ආණ්ඩුවේ සංවර්ධන උපාය මාර්ගවල බරපතළ දුර්වලතා ඇතැයි චෝදනා කරන ඇමැති පාඨලී චම්පික රණවකගෙන් ඒ පිළිබඳව කළ විමසීමකි මේ.  

 

 

ආණ්ඩුවේ සංවර්ධන උපාය මාර්ග වැරැදියි කියලා ඔබ ආණ්ඩුවට දොස් කියනවා. ඔබ ආණ්ඩුවෙ ප්‍රබලම ඇමැති කෙනෙක්. විපක්ෂය කරන්න ඕන වැඩේ ආණ්ඩුවෙ ඉඳගෙන ඔබ කරද්දි ඕව නිවැරැදි කරන්නෙ කවුද එතකොට?  
පළමුවෙන්ම කියන්න ඕන මේ ආණ්ඩුවෙ සුවිශේෂතාවක් තියෙනවා. ඒ තමයි ජනතාවගෙ විවේචනවලට ඇහුම්කන් දෙනවා වගේම ආණ්ඩුවෙ අභ්‍යන්තර විවේචනවලටත් ඇහුම්කන්දීම. ඒ වගේම ඒ විවේචන ධනාත්මකව බාරගන්න තරම් මේ ආණ්ඩුව නිහතමානියි. මේ රජයේ ඉන්න නායකයො හැම කෙනෙක්ම හිතන්න ඕනෑ මහින්ද රාජපක්ෂ මහත්තයගෙ කාර්ය සාධනය පිළිබඳව විවේචනය කොහෙන්ද ආවෙ කියලා. මහින්ද රාජපක්ෂ විදුලි බලාගාර හැදුවා, ගුවන් තොටුපොළවල් හැදුවා. වරායවල් හැදුවා. අධිවේගී මාර්ග හැදුවා. ඔහුගේ කාර්ය සාධනය ඇතුළෙ වැඩ කළේ නෑ කියලා විවේචනයක් ආවෙ නෑ. හැබැයි වෙන විවේචන ආවා. එකක් තමයි මේවත් එක්ක අතිවිශාල ජාතික මංකොල්ලයක්, දූෂණයක් සිදුවුණාය කියන එක. අනිත් එක තමයි මේ සංවර්ධන ව්‍යාපෘති බොහොමයක් ආදායම් උපදවන්න අසමත් ලංකාවේ ණය බර වැඩි කරපු ඒ ණය බර අවසාන වශයෙන් පටවපු සුදු අලි කියන චෝදනාව. මේ ප්‍රධාන චෝදනා දෙක තමයි මහින්ද රාජපක්ෂගෙ සංවර්ධන වැඩ පිළිබඳව ආවේ. එහෙනම් මේ රජයට පැහැදිලි වගකීමක් තියෙනවා ආදායම් ලැබෙන ජනතාවගේ අනාගත ණය බර අඩු කරන සංවර්ධන ව්‍යාපෘතිවලට යන්න. ඒ වගේම ඒවා දූෂණයෙන් තොරව සිදු කරන්නත් ඕනෑ. ඕක තමයි විකල්ප වෙනස වෙන්න ඕනෑ.   


