(අංජුල මහික වීරරත්න,ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)

අනාගතයේ රට දියුණු වීමට නම් නූතන තාක්‍ෂණය සමග එකතු විය යුතුයැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කෑගල්ලේදී පැවැසීය.
තාක්ෂණය යෙදවූ කිසිම රටක් පසුපසට ගොස් නැති බව කී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා, ශ්‍රී ලංකාව ලෝක ප‍්‍රවණතා තේරුම්ගෙන දැන් ඉදිරියට ගමන් කරමින් සිටින බව ද ප‍්‍රකාශ කළේය.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවැසුවේ කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයේ 150 වැනි සංවත්සර සමරු වැඩසටහනේ අවසන් උත්සවයට සහභාගි වෙමිනි.
විද්‍යාලයේ 150 වැනි සංවත්සරය වෙනුවෙන් සිසුන් ඉදිරිපත් කළ නව නිපැයුම් ප‍්‍රදර්ශනය නැරඹීමට ද අග‍්‍රාමාත්‍යවරයා ගියේය.
අනතුරුව පැවැති උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේ ද කීවේය.
”මෙහි උඩරට නැටුම් රඟ දැක්වූ කණ්ඩායමට මුලින්ම මගේ ප‍්‍රණාමය පුද කරනවා. ඔවුන් හොඳ දක්‍ෂතාවක් දැක්වූවා. ඒ දක්ෂතා තවත් දියුණු කරගන්න අනාගතයේදී අවස්ථාව ලැබේවි.
කෑගල්ල x ශාන්ත මරියා විදුහලේ 150 වැනි සංවත්සරයට සහභාගී වන්නැයි සබරගමුව ප‍්‍රධාන අමාත්‍යතුමා මට ආරාධනා කළා. අද දින සහභාගී වීමට තිබූ වෙනත් වැඩ කටයුත්තක් ද කල් දමා මා මේ උත්සවයට සහභාගි වීමට තීරණය කළා.
උත්සවයේදී ඉල්ලීම් ලැයිස්තුවක් මා වෙත ලැබුණා. සබරගමුව ප‍්‍රධාන ඇමැතිතුමා, කබීර් හෂීම් ඇමැතිතුමා, චම්පිකා පේ‍්‍රමදාස මහතා දෙන උදව්, මේ සියලූ උදව් දෙස බැලූ විට තවත් රජයෙන් උපකාර කුමකටදැයි මා කල්පනා කළා.
විදුහලට ක‍්‍රීඩාංගණය දීමට ජනාධිපති තුමන් එකඟ වූ බව කියැවුණා. මගෙන් ඉල්ලීම් කළ පිහිනුම් තටාකය සම්බන්ධයෙන් මගේ සහයෝගය ලබා දීමට තීරණය කළා. වර්ෂ 150 සමරන පාසල් මෙරට ඇත්තේ ස්වල්පයක් පමණයි. එවැනි පාසල් රැසක් තිබුණා නම් මේ අයුරින් ඉල්ලීම් කෙරෙනවිට අධ්‍යාපන අමාත්‍යාංශයත් බංකොළොත් වේවි යැයි අධ්‍යාපන ඇමැතිතුමා සමග පැවැසුවා.
ශාන්ත මරියා විදුහල යනු ලංකාවේ පැරණිම විදුහලක් වනවා. කොළඹ යාපනය, ගාල්ල, මහනුවර, මෙන්ම කෑගල්ලේ වසර 150ක් පැරණි විදුහල් තිබෙනවා. ඒ විදුහල ඇරැඹීමට පෙර 1852 වසරේ මේ දේවස්ථානය ආරම්භ කෙරුනා. සිසුන් 20 දෙනකුගෙන් විදුහල ඇරැඹුණේ දේවස්ථානයේ උනන්දුව නිසයි.


ඒ නිසා විදුහලේ ආරම්භක විදුහල්පති ඬේමිලියෝ පියතුමා සහ ගුරු මණ්ඩලය සිහිපත් කළ යුතුයි. දේවස්ථානය නොතිබුණා නම් මේ පාසලත් නැහැ. හිටපු විදුහල්පතිවරුන් කළ සේවයත් මෙහිදී සිහිපත් කළ යුතුයි.
