතේ පටන් ඔබ මගේ මෙහෙකාරී. මගේ සර්ප දරුවන්ව හොඳින් බලාගැනීමයි ඔබේ වගකීම.”   


කාද්රූ හොඳින් හැඳ පැළඳ ගෙන නිවෙසින් එළියට බැස්සාය. විනාතා ගෙදර වැඩ අවසන් කර සර්ප දරුවන්වත් අරුණවත් බලා කියාගත්තාය.   


ඇගේ දවස අතිශයින්ම වෙහෙසකර විය.   


උදේ පාන්දරින්ම අවදිවන ඇයට ගෙදර ඉවුම් පිහුම් සියල්ලම කළ යුතු විය. නිවෙස සහ ගෙවත්ත පිරිසුදු කිරීමද පැවරී තිබුණේ ඇයටමය. ඉසිවර කාශ්‍යපගේ ඕනෑ එපාකම් සොයා බැලීමද ඔහුට ආහාරපාන ගෙනගොස් දීමද කළේ විනාතාමය.   


ඇයට රාත්‍රියේ නින්දට යන්නට සිදුවූයේ රස්තියාදුවේ ගොස් පැමිණි කාද්රූට ස්නානය කිරීමට උණු වතුර පවා පිළියෙල කර දීමෙන් අනතුරුවය. කාද්රූ සමඟ පැටලුණු ඔට්ටුව මහා මෝඩකමක් බව විනාතා හැම විටම කල්පනා කළාය.   


ඔය අතර වාරයේ දවසට දෙතුන් වතාවක්ම ඇගේ ඉතිරි බිත්තරය බැලීමටද විනාතා අමතක නොකළාය. ඉන් බිහි වන අරුණගේ සහෝදරයා විසින් තමන් මේ මෙහෙකාරකමෙන් බේරාගනු ඇතැයි විනාතාගේ අදහස විය.   
ඇගේ අනෙක් බිත්තරයේ කටුව පුපුරා ගියේ ඊටත් මසකට පමණ පසුවය. ඒ බිත්තරයෙන් බිහිවූයේ අමුතුම ජීවියෙකි. ඔහුට මනුස්ස ශරීරයක් තිබුණත් මුහුණ කුරුලු මුහුණක් වූයේය. ඔහුට කුරුලු හොටක්ද රාජාලි පියාපත් යුවළක්ද තිබිණි. ඒ නිසාම ඒ දරැවාට ගරුඩා යන නම පට බැඳිණි.   


කෙමෙන් වැඩුණු ගරුඩාට මව් සෙනෙහස විඳීමට වත් ඉඩක් නොලැබිණි. විනාතා හැම මොහොතකම කාර්යබහුලව නිසාය.   


“අම්මා ඔයා හැම තිස්සෙම වැඩ කරන්නත් කාද්රු අම්මා විනෝදෙන් රස්තියාදුවෙ යන්නත් හේතුව මොකක්ද?”   


මේ වෙනස දුටු ගරුඬා දිනක් ඇසුවේය.   


ගරුඬා ළඟ හරි බරි ගැහුණු විනාතා කාද්රු සමග කළ ඔට්ටු ගනුදෙනුවේ කතාව පැවසුවාය.   


ගරුඬාගේ හිත තම මව ගැන ශෝකයකින් පිරිණි. ඒ සමගම කාද්රු පමණක් නොව ඇගේ දරුවා වන සර්ප සහෝදරයා ගැනද කෝපයක් උපන්නේය. මේ ගැටලුවෙන් තම අම්මා බේරාගනු සඳහා කුමක් හෝ කළ යුතුයැයි ගරුඬා කල්පනා කළේය.   


ඒකට හොඳම උපක්‍රමයක් යොදන්න ඕනෑ”   


එහෙත් ගරුඬාට කිසිවක් සිතාගන්නට නොහැකි විය.   


ඊට ටික දිනකට පසු සර්ප සහෝදරයෙක් ගරුඬා වෙත පැමිණියේය.   


“අපියි අපේ අම්මයි හිතාගෙන ඉන්නවා දූපතකට විනෝද ගමනක් යන්න. ඔබේ අම්මට සිදුවෙනවා අම්මවයි අපිවයි වඩාගෙන දූපතට අරගෙන යන්න.”   
සර්ප සහෝදරයා කීවේය.   