මේ වෙනසට නොයන්නේ ඇයි ඉතින්?  
මේ වෙනස ගැන බලද්දි ආණ්ඩුවට ප්‍රශ්න කීපයක් තියෙනවා. 2015 මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ පාලනය මැතිවරණය ජය ගැනීම සඳහා අතිවිශාල විදියට රාජ්‍ය අරමුදල් යොදවලා තිබුණා. පියවපු නැති බිල් අතිවිශාල ප්‍රමාණයක් තිබුණා. ඒ බිල් පියවන්න මුදල් අමාත්‍යංශයට හැකියාවක් තිබු​ෙණත් නෑ. ඒවා සිදුවෙලා තිබුණෙ ප්‍රමාණවත් ටෙන්ඩර් පටිපාටිවලින් තොරව. බැසිල් රාජපක්ෂ මහත්තයා ආසන්න වශයෙන් රුපියල් බිලියන 250ක් විතර මුදලක් ඉතාම අයථා ආකාරයට යොදා ගත්තා ඡන්දය ජයග්‍රහණය කරන්න ආණ්ඩුවෙ ප්‍රාග්ධන වියදම් විදිහට. පාලම් බෝක්කු දාපු එ​ෙක් ඉඳලා සිල් රෙදි බෙදීම දක්වා මේ වැ​ෙඩ් කෙරුණා. කොටින්ම ගණන් බැලුවොත් මහින්ද රාජපක්ෂට හම්බවෙච්ච ඡන්ද ප්‍රමාණයට අනුව එක ඡන්දයකට රුපියල් හතළිස් දාහක් විතර ආයෝජනය කරලා තියෙනවා මේ ඡන්ද ප්‍රචාරයට අමතරව. මේවා ගෙවා ගන්නෙ කො​ෙහාමද කියන ප්‍රශ්නය යහපාලන ආණ්ඩුවට ආපු ලොකු ප්‍රශ්නයක්. ඒක නිසාම 2015 අවුරුද්දේ අර්බුදයක් ඇති වුණා රටෙන් චෝදනාවකුත් ආවා රාජපක්ෂ කාලේ කරපු සංවර්ධන වැඩ නැවතිලා කියලා. ට්‍රෙෂරියට මේවා ගෙවාගන්න විදියක් නැතුව ගියා. 2015 අවුරුද්දේ ආර්ථික වර්ධන වේගය අඩාල වුණා, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඇතිවෙලා තිබුණු බුබුළ පිපිරිලා ගියා. ඒකෙ ඍන වර්ධනයක් පෙන්නුවා. හැම පැත්තෙන්ම ආණ්ඩුවට අපහසුතාවක් තමයි ඇති වුණේ.   

 


ඒකට ආණ්ඩුවට හරි උත්තරයක් හොයාගන්න බැරි වුණේ ඇයි?  
ආණ්ඩුව ඒකට විසඳුම විදිහට කළේ මහින්ද රාජපක්ෂ රජයේ තිබුණු ව්‍යාපෘති කීපයක් නැවත එළියට ගත්තා. එතනදි ප්‍රමුඛ වුණේ අධිවේගී මාර්ග ව්‍යාපෘති. ඇත්තටම ගත්තොත් ඒවා රාජපක්ෂ කාලෙටත් කලින් ඉඳලා සැලසුම් වෙච්ච ව්‍යාපෘති. 1994-2014 අතරේ අධිවේගී මාර්ග කිලෝ මීටර් 175ක් හදලා තියෙනවා. මේකට රුපියල් බිලියන 205ක් වැයවෙලා තියෙනවා. මේවා ඇස්තමේන්තුගත මුදලටත් වඩා වැඩියි. අපේ මේ ආණ්ඩුව ආවම පොරොන්දු වුණා නව අධිවේගී මාර්ග කිලෝ මීටර් 195ක්. මේකට යන වියදම රුපියල් බිලියන 653ක්. 2025 වෙද්දි සියලු අධිවේගී මාර්ග කිලෝ මීටර් ප්‍රමාණය සැලසුම් කළේ 356ක්. මේකෙ වියදම රුපියල් බිලියන 1331ක්. මේවා හදලා ඉවර වෙද්දි මේ වියදම තවත් වැඩිවෙනවා. මේක අති විශාල ගාණක්. රටට මේක ඔරොත්තු දෙන්නෙ නෑ,  

 


●එහෙනං මේවම කරන්නෙ ඇයි ආණ්ඩුව?  