ශාන්ත මරියා විදුහල මෙතරම් දියුණු තත්ත්වයට පැමිණ ඇත්තේ ඒ අයගේ කැපවීම නිසයි. මහනුවර කොළඹ ප‍්‍රධාන මාර්ගය අයිනේ පිහිටීම විදුහලට තවත් වාසියක් බව කිව යුතුයි.
විදුහලේ දීප්තිමත් ආදි සිසුන් ගණනාවක් සිටිනවා. විශ්වවවිද්‍යාල, ක‍්‍රීඩා, දේශපාලන ක්ෂේත‍්‍රවල ආදි සිසුන් සිටිනවා. මේ විදුහලෙන් ලංකාවට කර තිබෙන සේවය එයින් වටහා ගත හැකියි. මේ විදුහල ඉදිරියේදී තවත් දියුණු වේවා යැයි මා ප‍්‍රාර්ථනා කරනවා. තම විදුහල ඉදිරියට ගෙනයාමට ආදි සිසුන්ගෙන්, ප‍්‍රදේශයෙන්, මව්පියන්ගෙන් විශාල සහයෝගයක් ලැබෙනවා. ප‍්‍රදේශයට සම්පතක් වූ මේ විදුහල ආරක්‍ෂා කරගන්න මේ සම්පත දියුණු කරන්න. එවිට අනාගතය ගැන කිසිම බයක් නැතිව ඔබට ඉදිරියට යාමට අවස්ථාව ලැබෙනවා.
ඉතා දක්ෂ සිසුන් මෙහි සිටිනවා. විදුහලේ විද්‍යා හා තාක්ෂණ ප‍්‍රදර්ශනය නැරැුඹූ විට මට ඒ කරුණු අවබෝධ වුණා. අනාගතයේදී රියැදුරන් නැති ස්වයංක‍්‍රීය වාහන දකින්න ලැබේවි.
අද තරුණයන් තාක්ෂණය සමග ජීවත් වෙනවා. මගේ පරපුරේ අයනම් තාක්ෂණය ගැන වැඩිදුර දන්නේ නැහැ. අපටත් දැන් එය ඉගෙන ගන්න සිදුවී තිබෙනවා. අපගේ ජීවිත කාලයේදී තාක්ෂණ ගණනාවක් ඉගෙන ගන්න වුණා. අපේ කාලේ තිබුණේ ඇඟිල්ලෙන් කරකවන දුරකතන වර්ගයයි. එවැනි දුරකතනයක් ගන්නත් වසර තුනක් පමණ ගත වෙනවා. ඒ දුරකතන තිබුණේත් නිවාස අතළොස්සක පමණයි. නමුත් අද තත්ත්වය බොහෝ වෙනස් වෙලා. සෑම කෙනෙකුගේ අතේම ජංගම දුරකතනයක් තිබෙනවා.
ජංගම දුරකතන ලංකාවට පැමිණියේ 1989 හෝ 1990 හෝ වසරේදීය. එයත් අතේ ගෙනයන විශාල දුරකතනය වූවා. අද ජංගම දුරකතන සාක්කුවේ දාගෙන යනවා. ඉස්සර තිබූ කොඩැක් කැමරා අද දකින්න නැහැ. දැන් ඒවායේ කාලය ඉවරයි. දැන් ජංගම දුරකතනයේ කැමරා ඇතුළු හැම පහසුකමක්ම තිබෙනවා.
අද ලියුම් යවන්නෙත් නැහැ. ඒ නිසා තැපැල් සේවයත් අඩපණ වෙලා. එහි ආදායමත් අඩුවෙලා. අනාගතයේ රට දියුණු කිරීමට නම් තාක්ෂණය සමග එකතු විය යුතුයි. තාක්ෂණය නිසා වත්මන් ලෝකය ශීඝ‍්‍රයෙන් වෙනස් වෙනවා. අප හිතනවාට වඩා වේගයෙන් ඉදිරියට යනවා.


