“ඌ මට ගැහැව්වා . මට ඌ ගැහැව්වා. අන්තිමට ගුටි කාලා තියෙන්නේ මම පමණයි." ඉහත වැකිය 80 දශකයේදී ගුවන් විදුලියේ, රූපවාහිණියේ හා ප‍්‍රසංග වේදිකාවේදී ඇසීමට හා දැකීමට ලැබුනු විනෝද සමය නැමැති සිනාහාවෙන් පිරුණු නාටකයේ දෙබස් පෙළකි. ඉහත දෙබස් බර්ටි ගුණතිලක, ඇනස්ලි ඩයස්, සැමුවෙල් රොඩ්රිගු එකතුව එකල වේදිකා ගතවූ විනෝද සමය විකට වැඩ සටහන මතකයට ගෙන එන කථා පුවතකි.

දිනක් විනෝද සමය වැඩ සටහන අවසන් කොට රාත‍්‍රියේ තම නිවෙස බලා යෑමට රාත‍්‍රී 01ට පමණ අඟුලාන කිරිබත්ගොඩ  බලා යන ලංගම බසයකට බර්ටි ගුණතිලක නම් ශිල්පියා ගොඩ වූයේය. ඔහු අසල වාඩි ගෙන සිටි පදමට වෙරිවූ ගනන් කාරයෝ දෙදෙනෙකුගේ දෙබස් ඔහුටද ඇසෙන්නේය. එම දෙබස් ඉහත සඳහන් එක් අයෙක් ගුටිකෑ කථා පුවතකි. ඒ කියන්නේ මිනිහට ගහන්න ලැබිලා නැහැ. ගුටි කාලා විතරයි. එය ධාරණය කර ගත් බර්ටි ගුණතිලක විසින් පසුවදාම තමන් තනියම ගුටි කන විනෝද සමය වැඩ සටහන නිර්මාණය කළේය. අද වැඩි පුරම ඇත්තේ විහිළු කාරයන් බහුල සමාජයකි. ඒ තරමටම විහිළු සපයන්නෝ සිටිති. හැම තැනකම හා හැම ක්‍ෂේත‍්‍රයකම වැඩි වශයෙන් දකින්න ලැබෙන්නේ විහිළු කාරයන්ගෙන් පිරුණු සමාජයකි. නමුත් හාත්ස්‍යොත්පාදක කලා ශිල්පීන්ගේ අඩුවක් ඇති රික්තයක් අද සමාජයේ ඇත්තේය. මන්ද එය එතරම් පහසු කටයුත්තක් නොවන බැවිනි. සැබවින්ම හාස්‍ය යනු පුදුමාකාර දෙයකි. මන්ද බෙහෝ විට එය ජීවිතයේ  අපි නොසිතන අපට නොපෙනෙන යථාර්ථයන් ඇඟට පතට නොදැනී කියා දෙන බැවිනි. එහිදී අප සිනාසී ඇත්තේ අපටම බව වැටහෙන්නේ නිදියහනට ගියාටත් පසුවය. එය හාස්‍යයේ ලක්ෂණයකි. හාස්‍යයේ ගති ලක්ෂණ එසේය. ශ්‍රීලංකාවේ හාත්ස්‍යොත්පාදක කලාවේ ස්වර්ණමය යුගයක් නියෝජනය කොට අද ජීවතුන් අතර අසූනම වැනි විය පසු කරන බර්ටි ගුණතිලක නම් ශිල්පියා එහිදී විශේෂ වන්නේය. අද ඔහු වයෝවෘද්ධ වී අසනීප තත්වයෙන් තම සැඳෑ සමය ගත කරමින් සිටී. එදා විනෝද සමය ඌ මට ගැහැව්වා. මට ඌ ගැහැව්වා සිද්ධිය සිහිපත් වන සෑම වාරයකම බර්ටි ගුණතිලකද සිහියට නැගෙන්නේය.

නුවර උපන් බර්ටි ගුණතිලක නම් මෙම රංඟන ශිල්පියා නුවර සංඝරාජ පිරිවෙනෙන් මූලික අධ්‍යාපනය හදාරා පසුව කුලියාපිටිය ගල්පොල විද්‍යාලයේ උප ගුරුවරයෙකු  ලෙස සේවය ආරම්භ කළේය. ඉන් පසු සිංහල බෞද්ධයා පත්තරයේ සෝදු පත් කියවන්නෙකු හා 1953 ජනතා පුවත් පත් බෙදා හැරීම් අංශයේ සේවය කර තිබේ. 1954 වර්ෂයේදි එච්.ඩී විජයදාස මහතා විසින් ගුවන් විදුලියේ ආරම්භ කල විහිළු තහළු වැඩ සටහනට ඇනස්ලි, සැමුවෙල් සමඟ ඔහු මුලින්ම දායකවූ අතර පසු කාලීනව වරින් වර ගැමුණු විජේසුරිය. ජෝෂප් සෙනෙවිරත්න, ඇල්ප‍්‍රඩ් පෙරේරාද පසු කලක දී මර්සි එදිරිසිංහ සමගද එකතු වූයේය.