ඒක තමයි ප්‍රශ්නය. මේවයින් ආදායමක් ආණ්ඩුව උපයනවද කියන එකයි ප්‍රශ්නය. මේකෙන් කිසිම ආදායමක් උපදවන්නේ නෑ. දැනට අධිවේගී මාර්ගවල නඩත්තුවට විතරයි අධිවේගී මාර්ගවල ආදායම පාවිච්චි වෙන්නේ. හැබැයි රටේ සමස්ත ජනතාවම මේ ණය ගෙවන්න ඕනෑ. ඒත් මේ මාර්ගවල පාපැදි යතුරු පැදි ත්‍රීවිල් වගේ ඒවයි යන සාමාන්‍ය ජනතාවට යන්නත් අවසර නෑ. ඒත් ඒ මිනිස්සුත් මේ ණය ගෙවනවා. ආණ්ඩුව මේ කාරණා පිළිබඳව සබුද්ධිකභාවකින් තොරව තමයි මේ සංවර්ධන උපාය මාර්ග තෝරාගත්තේ. අයි. එම්. එෆ්. එකේ එකඟතාවයකට අනුව අපිට වියදම් සීමාවක් ආපු නිසා අපිට සිදුවුණා අත්‍යවශ්‍ය කාරණා පවා අතෑරලා මේ අධිවේගී මාර්ග හදන එකට මූලිකත්වය දෙන්න. ඒක තමයි මම මේ දිගින් දිගටම කියන්නේ මේක නිවැරැදි සංවර්ධන උපාය මාර්ගයක් නෙවෙයි කියලා.   

 


රටේ අධිවේගී මාර්ග හැදිල්ල සම්පූර්ණයෙන් නවත්තන්න කියලද ඔබ කියන්නේ එතකොට?  
නෑ, මම එහෙම කියන්නේ නෑ, ජාතික භෞතික සැලැස්මට අනුව අධිවේගී මාර්ග හදන එකේ වරදක් නෑ. ඒකෙදි ආදායම් ඉපදෙන විදියට ඒක කරන්න ඕනෑ. මේ පාරවල් ආර්ථික විය යුතුයි. එහෙම ආර්ථික වෙන අධිවේගී මාර්ගවලටයි ප්‍රමුඛතාව දෙන්න ඕනෑ. ආර්ථික ප්‍රතිලාභ නොලැබෙන අධිවේගී මාර්ග කල් දාන්න කියල මම යෝජනා කරන්නේ. අපි ඵලදායීතාව වැඩි තැන්වල තමයි ආයෝජනය කරන්න ඕනැ. ඒ වගේම ජනතා අවශ්‍යතා වැඩි තැන්වලට ප්‍රමුඛතාව දිය යුතුයි.  

 


අධිවේගී මාර්ග හදන එක සුදු අලි නම් ඔය ඔබ කියන ප්‍රමුඛතාව ලැබිය යුතු කාරණා මොනවද?  
අන්න එ්ක තමයි ඊළඟ වැදගත්ම ප්‍රශ්නය. ජනතාවගේ මූලික අවශ්‍යතා මොනවද කියලා අපි අවධානය යොමු කරන්න ඕන. එයිනුත් ප්‍රධාන අවශ්‍යතාවක් තමයි ජලය. විශේෂයෙන් ජල අවශ්‍යතාවේ පැති තුනක් තියෙනවා. ඒකත් නාගරික ජල අවශ්‍යතාව. අනික නියඟයෙන් පීඩා විඳින අයගෙ ජල අවශ්‍යතාව. ඊළඟ එක ගංවතුරෙන් පීඩා විඳින අයට තියෙන ජල ප්‍රශ්න. කොළඹ නගරයේ ජල අවශ්‍යතාවේ ප්‍රශ්න රැසක් තියෙනවා. කොළඹට ජලය ගෙන එන නළ පද්ධතියේ කාන්දුවීම් නිසා අපතේ යන ජල ප්‍රමාණය අතිවිශාලයි. 1866 ආරම්භ කරපු නළ පද්ධතියක් මේක. මේවට අලුත් නළත් එකතුවෙලා තියෙනවා. ඒත් පැරැණි නළ පද්ධතිය අබලන් වෙලා ජල කාන්දු වෙනවා. මෙන්න මේ නළ පද්ධතිය වහාම අලුත්වැඩියා කළ යුතුයි. කොළඹට ජලාශයක් නෑ. වී ඔය, යටිමහන කියල ජලාශ දෙකක් යෝජනා වෙලා තියෙනවා. මේවට යන්නේ අධිවේගී මාර්ග කිලෝ මීටර් තුනක මුදල විතරයි මේ දෙකටම වැය වෙන්නේ. අදටත් කොළඹ නගරයේ ගෙවල්වලින් 25%කට ප්‍රමාණවත් ජල සැපයුමක් නෑ. දැන් ශීඝ්‍රයෙන් හැදීගෙන යන සුඛෝපභෝගී මහල් නිවාසවල ජල ඉල්ලුම ඉතා ඉහළයි. මේ ජල අවශ්‍යතාව දෙන්න ක්‍රමයක් තාම නෑ. මේක ප්‍රමුඛතාවක් විදියට තාම හිතලා නෑ.  