විසිවැනි ශත වර්ෂයට වඩා පසුගිය වසර 15 දී ශීඝ‍්‍ර තාක්ෂණික දියුණුවක් ඇතිවුණා. අපත් ඒ දියුණුව සමග ඉදිරියට යා යුතුයි. නැතිනම් රටට දියුණුවක් ලබා ගැනීමට හැකියාවක් නැහැ. අනාගතයක් නැහැ.
1948 නිදහස ලබන විට ශ්‍රී ලංකාව ආසියාවේ දියුණුම රටයි. 1979 වසරේදී විවෘත ආර්ථිකය හඳුන්වාදීමෙන් පසුව අප ඇඟලූම් කර්මාන්තයට පිවිසුණා. මෙරට කර්මාන්ත පිළිබඳව මෑතකදී හාවර්ඞ් විශ්වවිද්‍යාලයෙන් වාර්තාවක් මා ගත්තා. ඇඟලූම් කර්මාන්තවලින් පමණක් ඉදිරියට යන්න නොහැකි බවත් මෙරට අපනයන කර්මාන්ත සහ විදේශ විනිමය අඩු මට්ටමක පවතින බවත් ඒ වාර්තාවේ දැක්වෙනවා. එම නිසා අප දැන් තවත් අලූත් අංශ හඳුනාගත යුතුයි. නව තාක්ෂණය විශාල වශයෙන් යොදා ගත යුතුව තිබෙනවා. අප ඇඟලූම් කර්මාන්තය අරඹන විට අප වටේ සිටි සිංගප්පූරුවත් ඇඟලූම් කර්මාන්තය කළා. සපත්තු හැදුවා. සූට්කේස් හැදුවා. මැලේසියාව, තායිලන්ත ආදී රටවලූත් එහෙමයි. වියට්නාමය, චීනය කිසිම කර්මාන්තයක් එදා අරඹා තිබුණේ නැහැ. දැන් වසර 40ක් ඉකුත් වෙලා.
මේ වනවිට සිංගප්පූරුවේ හොඳම තාක්ෂණය තිබෙනවා. රොබෝ තාක්‍ෂණය පවා තිබෙනවා. මැලේසියාවේ තාක්ෂණයත් අපට වඩා දියුණුයි. වාහන පවා නිෂ්පාදනය කර පිටරට යනවා. තායිලන්තයේ එක් කර්මාන්ත කලාපයකට අක්කර දස දහසක් පමණ තිබෙනවා. අප රටේ ලොකුම කර්මාන්ත කලාපයේ තිබෙන්නේ අක්කර 400යි. ජපානයට අවශ්‍ය වාහන අමතර කොටස් ගණනාවක් හදන්නේ තායිලන්තය හෝ චීනයයි.
1991 වසරේදී මා කර්මාන්ත අමාත්‍යවරයාව සිටියදී වියට්නාමයේ කර්මාන්ත අමාත්‍යවරයා මා හමුවීමට පැමිණියා. ඔහුගේ අරමුණ වූයේ අප එදා කර්මාන්ත ඇරැුඹුයේ කෙසේ ද කියා අධ්‍යයනය කිරීමයි. අද වියට්නාමය අපටත් වඩා ඉදිරියට ගොස් සිටිනවා. නොයෙක් භාණ්ඩ නිෂ්පාදනය කරනවා. චීනය, ඉන්දියාව පවා ජංගම දුරකතනයට අවශ්‍ය කොටස් නිෂ්පාදනය කරනවා. අපත් දියුණු වෙනවා නම් අලූත් තාක්‍ෂණය ගෙන ඉදිරියට යා යුතුයි.
විදේශ විනිමය ඉහළ නැගීම සඳහා අඟලූම් කර්මාන්තය පමණක් ප‍්‍රමාණවත් වන්නේ නැහැ. අපට ඇඟලූම් කර්මාන්තයෙන් තවත් අවස්ථා ලැබේවි. නමුත් එය පමණක් ප‍්‍රමාණවත් වන්නේ නැහැ.
