ඖෂධ භාවිතය අතින් අප රට ආසියාවේ ප්‍රමුඛ ස්ථානයක් අත්පත් කරගනී. 2015 වර්ෂයේදී ඖෂධ පිළිබඳ අවදානම්/පරිදාන දර්ශකයට අනුව ඖෂධ වෙ​ෙළඳපොළ පිළිබඳව ආසියා-පැසිපික් කලාපයේ 17 වැනි ස්ථානය අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇත. මෙලෙස වෙ​ෙළඳපොළේ පවතින ඖෂධ අතරින් 90% පමණම ආනයනය කරනු ලබන අතර 10% පමණ වන සුළු ප්‍රමාණයක් අප රට තුළදී නිෂ්පාදනය කරනු ලැබේ. මෙලෙස ආනයනය කරනු ලබන ඖෂධ හරහා අප රටින් ගිලිහෙන මුදල් සම්භාරය රටේ ආර්ථිකයට කරනු ලබන බලපෑම පිළිබඳව සුළු කොට තැකිය නොහැක. සංඛ්‍යාලේඛනවලට අනුව 2013 වර්ෂයේදී පමණක් ශ්‍රී ලංකා ජනරජය මගින් ඖෂධ සඳහා රුපියල් බිලියන 67.7 පමණ වැයකර තිබෙන අතර 2014 වර්ෂයේදී එම අගය රුපියල් බිලියන 75.1 දක්වා ඉහළ ගොස් ඇත. මෙලෙස ශ්‍රී ලංකාව තුළ අලෙවි ​ෙවන ඖෂධ අතරින් ඉතා ඉහළ වෙ​ෙළඳපොළක් ප්‍රතිජීවක මගින් අත්පත් කරගෙන ඇත.   


ප්‍රතිජීවක යනු බැක්ටීරියා සෛල විනාශ කරනු ලබන හෝ ඒවායේ වර්ධනය නිශේධනය කර දමනු ලබන රසායනික සංයෝග අඩංගු ඖෂධ ලෙස අර්ථ දැක්විය හැකි අතර මේවා බැක්ටීරියා අසාධන සඳහා ප්‍රතිකාර කිරීමට බහුලව භාවිත කරනු ලැබේ. කවුරුත් හොඳින් අසා පුරුදු පෙනිසිලින් හා එහි ව්‍යුත්පන්න ප්‍රතිජීවක සඳහා උදාහරණ ලෙස ගත හැකිය. 1926 වර්ෂයේදී ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්ග් විසින් දිලීර විශේෂයක් මගින් නිපදවන සංඝටක සතුව බැක්ටීරියා වර්ධනය නිශේධනය කිරීමේ හැකියාවක් පවතින බව සොයා ගැනීම ප්‍රතිජීවක ඉතිහාසයේ ආරම්භය සනිටුහන් කරන ලදී. 1939 දී එඩ්වර්ඩ් චේන් සහ හොවාර්ඩ් ෆ්ලෝරි මෙම ද්‍රව්‍ය පිළිබඳ වැඩිදුරටත් පර්යේෂණ සිදු කරනු ලැබූ අතර මිනිසුන් සඳහා වැළඳෙන බැක්ටීරියා අාසාදන සඳහා ප්‍රතිකාර කිරීමට ඉහතදී සඳහන් කරන ලද සංඝටකය වූ ‘පෙනිසිලින්’ යොදා ගත හැකි බව පරිකල්පනය කරන ලදී. එසේම දෙවැනි ලෝක යුද්ධය සමයේදී රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා බහුල වශයෙන් පෙනිසිලින් භාවිත කරනු ලැබූ අතර මිලියන ගණනක් වූ රෝගී ජීවිත බේරා ගැනීමට හැකියාවක් ලැබුණි. 1945 දී මොවුන් දෙදෙනාගේ මේ සොයාගැනීම සඳහා නොබෙල් ත්‍යාගය පිරිනමන ලදී. මෙලෙස ආරම්භ වූ ප්‍රතිජීවකවල විකසනය වර්තමානය වන විට වඩාත් ප්‍රබල ප්‍රතිජීවක මාදිලි දක්වා විහිදී ඇත. එසේම මෙම ප්‍රතිජීවක නිසා එදා මෙදා තුර නොගිනිය හැකි තරම් රෝගී මනුෂ්‍ය ජීවිත සංඛ්‍යාවක් බේරා ගැනීමට හැකියාවක් ලැබී ඇත. සංගණනයන්ට අනුව ලොව පුරා ප්‍රතිජීවක පරිභෝජනය වසරකට මෙට්‍රික් ටොන් 100,000 සිට 200,000 දක්වා අගයක් ගනී.   