නියඟයෙන් පීඩා විඳින පුත්තලම, කුරුණෑගල, මොනරාගල, හම්බන්තොට, රත්නපුර වගේ දිස්ත්‍රික්කවල මේ ප්‍රශ්නය විසඳිය යුතුයි. මේකට කැලණි ගඟ, කළු ගඟ, අත්තනගලු ඔය ජලය එක පැත්තකින් රත්නපුර මොනරාගල හම්බන්තොට දෙසටත් අනික් පැත්තෙන් පුත්තලම, කුරුණෑගල දෙසටත් ගෙනියන්න ඕන. මේවා අපේ ප්‍රමුඛ ව්‍යාපෘති වෙන්න ඕන. වහාම ගංගා ​ෙද්‍රා්ණි අධිකාරියක් පිහිටුවලා මහවැලිය කළා වගේ විශාල සංවර්ධන ව්‍යාපෘතියකට යන්නම වෙනවා.  


ගංවතුර පාලනයත් ඒ වගේම ප්‍රමුඛ කාරණයක්. දැන් පුරුද්දකට වගේ වසරකට වරක් දෙවරක් ගංවතුරෙන් විශාල ජනතාවක් පීඩාවට ලක්වෙනවා. අපි මේක විසඳන්න බිලියන අටක් ට්‍රෙෂරියෙන් ඉල්ලුවා. ඒක දුන්නෙ නෑ. වේරැස් ගඟ ව්‍යාපෘතියට 2017 අවුරුද්දට ට්‍රෙෂරියෙන් සල්ලි දුන්නෙ නෑ.  


අනිත් කාරණය මල අපවහන පද්ධති පිළිබඳ ප්‍රශ්නය. ජල නළ පද්ධති මල අපවහන පද්ධතිත් පරණයි. මේව වහාම අලුත්වැඩියා කළ යුතුයි. කිසිම පිරිසුදු කිරීමකින් තොරව තමයි කොළඹ නගරයේ මල මුහුදට බැහැර කරන්නේ මෝදරිනුයි වැල්ලවත්තෙනුයි. මේවා බරපතළ ප්‍රශ්න.   

 


කුණු ප්‍රශ්නෙත් ඔයිට දෙවෙනි නෑ.   
ඔව්, මම ඊළඟට එන්න හැදුවෙ ඒකට තමයි. කසළ කළමනාකරණය ගැන කාගෙත් ඇස් ඇරුණේ මීතොටමුල්ලෙ කුණු කන්ද කඩාගෙන වැටුණට පස්සේ. ඒකෙන්වත් පාඩමක් ඉගෙනගෙන ඒක නිවැරැදිව ක්‍රමානුකූලව සිද්ධවෙයි කියලා අපි හිතුවා. ඒක සිද්ධ වෙන්නෙත් නෑ. මේක නිසා රටේ ඩෙංගු රෝගය අහස උසට නැග්ගා. අපේ වගකීමක් නොවුණත් අපිට මේක බාර දුන්නම අපිට පුළුවන් උපරිමයෙන් කසළ ප්‍රශ්නය විසඳුවා. හැබැයි ඒක තාවකාලිකයි. මේකට ස්ථිර විසඳුමක් අවශ්‍යයි. ඒ ස්ථිර විසඳුමට රජය ආයෝජනය කරන්නේ නෑ. මේකට යන්නෙ අධිවේගී මාර්ග කිලෝ මීටර් තුනක වියදම විතරයි. ආණ්ඩුව එක එක හේතු කියලා මේකට පස්ස ගහනවා. ලබන අවුරුද්දේ මේ ප්‍රශ්නය ආපහු එනවා. මම නම් ආපහු මේක බාරගන්නේ නෑ.  