වාහන අමතර කොටස් නිෂ්පාදනය කළ යුතුයි. විදුලි උපකරණ කොටස් නිර්මාණය කළ යුතුයි.
තාක්‍ෂණයත් දිනෙන් දිනම දියුණු වෙනවා. ඇන් ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර තිබෙනවා. ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර නිසා නිෂ්පාදනය වැඩි වෙනවා. සමහරවිට ස්වයංක‍්‍රීය යන්ත‍්‍රවලින් ඉදිරියට ගොස් රොබෝ තාක්ෂණය යොදා ගන්නවා. රොබෝ තාක්ෂණයෙන් විශාල බරක් ඔසවන යන්ත‍්‍ර මේ විදුහලේ තාක්ෂණික ප‍්‍රදර්ශනයේදී මා දුටුවා.


තාක්ෂණික ක්‍ෂේත‍්‍රය දියුණු කළහොත් රැුකියා අඩුවේවි යැයි සමහරුන්ගේ බයක් තිබෙනවා. එසේ වන්නේ නැහැ. අනෙක අපට අඩු වේතන ලබන රටක් ලෙස ඉදිරියට යන්න බැහැ. ඉන්දියාවේ අපටත් වඩා අඩු වේතන ගෙවනවා. බංග්ලාදේශය, මියන්මාරය යන රටවල ඊටත් වඩා ලාභ ශ‍්‍රමය තිබෙනවා.
අපේ බලාපොරොත්තුව ආදායම අඩු කිරීම නොව වැඩි කිරීමයි. හොඳින් ජීවත් වීමට මාර්ගය සලසා දීමයි. වැඩි ආදායම ලබා දීමට තරගකාරී බව ඇති කිරීමට තාක්‍ෂණය යොදාගත යුතුයි. අපට සමහර ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර යෙදවීමට හැකියාව තිබෙනවා.
වසරකට මෙරට ලක්ෂ දෙකක පමණ පිරිසක් රැුකියා බලාපොරොත්තු වෙනවා. ඉන්දියාවේ ඒ පිරිස හතළිස් ගුණයකින් වැඩියි. බංග්ලාදේශයේ වසරකට රැුකියා අපේක්‍ෂිත පිරිස අපට වඩා දස ගුණයකින් වැඩියි. ඉතින් මේ අයට අඩු වේතනවලට තවමත් වැඩ කිරීමේ හැකියාව තිබෙනවා.
නිෂ්පාදනය වැඩි කරනවා නම් හැම දෙනාම කර්මාන්ත ක්ෂේත‍්‍රයට එන්නේ නැහැ. අනෙක් අංශවලටත් ගමන් කරනවා.
අපට වඩා අඩු වේතන ගෙවන රටවල් සමග තරග කරන්නට අපට බැහැ. එසේ නම් අප තාක්ෂණය යෙදවිය යුතුයි. මීට වඩා වැඩි මිලක් දෙන භාණ්ඩ නිෂ්පාදනයට යොමුවිය යුතුයි. තාක්ෂණය යෙදවූ කිසිම රටක් පසුපසට ගිහින් නැහැ.
ඇමෙරිකාව, එංගලන්තය වැනි රටවල් ඉදිරියට යන්නේ කර්මාන්ත තාක්ෂණය යෙදවීම නිසයි. එවිට එක් පුද්ගලයකුට තුන්හතර ගුණයක් වැඩිපුර නිෂ්පාදනය කළ හැකි වෙනවා.
ලෝකයේ කර්මාන්ත විප්ලවයට පෙර පැය අටක් අටක් පමණක් වැඩ කළා නම් නිෂ්පාදනය කළ හැකි වන්නේ කුමක් ද? ඇඟලූම් කර්මාන්තය දෙස බලන්න. ඒවා නිෂ්පාදනය කළේ අත් යන්ත‍්‍රවලිනුයි. ඒ නිසා ලෝකයට සැපයිය හැකි ඇඟලූම් ප‍්‍රමාණයේ සීමා සහිත බවක් තිබුණා. කර්මාන්ත විප්ලවය නිසා අඟලූම් නිෂ්පාදනය ශීඝ‍්‍රයෙන් වර්ධනය කර ගැනීමට හැකියාව තිබුණා.