කෙසේ වෙතත් වර්තමානය ​ෙවන විට ආර්ථිකමය, සෞඛ්‍යමය හා පාරිසරිකමය වශයෙන් වැදගත් වන්නාවූ ගැටළු රැසක් ඇති කිරීම සඳහා ප්‍රතිජීවක අතිභාවිතය හා අවභාවිතය හේතුපාදක වී ඇත. ඇ​ෙමරිකානු ආයතනයක් වන WebMd මගින් පවත්වනු ලැබූ ගෝලීය සංගණනයකට අනුව 95% ක් පමණ වන සෞඛ්‍ය විශේෂඥයන් විසින් රෝගීන් සඳහා ප්‍රතිජීවක නිර්දේශ කරනු ලබන්නේ ඒවායේ අවශ්‍යතාව පිළිබඳව නිසි තක්සේරුවකින් තොරවය. එසේම බොහොමයක් පුද්ගලයන් විසින් වෛරස මගින් ඇති කරනු ලබන සාමාන්‍ය උණ සහ සෙම්ප්‍රතිශ්‍යා තත්ත්ව සඳහා ද ප්‍රතිජීවක භාවිත කරනු ලබන්නේ ඒවායේ ක්‍රියාකාරිත්වය පිළිබඳව නිසි අවබෝධයකින් තොරවය. මන්ද යත් ප්‍රතිජීවක ක්‍රියාකාරී වනු ලබන්නේ බැක්ටීරියා මර්දනය සඳහා පමණක් වන බැවිනි.   


ප්‍රතිජීවක සඳහා ප්‍රතිරෝධී බැක්ටීරියා මාදිලි ඇතිවීම මෙසේ සුලබව සිදු කරනු ලබන ඖෂධ අතිභාවිතය හා අවභාවිතය නිසා උද්ගත වී ඇති භයානක තත්ත්වයක් ලෙස හැඳින්විය හැක. මෙහිදී ඇති වෙන නව බැක්ටීරියා මාදිලි සතුව ප්‍රතිජීවකවලට ඔරොත්තු දීමේ හැකියාවක් ගොඩ නැගී පවතින අතර ප්‍රතිජීවක මගින් විනාශ කිරීමට හෝ නිශේධනය කිරීමට හෝ නොහැකි වෙයි. මෙනිසා බැක්ටීරියා රෝග මර්දනය කිරීමෙහිලා ඖෂධ භාවිතය ඵල රහිත වන අතර රෝගීන්ගේ දේහයන් තුළ වර්ධනය වන බැක්ටීරියා සෛල නිසා රෝග ව්‍යාප්ත වීම වේගවත් වීමත්, දිර්ඝකාලීන රෝග හටගැනීමත්, මෙනිසාම රෝගීන් මරණයට පත් වීමත් සිදු වේ. එසේම මෙම තත්ත්වය මහජන සෞඛ්‍ය කෙරෙහි අනෙකුත් ක්‍රමවලින්ද බලපාන අතර වැදගත් ප්‍රතිකාර ක්‍රම වන අවයව බද්ධ කිරීම්, රසායනික ප්‍රතිකාර ක්‍රම හා අනෙකුත් සැත්කම් සඳහා ඉතාමත්ම අවදානම් ලෙස බලපානු ලබන්නේ පශ්චාත් සැත්කම් ආසාධනවලට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රතිජීවක යනු ඵල රහිත ඖෂධයක් වීමට ඉඩ ඇති බැවිනි.   