“ඔබ සියලු දෙනාම?”   


ගරුඩා ඇසුවේ පුදුමයෙනි. 

 
“ඔව් විනාතාට බැරි වුවහොත් ඔබ හරි එය කළ යුතු වෙනවා   


“හොඳයි”   


ගරුඩා කීවේය. “මම ඔබ සියලු දෙනා මගේ පිට මත හිදුවාගෙන දූපත කරා ​රැගෙන යන්නම්”   


සර්ප සහෝදරයා උදාරම් ලෙස නික්ම ගියේය.   


“මුන්ට පාඩමක් උගන්නන්න හොඳම අවස්ථාව”   


ගරුඬා තමන්ටම කියාගත්තේය.   


සර්ප සහෝදරයන් මෙන්ම කාද්රූ අම්මාවද මෙල්ල කරන්නට කදිම උපායක් ගැන ඔහුගේ කල්පනාවට යොමු විය.   


පිරිස විනෝද චාරිකාව යන දවස පැමිණියේය.  


සර්ප සහෝදරයන් ටික පිට මත තබාගත් ගරුඬා පියාඹන්නට පටන් ගත්තේය. හැකිතරම් අහසේ ඉහළටම නැඟුණ ඔහු හිරුට වඩාත් කිට්ටු විය.  


හිරුගේ අධික රශ්මිය වැදුණු සර්ප සහෝදරයෝ ඔබ මොබ දඟලන්නට වූහ. ඔවුන්ට දැනුණේ තම සිරුරු පිළිස්සෙන බවය.  


“අපිව පිච්චෙනවා.”  


සර්ප ස​ෙහා්දරයෝ ගරුඬාට කීහ.  


එසේ වුවත් ගරුඬා පියාසර කළේ නෑසූ කන්වය. ඔහු තවත් ටිකත් හිරුට ළංවිය.  


“අම්මේ අපිව බේරගන්න. මේ විදිහට පිච්චුණොත් අපිව මැරිලා වැටෙයි.”  


සර්ප දරුවෝ කාද්රූට ආයාචනා කළහ.  


දරුවන්ට සිදු වූ කරදරය ඇසුණු වහා කාද්රූ ඉන්ඳු දෙවියන් වෙනුවෙන් ආයාචනා කළාය.  


කාද්රුගේ ආයාචනය ඇසුණු විගස ඉන්ඳු සීතල වලාකුළක් ගෙන හිරු මුවා කළේය.  


එක් වරම දැනුණු සීතල පිළිබඳව ගරුඬා පුදුමයට පත්විය. ඌ පියාඹන ගමන්ම ඇස් කොනකින් අහසේ ඉහළ බැලුවේය.  


හිරු නොපෙනිණි. ඒ වෙනුවට අඳුරු වලාකුළක් පමණක් අහසේ තිබිණ.  


“ඉන්ඳුගෙ වැඩක්”  


ගරුඬා තමන්ටම කියාගත්තේය.  


තම උපක්‍රමය අසාර්ථක වීම පිළිබඳවත් ඉන් සර්පයන්ට අවැඩක් නොවීමත් ගැන ගරුඬාට කණගාටුවක් දැනිණි.   


ඔවුන් බේරාගැනීම පිළිබඳව ඉන්ඳු සමඟ ගරුඬා කෝපයට පත්විය. තදින් හොට හපාගත් ගරුඬා දූපතට පහත් වී සර්ප සහෝදරයන්ට දූපත පෙන්වීය.   


ගරුඬාගේ පිට මතින් බිමට බැසගත් සර්ප සහෝදරයෝ නික්ම යන්නට සැරසුණහ. එහෙත් ඊට කලින් ගරුඬා ඔවුනට මෙසේ කීවේය.   


ඔබ මා සමඟ ගිවිසුමකට එන්න ඕනෑ  


“ගිවිසුමකට? අපේ මෙහෙකාරිගෙ පුතා එක්ක අපිට මොන ගිවිසුම්ද?”  


