සිරිලක කොම්පොස්ට් රජු ලෙස වැලිමඩ ෆැමිලි ෆාම් ආයතනය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුමත කාබනික නිෂ්පාදන ආයතනයක් ලෙස ලංකාවේ ප්‍රථම වරට ජනාධිපතිතුමන් අතින් පිදුම් ලැබූ අයුරු.

 

වස විසෙන් තොර රටක් ගැන හඬක් නැඟුවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන්ය.   


ඒ දේශනාවට රජයේ වගකිවයුතු අය එදා සාධුකාර දුන්හ.   


ඒ අනුව වස විෂ සහිත ආනයනික පොහොර වෙනුවට කාබනික පොහොර, දියර පොහොර යෙදීමට ගොවීන් නැඹුරු කිරීම සඳහා දැවැන්ත වැඩපිළිවෙළක් දියත් විය. ඒ සඳහා රජය ඇතකු බරට මුදල්ද වැය කළේය.   
එපමණක් නොව පිටරටින් ගෙන්වූ පොහොර හා ග්ලයිෆෝසේට් වැනි වල්නාශක තහනම් කිරීමට රජය පියවර ගත්තේය. ගොවීන්ට පොහොර නැතිව ගැටලු මතු විය.   


ග්ලයිෆෝසේට් වකුගඩු රෝගයට සාධකයක් වී ඇතැයි පවසමින් ඒවා ආනයනය කිරීම තහනම් කළ අයම දැන් එවැනි ආබාධයක් නැතැයි හඬ නඟමින් සිටිති. ගොවි ජනතාව අන්දමන්ද වෙද්දී මේ දවස්වල පාර්ලිමේන්තුවද උණුසුම් වන්නේ මේ මාතෘකාවෙනි.   


එවන් පසුබිමක මේ කතාව දේශපාලකයන්ගේ වැදි බණ නිසා අතරමං වූ අසරණ වූ වැලිමඩ කොම්පෝස්ට් රජා ගැනය.   


වැලිමඩ, දිවිතොටවෙල පදිංචි සරත් විමලවීර නමැති අහිංසකයා, වහු පැටියකුගෙන් පටන් ගත් ගොවිපළ කිරිහරක් 7ක් දක්වා වැඩිදියුණු කළේ බිරිඳ දියණියන් දෙදෙනා හා පුත‍්‍රයා ගේ සහාය ඇතිවය. එනිසාම මෙම ගොවි පවුලට (Family farm) පවුලේ ගොවිපළ යනුවෙන්ද නම තැබිණ.   


ක‍්‍රම ක‍්‍රමයෙන් දියුණු වූ මෙම ගොවිපළ ගවයන් 46 දෙනෙක් සතු වූ ඌව පළාතේ ලොකුම ගොවිපළ බවට පත්වූයේ සාමූහික උත්සාහය නිසාමය. ඒ වන විට දිනකට කිරි ලීටර් 70ක් අලෙවි කළ මේ පවුල හොඳ ආර්ථික තත්ත්වයක පසුවිණ.   


ගොවිපොළේ ගවයන් ගේ ගොම උපයෝගි කරගෙන ක‍්‍රමානුකූලව කුඩාවට ආරම්භ කළ කාබනික පොහොර ව්‍යාපෘතියද සාර්ථක විය.   


ගොවිපළ තුළ පැය 24 දීම පිරිත් වාදනය කළ නිසා එහි විශේෂත්වය අපි 2015 සැප්තැම්බර් මස 13 වැනිදා ‘ඉරිදා ලංකාදීප’යෙන් ලොවට කීවේ, ”ගවයන් පිරිත් අසන පවුලේ ගොවිපොළ” යන සිරස්තලයෙන් යුතු විශේෂාංග ලිපියෙනි.   


වැලිමඩ ප‍්‍රාදේශීය ලේකම් එන්.එම්. ඥානවතී මහත්මිය මෙම ව්‍යවසායකයා පිළිබඳ දැඩි උනන්දුවක් දක්වා රජයේ ඉහළ නිලධාරීන්ගේ අවධානයට ද යොමු කළාය .   