20 වැනි ශත වර්ෂය මැද භාගය වනවිට විදුලි බලයෙන් ක‍්‍රියාත්මක කරන යන්ත‍්‍ර භාවිතයට පැමිණියා. ඇඟලූම් නිෂ්පාදනය වැඩිවීමට එයත් හේතු වුණා. දැන් පරිගණකය ආශ‍්‍රයෙන් රෙදි කපන කටයුත්තත් කරන්න පුළුවන්කම තිබෙනවා. හොඳ තාක්ෂණය තිබෙන ඇඟලූම් කර්මාන්තශාලාවක් අවශ්‍යනම් තුල්හිරියේ මාස් කර්මාන්තශාලාව ගැන අධ්‍යයනය කරන්න. පන්නල අප තවත් එවැනි කම්හලක් ඇරැුඹුවා.
තාක්ෂණය නිසා කෘෂිකර්ම ක්ෂේත‍්‍රයත් ඉදිරියට පැමිණ තිබෙනවා. අපේ කෘෂිකාර්මික අංශයත් එහෙමයි. අප පොඩි කාලේ විශාල පිරිසක් එකතු වී ගොයම් කපනවා. මුළු ගමම එනවා. අද කුඹුරට ‘භූතයා’ නම් මැෂිම දාපු ගමන් ගොයම් ටික කපා ගන්න පුළුවන්. දැන් තිබෙන ලොකුම ව්‍යාපාරය ‘භූතයන්’ මිලදී ගෙන කුලියට දීමයි.
හැම රටක්ම එවැනි තාක්‍ෂණ ශිල්ප ක‍්‍රමවලින් ඉදිරියට යනවා. මා එක් කාලයක කැලිෆෝනියාවට ගියා. ඔවුන් වයින් හදන්න මිදි වවනවා. ඔවුන් මිදි පැළවලට වතුර දෙන්නේ සාමාන්‍ය ක‍්‍රමයට නොවෙයි. බිංදු ජලනල වාරිමාර්ග ක‍්‍රමයක් භාවිත කරනවා. හැම පැළයකටම වෙන වෙනම ජලය දෙනවා. පැළයකට ලැබිය යුතු ජලය ප‍්‍රමාණය එකිනෙකට වෙනස් වූ විට එය පාලනය කරන්නේ පරිගණකය ආශ‍්‍රයෙනුයි.
අපි තවම බාල්දි ගෙන වතුර දානවා. නැතිනම් හෝස් පයිප්ප අල්ලනවා. කැලිෆෝනියා ජනතාව අවශ්‍ය තැනට අවශ්‍ය වතුර ප‍්‍රමාණය දෙනවා.
ඇමරිකාවේ සුළු ගොවියකු යනු අක්කර 500ක් වගා කරන පුද්ගලයෙකුටයි. ඔහුගේ පවුලේ අයත් සමඟ එක්ව වගා කිරීම් කරනවා. අප නම් වැඩිම වුණොත් අක්කර දෙකක්වත් වගා කරාවි. 
වී වගාවට මෙන්ම අනෙක් අංශ සඳහා තාක්ෂණය යොදවන්නේ කෙසේද? ඒ දියුණුව ඇති කරන්නේ කෙසේද?
ඊළඟ ප‍්‍රශ්නය වාහන පාලනය කිරීමයි. සිංගප්පූරුව ගතහොත් වාහන පාලනය කරන්නේ පොලිසියෙන් නොවෙයි. කැමරා, පරිගණක ආශ‍්‍රයෙන් නොයෙක් ස්ථානවල සිට වාහන පාලනය කරනවා. නාගරික දුම්රිය ද ඒ ආකාරයටම පාලනය වෙනවා.
