( රොමේෂ් මධුෂංඛ)


මෙරට සියලු බන්ධනාගාර තුළ සිටින දෙමළ දේශපාලන සිරකරුවන් සියලුදෙනා නිදහස් කළ යුතු බවට ඉල්ලීම් කරමින් දෙමළ දේශපාලන නියෝජිතයින් හා දේශපාලන සිරකරුවන්ගේ ඥාතීහු පිරිසක් අද (01) වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපස උපවාසයක නිරත වුහ.


කිසිදු නඩු විභාගයක් නොපවත්වා දේශපාලන සිරකරුවන් වශයෙන් බන්ධනාගාරගතව සිටින සියලු දේශපාලන සිරකරුවන් වහාම රජය මැදිහත් වි නිදහස් කළ යුතු බවට ඉල්ලීම් කරමින් දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමේ පවුල් එකමුතුව හා සිවිල් සංවිධාන රැසක සහභාගීත්වයෙන් මෙම උපවාසය සංවිධානය කර තිබේ.


විරෝධතාවයට එක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී  ශිවශක්ති ආනන්දන් මහතා පැවසූවේ ආණ්ඩුව බලයට පත්වී අවුරුදු තුනක් ගත වුවත්  යුද්ධයෙන් පසුව වසර 09 ක් ගත වුවත් වසර ගණනාවක් පුරාවට ලංකාවේ බන්ධනාගාර තුළ කිසිම නඩු විභාගයකින් තොරව දේශපාලන සිරකරුවන් සිරගතව සිටින බැවින් රජය සෑම අවස්ථාවකදීම දේශපාලන සිරකරුවන්ගේ ගැටලුවේදී මග හරින් බැවින් දේශපාලන සිරකරුවන් වෙනුවෙන් ඉක්මන් විසඳුමක් ලබා දිය යුතු බවටත් එසේ නොවන්නට උතුරු නැගෙනහිර සියලුම ජනතාව රජයට බල කරමින් නැගී සිටිමට සංවිධානය වන බවද  සඳහන් කළේය.