සර්ප දරුවෝ උදාරම් ලෙස එකිනෙකාගේ මුහුණු බැලූහ. එසේ වුවත් ඔහු සමඟ අමනාප වීම අවාසිසහගතය. දූපතට එද්දී ඔහු හැදුවේ තමන් පුලුස්සා මරණයට පත්කරන්නටය.  
“මොකද්ද ගිවිසුම?”  


සර්ප සහෝදරයෝ විමසූහ.  


මටත් මගේ මවටත් මෙහෙකාර කමෙන් නිදහස දීම සඳහා ඔබට අවශ්‍ය කුමක්ද?”  


ගරුඬා විමසුවේය.  


සර්ප සහෝදරයෝ නිරුත්තරව බලා සිටියහ. ඇත්ත වශයෙන්ම ගරුඬාගේ මව වන විනාතා ගෙවන්නේ දුෂ්කර ජීවිතයකි. ඇය තමන් සහ තම මව වෙනුවෙන් සේවය කරන්නේ සේවිකාවක ලෙසින් නොව වහලියක ලෙසිනි. මේ වැඩ කන්දරාව තනි ගැහැනියකට කළ නොහැකි තරම් බරපතළය.

   
ඒ නිසා අැයට නිදහස ඉල්ලා සිටීම සාධාරණය. ඇරත් ගරුඬා ඉල්ලන්නේ නිදහස පමණක් නොවේ. ඇයට දෙන නිදහස වෙනුවෙන් යමක් හිලව් කිරීමටද ඔහු සූදානම්ය.  


“කුමක්ද අවශ්‍ය?”  


“ගරුඬා යළිත් ඇසුවේය.  


“අමෘතය”  


සර්ප සහෝදරයෝ එක්වරම කීහ.

  
අමෘතය යනු ආහාරයට ගත් විගස නිරෝගී බව, ජවය, මෙන්ම සද‌ාකාලික බවද ලැබෙන ඖෂධයකි. සුරයන් සහ අසුරයන් එක්ව සාගරය කළඹා මතුකරගත් අමෘතය සුරයන් පමණක් තනිව පාවිච්චියට ගත්හ. එදා පටන් අසුරයන්ද සර්පයන්ද මේ මහාර්ඝ ඔසුව සොයාගන්නට ක්‍රමයක් සෙවූහ.  


සර්ප සහෝදරයන් විශ්වාස කළේ අමෘතය සොයා තමන්ට ගෙනැවිත් දිය හැකි තරම් බලයක් ගරුඬාට තිබෙන බවය.  


මදක් කල්පනා කළ ගරුඬා ආපසු ගොස් තම මව හමුවූයේය. තමා සර්පයන්ගෙන් සහ ඔවුන්ගේ මව වන කාද්රූගෙන් විනාතාට නිදහස ඉල්ලා සිටිබවත් අමෘතය ගෙනැවිත් දුනහොත් තමා ඉල්ලන නිදහස දෙන බව සර්ප සහෝදරයන් පැවසූ බවත් ගරුඬා, විනාතාට කීවේය.  


අමෘතය සොයා ගැනීම අතිශය දුෂ්කර කටයුත්තක් බව විනාතා දැන සිටියාය.  


“මේ සදහා ඔබට විශාල ශක්තියක් අවශ්‍යයි. ඒ ශක්තිය ලබාගැනීමට නම් ඔබ පළමුවෙන්ම බලවත් ආහාරයක් ලබාගත යුතු වෙනවා. නමුත් ඒ ආහාරය තියෙන්නේ හිමාලයේ”  


විනාතා කීවාය.  


“හිමාලයේ?”  


ඔව් හිමාල අඩවියෙ ඔබට කොතැනකදී හෝ අලියකුත්, ඉබ්බෙකුත් අතර සටනක් දකින්නට හැකිවේවි.   


ඒ මොහොතේදී ඔබට ඒ සතුන් දෙදෙනාම අල්ලාගත හැකිය. ඔවුන් දෙදෙනා ආහාරයට ගත්විට ඔබට ලැබෙන්නේ යෝධ ශක්තියක් අමෘතය සොයාගැනීමට නම් එබඳු යෝධ ශක්තියක් අවශ්‍ය වෙනවා.   
“හොඳයි එසේනම් ඒ සඳහා මට ඔබේ ආශිර්වාදය අවශ්‍යයි. මැණියනි”  


ගරුඬා කීවේය.  