විදුලි බලය සම්බන්ධයෙනුත් තියෙන්නේ මේ වගේම තත්ත්වයක්. බලශක්ති හිඟයක් තියෙනවා. ඒත් අපි බලාගාර හදන්නෙ නැතුව ඔහේ ඉන්නවා. මේවා දවසින් දවස ඇදි ඇදී යනවා. මේ අවුරුද්දේ විදුලි බල මණ්ඩලේ පාඩුව අදහගන්න බැරි ගාණක්. බිලියන 70ක්. මේවට ප්‍රමුඛතාවක් දීලා ස්ථිර විසඳුම් දෙන්න උනන්දුවක් නෑ.   


රටේම මහා මාර්ග හදන්න උනන්දු වුණාට කොළඹ අත්‍යවශ්‍ය පාරවල් ටිකක් තියෙනවා හදන්න. සමහර ඒවා පුළුල් කරන්න. ගුවන් පාලම් දාන්න ඕනෑ. උමං මාර්ග දාන්න ඕනෑ. කොළඹ නගරයේ තදබදය අඩු කරන්න මේ පාරවල් ටික සකස් විය යුතුමයි. හම්බන්තොට පාරවල් හදනවට වඩා මේකයි ප්‍රමුඛ වෙන්න ඕන.  


ර​ෙට් ප්‍රමුඛ ප්‍රශ්න ටිකට අවධානය යොමු කරන්නේ නැතුව මහින්ද රාජපක්ෂ වගේම සුදු අලි ටිකක් නඩත්තු කළොත් මේ ආණ්ඩුවත් රාජපක්ෂ ආණ්ඩුවෙම දිගුවක් වේවි. මේකයි මට රටේ අවධානයට යොමු කරවන්න ඕන වුණේ.   

 


කවුද මේ ප්‍රශ්න පස්සට අදින්නෙ? කවුද මේවට සල්ලි දෙන්නෙ නැතුව බ්ලොක් කරන්නේ. කොටින්ම කවුද මේකට වගකියන්න ඕනෑ?  
ආණ්ඩුවෙත් ලොකු අවුලක් තියෙනවා. ජාතික ප්‍රතිපත්ති සැලසුම් අංශ තියෙනවා. විදේශ ආයෝජන පිළිබඳ අංශ තියෙනවා ආර්ථික කොමිෂන් තියෙනවා. ආර්ථික කටයුතු පිළිබඳ කැබිනට් අනුකමිටුවක් තියෙනවා. මේවා තමන්ගේ රාජකාරිය හරියට අඳුනගෙන තියෙනවද කියන ප්‍රශ්නෙ තමයි අපිට තියෙන්නේ.  

 


ඔබ මේවා ගැන ඔච්චර සංවේදී නම් ජනාධිපතිට අගමැතිට කිව්වෙ නැද්ද?   
ඕන තරම් කියලා තියෙනවා. සැලසුම් ඕන තරම් ඉදිරිපත් කළා. මුදල් අමාත්‍යාංශයට නිල වශයෙන් මේ සැලසුම් බාර දුන්නා. කියන්න පුළුවන් හැම විදියටම මේ අවදානම පෙන්නලා තියෙනවා. කැබිනට් මණ්ඩලේටත් කියලා තියෙනවා.  

 


දැන් මම මේක දිගින් දිගටම කිව්වට පස්සේ යම් අවධානයක් යොමුවෙලා තියෙනවා කියලා පේනවා. ඒත් ඒක ප්‍රමාණවත් නෑ. ඒක නිසා මගේ අරගලය ඉවර නෑ.  

 

ප්‍රියන්ත කොඩිප්පිලි