කෙසේ වෙතත් මෙම ප්‍රතිජීවක ප්‍රතිරෝධිතාව අද ඊයේ උද්ගත වූ තත්ත්වයක් නොවන අතර එය ප්‍රතිජීවක භාවිතය ආරම්භ වූ මුල් අවදිය දක්වාම දිව යයි. 1942 වර්ෂයේදී පළමුවරට පෙනිසිලින් සඳහා ප්‍රතිරෝධී බැක්ටීරියා මාදිලියක් (Staphylococcus aureus) සොයා ගන්නා ලද්දේ රෝහල්වල පෙනිසිලින් භාවිත කිරීම ඇරඹී වසර 3 ක් ගතවීමටත් මත්තෙනි. වර්තමානය වන විට ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාවය ගෝලීය වශයෙන් මුහුණපා ඇති ව්‍යසනයක් දක්වා වර්ධනය වී ඇති අතර වාණිජමය වශයෙන් නිෂ්පාදනය කරනු ලබන ප්‍රධාන පෙලේ ප්‍රතිජීවක බොහොමයක් නව බැක්ටීරියා මාදිලිවලට එරෙහිව ඵල රහිත වීම නිසා භාවිතයෙන් ඉවත් කිරීමේ අවදානමක් පැන නැගී ඇත. ජාත්‍යන්තර නිමානයන්ට අනුව 2050 වසර වන විට ආසියානු කලාපයේ පමණක් මිලියන 4.7 පමණ වන මරණවලට ප්‍රතිජීවක ප්‍රතිරෝධී බැක්ටීරියා මාදිලි හේතු පාදක වනු ඇත. මෙම හේතූන් නිසාම ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාවය වැළැක්වීම/පාලනය කිරීම පිළිබඳව අවධානය යොමු වී ඇත. 2016 වර්ෂයේ මැයි මාසයේදී ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පැවති 69 වැනි සෞඛ්‍ය සම්මේලනයේදී ද ප්‍රතිජීවක ප්‍රතිරෝධී බැක්ටීරියා මාදිලිවලට එරෙහිව සටන් කිරීම සඳහා වන වැඩසටහන් ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ඇතුළු සාමාජික රටවල් ප්‍රතිඥා දෙන ලදී. මෙයට අනුව 2016 වසරේ නොවැම්බර් 16 වැනි දින ප්‍රතිජීවක සඳහා වන ජාතික ප්‍රතිපත්තියක් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ප්‍රකාශයට පත් කරන ලදී. සුලබ බැක්ටීරියා අාසාදන සඳහා නිර්දේශිත ප්‍රතිජීවක හා මාත්‍රාවන් පිළිබඳ විස්තරයන් මෙහි අඩංගු වේ. මෙමගින් ප්‍රතිජීවක නිසිභාවිතය හා ප්‍රතිරෝධී බැක්ටීරියා මාදිලි හටගැනීම පාලනය කිරීම අරමුණු කොටගෙන ඇත.   


කෙසේ වෙතත් ප්‍රතිජීවක ප්‍රතිරෝධී බැක්ටීරියා මාදිලි ඇති වීම සඳහා මෙතෙක් වැඩිදුර අවධානයට ලක් නොවී පවතින තවත් සාධකයන් ඉවහල් වනු ලැබේ. මේ අතරින් ප්‍රතිජීවක අඩංගු අපජලය ස්වභාවික ජල මුලාශ්‍රවලට එක්වීම වැදගත් ස්ථානයක් ගනී. මෙම ක්‍රියාවලිය සඳහා ඉවහල් ​ෙවන ප්‍රධාන හේතුවක් ලෙස හඳුනාගත හැක්කේ අප රට තුළ පවතින ප්‍රධාන පෙළේ මෙන්ම අනෙකුත් රෝහල්වලත් අපජලය පිරිපහදු කිරීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් පවත්වාගෙන නොයාමයි. ප්‍රතිජීවක සියල්ලම පාහේ හොඳින් ජලද්‍රාවී වන අතර බොහෝ ප්‍රතිජීවකවල අඩංගු වන ක්‍රියාකාරී සංයෝගයෙන් 30% - 90% ත් අතර ප්‍රමාණයක් මුත්‍රා සමඟ බැහැර ​ෙවන බව විද්‍යාත්මක පර්යේෂණ මගින් සොයාගෙන තිබේ. මේ නිසා ප්‍රතිජීවක සහිත අපජලය පරිසරයට එක්වීම සිදුවේ. ස්වභාවික ජල මූලාශ්‍රවලට ප්‍රතිජීවක මිශ්‍ර වීමට බලපානු ලබන අනෙකුත් ප්‍රධාන පෙළේ සාධකය වන්නේ කෘෂිකර්මාන්තයේදී මෙන්ම මත්ස්‍ය කර්මාන්තයේදී ද වර්ධක උත්තේජකයක් ලෙස ප්‍රතිජීවක භාවිතය ඉහළ යාමයි.   


අප රට තුළ මේ සම්බන්ධයෙන් සිදු කරන ලද පර්යේෂණ ප්‍රමාණය ඉතාමත්ම සීමිත වුවද සුලබව භාවිත ​ෙවන ප්‍රතිජීවක ප්‍රභේද වන ක්විනොලොන්ස්, සල්ෆනෝඇමයිඩ් හා මැක්රොලයිඩ්ස් යනාදිය ලොව පුරා රටවල්වල අපජලයේ, පසේ මෙන්ම ආහාර ද්‍රව්‍යවල ද අඩංගු වන බව වාර්තා වී ඇත. එමෙන්ම එක්සත් ජනපදයේ හා ජර්මනියේ කරන ලද පර්යේෂණවලින් ජනාකීර්ණ ප්‍රදේශ, කාර්මික ප්‍රදේශ හා කෘෂිකාර්මික ප්‍රදේශවලින් ආරම්භ වන ජලාපවහන මාර්ගවල එකිනෙකට වෙනස් ප්‍රතිජීවක 15 කට වඩා අධි මාත්‍රාවලින් හමුවන බව වාර්තා වී ඇත. අප රට තුළ තත්ත්වය මෙයටත් වඩා භයානක විය හැක්කේ දියුණු රටවල් හා සැසඳීමේදී අප රට තුළ අප ජලය කළමනාකරණය ඉතාමත්ම දුර්වල තත්ත්වයක පැවතීම නිසාය.   