 1983 රූපවාහිනිය ආරම්භ වීමත් සමග එහි ආරම්භක විකට නළුවන් ලෙස එකල බොහෝ රසිකයන් අතර ජනප‍්‍රිය 'නන්දන වින්දන' විකට වැඩ සටහන ඉහත තුන් කට්ටුවේ සහභාගිත්වයෙන් පැවැත්වීය. වර්ෂ 1960 සිට 1990 දක්වා කාලය තුල මෙම කලා ශිල්පීන්ට ගුවන් විදුලිය, රූප වාහිනිය හා චිත‍්‍රපට ක්‍ෂේත‍්‍රයේ විශාල ප‍්‍රසිද්ධියක් ලැබුනෝය. මෙයින් බර්ටි ගුණතිලක සතුව තිබු රංඟන කෞශල්‍යයන් තුලින් මෙරට වේදිකාව දෙවනත් කිරීමටත් ගුවන් විදුලිය රසවත් කිරීමටත් රූපවාහිනිය වර්ණවත් කිරීමටත් හැකි වූයේය. ගුවන් විදුලියට එක්වූ 50 දශකයේ විකට වැඩ සටහනකට මසල වඬේ එකයි ප්ලේන්ටී එකයි ලැබුනු බවත් පසු කාලීනව එය රුපියල් පහ, දහය, විස්ස, පනහ, සියය, දෙසීය, පන්සීය, දාහ ලෙස ලැබුනු බව ඔහුගේ අතීත කථා පුවත් සාක්ෂි දරන්නේය. සිනමාවටද දායකත්වය සැපයූ ඔහු සිකුරු ලියා, සමුගනිමි සැමියනි, සමාජ සතුරෝ, ජීවන ගංඟා, චූඩාමාණික්‍යය, ශීත සමීරේ ඇතුලූ චිත‍්‍රපට විශාල ගනනක රඟපා ඇත.

පැරීසියේ කලාකරුවන් සුරැකීමේ එකමුතුව විසින් පැවැත්වූ ප‍්‍රථම පියවර ලෙස ඉන්ද්‍රානි පෙරේරා, අනිල් භාරතී, උපාලි කන්නන්ගර සහභාගීවූ ප‍්‍රණාම සංගීත ප‍්‍රසංගය තුලින් බලාපොරොත්තු වූ ඉහලම ප‍්‍රණාමය වශයෙන් දැනට ජීවතුන් අතර සිටින විකට චරිත මැවූ එකම ප‍්‍රවීන රංඟන ශිල්පී බර්ටි ගුණතිලක මහතා වෙත රුපියල් පනස්දාහක (50,000) මුදල් පරිත්‍යාගයක්  පසුගියදා රත්නපුර ගොඩකවෙල ඔහුගේ නිවසේදි ප‍්‍රණාම ප‍්‍රසංගය වෙනුවෙන් දායකත්වය සැපයූ ජනප‍්‍රිය සංගීතවේදි හා ගිටාර් වාදක උපාලි කන්නන්ගර මහතා විසින් පිළිගන්වනු ලැබුවේය. 92 වන වියේ සැඳෑ සමය ගෙවන රංඟන ශිල්පී බර්ටි ගුණතිලක මහතා ප‍්‍රණාම ප‍්‍රසංඟයේ සමරු කළාපය බලමින් ඔහුට උපකාර කල සියල්ලන්ට ස්තුතිය පුද කිරීමටද අමතක නොකලේය. මෙයට දායකත්වය සැපැයූ සියලූ දෙනාට පින් ලැබෙන බවද කීවේය.

බර්ටි-ගුණතිලක බර්ටි-ගුණතිලකට-මුදලින්-උපකාර බර්ටි-ගුණතිලකට-මුදලින්-උපකාර-01 බර්ටි-ගුණතිලකට-මුදලින්-උපකාර-02 බර්ටි-ගුණතිලකට-මුදලින්-උපකාර-03