“ඔව්” මම ඔබට ආශිර්වාද කරනවා පුතණුවනි.  


ඉනික්බිති ගරුඬා හිමාල අඩවිය බලා පියාසර කරන්නට වූවේය.  


හිමාල අඩවියට ඇතුළු වූ විගසම ගරුඬාට සටන් වදින අලියා සහ ඉබ්බා දැකගත හැකි විය. අලියා යනු කොහොමටත් සද්දන්තයෙකි. එහෙත් පුදුමයකට මෙන් අලියා හා සටන් වදින මේ ඉබ්බාද යෝධයෙකි.   
වහා පොළොවට පහත් වූ ගරුඬා තම කකුල් දෙකෙන් අලියා සහ ඉබ්බා අල්ලාගත්තේය. ඉක්බිතිව ඌ පියාඹා ගියේ අසල තිබූ යෝද වෘක්ෂයකටය. එහි අත්තක ලැගුම් ගෙන තම ආහාරය ගෙන බඩ කට පුරවාගත යුතුය.  
ඒ සඳහා ගරුඬා අර වෘක්ෂයේ අත්තකට තම බර දුන්නේය. එහෙත් එවිටම ඇසුණේ කරාස් හඬකි. ඒ අර අත්ත බිඳී යන හඬයි.  


මේ අත්ත මත වාඩි වී බවුන් වඩන වලාක්හිලා ඉසිවරයා ගරුඬාගේ නෙත් ගැටුණේ ඒ මොහොතේදීමය. වහාම තම හොටින් ගසේ අත්ත අල්ලා ගත් ගරුඬා පරෙස්සමට ඉවතට පියඹා ගියේය. දැන් උගේ කකුල් දෙකේ අලියෙක් සහ ඉබ්බෙක් කටේ ඉසිවරයකු බවුන් වඩන ශාක අත්තකි.  


එක්වරම ඇසුණු කරුස් හඬිනුත් තමන් වාඩි වී සිටි ගසේ අත්තේ හටගත් හදිසි සෙලවීමත් නිසා දැහැනින් මිදුණු ඉසිවරයා දෙනෙත් විවර කළේය. එවිට ඔහු දුටුවේ විශාල කුරුල්ලකු විසින් තමා වාඩි වී සිටින අත්ත රැගෙන ඉගිළ යන බවය   


කුරුල්ලාගේ විශාලත්වයෙන් පුදුමයට පත් වූ ඉසිවරයා ඊළඟට දුටුවේ උගේ කකුල් දෙකේ එල්ලී සිටින අලියා සහ යෝධ ඉබ්බාය.  


මෙය විශ්වාස කළ නොහැකි අරුමයකි. නමුත් මේ විශ්වකර්ම කුරුල්ලා සතු අසීමිත ශක්තිය ගැන විශ්වාස කළ ඉසිවරයා තම හඬ අවදි කළේය. 

 
“ඔබට හැකිද අර පෙනෙන කඳු මුදුන මතට මා රැගෙන යන්න.”  


ඉසිවරයා පෙන්වූ කඳු මුදුන දෙස නෙත් කොනින් බැලූ ගරුඬා හිස සැලුවේය.


“පුළුවනි.”


“එසේ නම් යමු.”  


ගරුඬා හිමාලයට අයත් වූ එම හිම මිදුණු කඳුමුදුන බලා ගියේය. තම මුවේ තිබූ අත්ත පරෙස්සමට බිම තැබූ ඌ අනතුරුව තම දිවා ආහාරය ගත්තේය.  


පෙර කිසි දවසක කිසිම ආහාරයකින් තමා මේ තරම් තෘප්තියට පත් වී නොමැති බව ගරුඬා තේරුම්ගත්තේය. උෟ තටු සලා වරක් උඩ පැන මහ හඬින් නාද කළේය. ඒ හඬ දිව්‍යලෝකයට පවා ඇසෙන තරම් උච්ච ස්වරයකි.  
ඔහුගේ ඊළඟ කාර්යය අමෘතය සොයා දිව්‍ය ලෝකයට පියාසර කිරීමය.  

 


ලබන සතියේ දෙව්ලොව කැළඹේ...  

 

 


ශාන්ත කුමාර විතාන