එවකට බදුල්ල දිස්ත‍්‍රික් ලේකම් (වත්මන් ජනාධිපති අතිරේක ලේකම්) රෝහණ කීර්ති දිසානායක මහතාද මෙම ගොවිපළට පැමිණ විශාල අගැයීමකට ලක් කර රජයේ අවධානය මේ සඳහා යොමු කළේය. 

 
මීට කෘෂිකර්මය සම්බන්ධ රාජ්‍ය ආයතන රැසක සහයෝගය ලැබිණ.   


එදා සිනාසෙමින් සතුටු සිතින් තමන් පැමිණි ගමන් මඟ පිළිබඳව උදම් ඇනූ විමලවීර ගොවි මහතා අද පසුවන්නේ දැඩි අසහනයෙනි. කම්පනයෙනි. දුකිනි.   


අපි ඔහුට සවන් දෙමු.   


වස විස සහිත පොහොර හා දියර පොහොර පිටරටින් ගෙන්වීම නතර කරලා වස විස නැති කාබනික පොහොර හා දියර නිපදවීමට රජය තීරණය කිරීමත් සමග මම නිෂ්පාදනය වැඩි කළා. ඒ සඳහා බැංකුවලින් මට ණය මුදල් ලබාදුන්නා. එහෙම කරලා ගොවිපළ වැඩි දියුණු කළා.   


“වස විසෙන් තොර අපට රටක්” යන තේමා යටතේ අමුතු හඬක් ඇති කළ රතන හාමුරුවෝත් එදා අපේ ගොවිපළට වැඩියා. කෘෂිකර්ම ඇමැතිතුමාත් ආවා. මේක ලංකාවේ නියමු ව්‍යාපෘතියක් ලෙස සලකලා ජනාධිපතිතුමා අතින් සහතිකයකුත් දුන්නා.   

 

රජයේ හා රාජ්‍ය නොවන කෘෂිකර්ම පර් යේෂණ හා පුහුණු ආයතනවලින් පවා පැමිණ මගේ ගොවිපළ අධ්‍යයනය කළා. සමහර කෘෂිකර්ම වැඩමුළුවලදී දේශන පවත්වන්නත් මට ආරාධනා ලැබුණා.   

 

 

උගත්කමක් නැති, අත්සන පවා ගහන්න බැරි මම මේ තත්ත්වයට දියුණු වුණේ උත්සාහය නිසයි. රතන හාමුදුරුවෝ ගොවිපළට වැඩිය අවස්ථාවේ මගේ උත්සාහය හුඟාක් අගය කළා.   


මම තව තවත් බැංකුවලින් ණය අරන් නිෂ්පාදනය වැඩිකළා. මේ ​ෙවනකොට කාබනික පොහොර කිලෝ ලක්ෂ 50ක් හා දියර පොහොර ඇතුළුව කෝටි 5ක වටිනා නිෂ්පාදන කරලා තිබෙනවා.   


හැබැයි, එක කාබනික පොහොර මිටියක් වත් රජය මිලදී ගත්තේ නැහැ. අන්තිමට මගෙන් ඉල්ලුවේ කිලෝ එකක් රුපියල් 50 ක් වැනි හිතාගන්නටත් බැරි තරම් මිලකට. අනේ මහත්තයෝ, අප විඳින දුක නිෂ්පාදන වියදම ගැනවත් එයාල සැලකිල්ලක් කළේ නැහැ.   


අන්තිමට විරසක වෙලා කොහොමටවත් ගත්තේ නැහැ.   


අද මම ප‍්‍රධාන බැංකු ඔක්කෝටම කෝටි ගණනින් ණය වෙලා. ණය ගෙවාගන්න බැරිව අන්ත අසරණ වෙලා.   


“මගේ නිෂ්පාදන රජය මගින් සාධාරණ මිලකට මිලදී ගැනීමට වැඩ පිළිවෙළක් යොදා දෙන ලෙස මම ජනාධිපතිතුමාගේ බැගෑපත්ව ඉල්ලනවා.   


එහෙම නොවුණොත් මට සිදුවෙන්නේ වස බී මිය යන්න” යැයිද   


සරත් විමලවීර නමැති මේ ගැමියා පැවසුවේ දිගු සුසුමක් හෙළමිනි.

 

 

 

 


සටහන හා ඡායාරූප   
බදුල්ලේ පාලිත ආරියවංශ