බොහෝ විට හෝටලයකට ගිය විට වන්නේ පිළිගැනීමේ ප‍්‍රදේශයට ගොස් නම සඳහන් කරගෙන කාමරයට යැවීමයි. ජපානයේ අලූත් ක‍්‍රමය අනුව මේ පිළිවෙළ සම්පූර්ණයෙන්ම ඉවත්කර තිබෙනවා. දැන් තමන්ට අවශ්‍ය කාමරය කලින් වෙන් කරගෙන කෙළින්ම කාමරයට ගොස් බිල ගෙවීමත් දුරකතනය ආශ‍්‍රයෙන් හෝ පරිගණකයෙන් හෝ කළ හැකියි. ලෝකය වෙනස් වන්නේ ඒ ආකාරයටයි.
එම්.අයි.ටී. ආයතනය පන්ති පවත්වන්නේ අන්තර්ජාලය  මාර්ගයෙනුයි. ඇතැම් විට අන්තර්ජාලය අධ්‍යාපනය සහ පන්ති කාමර අධ්‍යාපනය එකට එකතු කරනවා. ඉස්සර විවෘත  විශ්වවිද්‍යාලයේ පන්ති තිබුණේ රූපවාහිනිය මාර්ගයෙනුයි. ඇතැම් විට කැසට් භාවිතා වුණා.
ලෝකය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. අපේ කෘෂිකර්මාන්තය ගතතොත් අක්කර දෙකකින් නිසි පරිදි වතුර පාලනය කර නිෂ්පාදනය වැඩි කළ හැකියි. ඇමරිකාවේ නම් සත්ව පාලනයට පවා පරිගණකය උදව් කර ගන්නවා. වෙනස්වීම යනු එයයි. කර්මාන්තයට ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර යෙදීම දැන් ශීඝ‍්‍රයෙන් වෙනවා.
රොබොටික් යන්ත‍්‍ර ලක්ෂ දහයක් ගෙනැවිත් ලෝකය සමඟ තරග කරන්න චීනය තීරණය කර තිබෙනවා. එයින් රැුකියා නැති වන්නේ නැහැ. පුහුණුව ලැබූ  විට වැඩිපුර ගෙවීමට හැකියාව ඇති බව චීනය පවසනවා. රොබෝටික්ස් යන්ත‍්‍ර නිසා තවත් අයට රැුකියා සොයා දෙන්න හැකියාව ලැබෙන බව ඔවුන් කියනවා.
ඊළඟ වසර 10 ඇතුළත ඉහළ තාක්ෂණය කෘෂිකාර්මික ක්ෂේත‍්‍ර සඳහා යෙදවිය යුතුයි. එමෙන්ම බොහෝ දෙනකුට අලූත් රැුකියා මාර්ග දිය යුතුයි. ඒ සඳහා පාසල් හැරගිය අයට වැඩි පුහුණුවක් දෙන ක‍්‍රමය අප හඳුන්වා දෙනවා.


පාසලේදී හැම දෙනාටම විද්‍යාව හදාරන්න අවස්ථාව නැහැ. තාක්ෂණය නැහැ. නමුත් පාසලෙන් පිටවන අයට තාක්ෂණය දීමේ වැඩසටහන ක‍්‍රියාවට නංවනවා. මේ වැඩසටහන අනුව සාමාන්‍ය පෙළ අධ්‍යාපනයෙන් පසුව අවශ්‍ය අයට වෘත්තීය පාඨාමාලා හැදෑරිය හැකියි. නව විෂයන් හඳුන්වා දෙන බව අධ්‍යාපන ඇමැතිතුමා කිව්වා.
ලංකාවේ පාසල් අතර රොබෝටික්ස් තාක්ෂණික තරග පවත්වා සමස්ත ලංකාත්, දිස්ත‍්‍රික්කයේත් හොඳම ජයග‍්‍රහණ ගන්නා පාසල්වලට ත්‍යාග දෙන ලෙස මා අධ්‍යාපන ඇමැතිතුමාට පැවසුවා. මට ඒ අදහස ආවේ මේ නව නිර්මාණ ඉදිරිපත් කිරීම් අධ්‍යයනය කිරීමෙන් පසුවයි.
ශාන්ත මරියා විදුහලේ මෙවැනි නව නිපැයුම් ප‍්‍රදර්ශනයක් පවත්වනවා යැයි මා සිතුවේ නැහැ. නමුත් ඔවුන් ඉතා දක්ෂ බව මට වැටහුණා. අපට නව අදහසක් දීම ගැන ඔබට ස්තුතිවන්ත වෙනවා. ඒ නිසා පිහිනුම් තටාකය දුන්නාට ප‍්‍රශ්නයක් නැහැ’’.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා:
‘‘වසර 150ක් පැරැුණි විදුහලක සමරු උත්සවයට පැමිණීමට ලැබීම ගැන සතුටුයි. පාසල් පද්ධතිය භෞතික හා මානව සම්පත් අතින් දියුණු කිරීම අපේ අරමුණයි.
පාසල්වල විවිධ ව්‍යාපෘති 18500ක් මේ වන විට ක‍්‍රියාත්මක වෙනවා. මේ වන විට විදුහල්පතිවරුන් බඳවාගෙන පුරප්පාඩු සම්පූර්ණ කර තිබෙනවා.
ගුරු හිඟය පියවීම සඳහා අප කටයුතු කරමින් සිටිනවා. අපට අවශ්‍ය සෑම පාසලකම එක හා සමාන අධ්‍යාපනයක් දීමයි.’’
සබරගමු පළාත් ප‍්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා:
‘‘ශාන්ත මරියා විදුහල අපට සම්පතක් වනවා. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, සියලූමදෙනා මේ විදුහලේ එකට ඉගෙන ගත්තා. මිෂනාරි අධ්‍යාපන ක‍්‍රමය යටතේ මේ විදුහල ඇරැුඹුණා. මේ පාසලෙන් රටට වැඩදායී විනය ගරුක සිසු පිරිසක් බිහිකර තිබෙනවා.
අගමැතිතුමාත් මේ විදුහලට පැමිණීම කෑගලූ ජනතාවට ඉතා වැදගත් අවස්ථාවක් බව කිව යුතුයි.
පාසලේ දියුණුව, සංවර්ධනය සඳහා අප නිරන්තයෙන් බද්ධ වී කටයුතු කරනවා.
ළඟම පාසල්, හොඳම පාසල වැඩසටහන යටතේ දහනව කෝටියකට වැඩි මුදලක් මේ විදුහලට දීමට අධ්‍යාපන ඇමැතිවරයා කටයුතු කළා.
මා  දිගු කලක් ඇමැතිවරයකු ලෙස කටයුතු කළා. නමුත් මේ තරම් වැඩි මුදලක් පාසල් සංවර්ධනය සඳහා ලැබුණේ හොඳම පාසල ළඟම පාසල වැඩසටහන යටතේ බව කිව යුතුයි.’’
විදුහල්පතිනි හේමා වික‍්‍රමරත්න මහත්මිය.
‘‘ශාන්ත මරියා විදුහල වසර 150ක් පුරා සමාජයට මහා මෙහෙවරක් කර තිබෙනවා.
1862 වසරේදී ඇරැුඹි මේ පාසලේ අද සියලූ ජාතීන්ට අයත් සිසුන් තුන් දහසක් පමණ ඉගෙනුම ලබනවා. හෙට ලොවට අවශ්‍ය තාක්ෂණය අද අධ්‍යාපනයේ දෙන අධ්‍යාපන ක‍්‍රමය යටතේ අප ඉහළ අධ්‍යාපනයක් දෙමින් සිටිනවා.
අධ්‍යාපනයට අමතරව විෂය බාහිර ක‍්‍රියාකාරකම් වලින්ද විදුහල ඉදිරියට පැමිණ තිබෙනවා.’’
උත්සවයට රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, රාජ්‍ය අමාත්‍ය චම්පිකා පේ‍්‍රමදාස යන මහත්වරු ද සහභාගි වූහ.