අනෙකුත් වැදගත් කරුණ වන්නේ රෝහල්වලින් නිකුත් ​ෙවන අපජලයේ ව්‍යාධිකාරක බැක්ටීරියා අඩංගු වීමේ සම්භාවිතාව ඉතාමත් ඉහළ අතර මොවුන්ගෙන් වැඩි දෙනෙක් සතුව ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාවක් පැවතීමට හැකි බව සොයාගෙන තිබීමයි. එමෙන්ම එම බැක්ටීරියාවන්ගේ ගෙනෝමයේ පවතින ජාන ස්වභාවික පරිසරයේ සිටින අනෙකුත් බැක්ටීරියාවන්ටද සම්ප්‍රේෂණය වීමෙන් එම බැක්ටීරියාවන් සතුවද ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාවයක් ගොඩනැගීම සිදුවන බව සොයාගෙන තිබේ.   


එමෙන්ම මෙසේ අපවහන ජලය හරහා පරිසරයට එක්වන ප්‍රතිජීවක, අනෙකුත් පරිසර දුෂක මෙන් නොව ස්වභාවික පරිසරයේ වෙසෙන බැක්ටීරියාවන්ගේ පැවැත්ම සඳහා ද ඍජුවම බලපෑම් ඇති කරයි. මෙම හිතකර බැක්ටීරියාවන් ආහාර දාමවල වැදගත් පුරුකක් වන වියෝජක කෘත්‍ය ඉටු කරන අතර කාබන් චක්‍රය, නයිට්‍රජන් චක්‍රය ආදී ස්වභාවික චක්‍ර සඳහා ද දායක වේ. මෙම හේතූන් සැලකීමේදී පරිසරයට එකතු ​ෙවන ප්‍රතිජීවක මගින් පාරිසරික සමතුලිතතාවයට ඇති කරනු ලබන බලපෑම සුළු කොට තැකිය නොහැක. මෙම හේතූන් නිසා ප්‍රතිජීවක පරිසරයට එක්වීම වැළැක්වීමට මෙන්ම දැනටමත් පරිසරයට එකතු වූ ප්‍රතිජීවක ඉවත් කිරීම සඳහා ද වැඩපිළිවෙළක් සකස් කිරීම යුගයේ අවශ්‍යතාවක් බවට පත්ව ඇත. මේ සඳහා ප්‍රතිජීවක සහිත අපජලය ප්‍රතිකර්මණය කළහැකි ක්‍රම පිළිබඳව මනා අවබෝධයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.   


ප්‍රධාන වශයෙන්ම අධිශෝෂණය, ඔක්සිකරණය හා ජෛවහායනය යන ක්‍රියාවලින් තුන මගින් ප්‍රතිජීවක පරිසරයෙන් ඉවත් වීම ස්වාභාවිකවම සිදුවේ. කෙසේ වෙතත් මේ සඳහා දීර්ඝ කාලයක් ගතවේ. එමෙන්ම සාම්ප්‍රදායික ජල පිරිපහදු ක්‍රම ප්‍රතිජීවක ප්‍රතිකර්මණය සඳහා ඵල රහිත වන බව පර්යේෂණ මගින් සොයාගෙන ඇත. මේ නිසා ප්‍රධාන වශයෙන්ම ප්‍රතිජීවක සහිත අපජලය පිරිපහදු කිරීමේ නව ක්‍රම සොයාගැනීම කෙරෙහි විද්‍යාත්මක ලෝකයේ අවධානය යොමු වී ඇත. කුඩු බවට පත් කරන ලද අර්ධ සන්නායක මගින් සිදු කරනු ලබන ප්‍රභාඋත්ප්‍රේරණය මෙසේ යොදාගත හැකි ක්‍රමවේදයකි. මෙහිදී කාබනික දුෂක, අකාබනික ද්‍රව්‍ය, ඛණිජ අම්ල හා අකාබනික අයන බවට පරිවර්තනය වීම සිදු වේ. TiO2 යනු මෙසේ ප්‍රතිජීවක ප්‍රතිකර්මණය සඳහා යොදා ගැනීමට ඉහළ විභවයක් ඇති අර්ධ සන්නායකයක් බව හඳුනාගෙන ඇත. එය සතුව ඇති ඉහළ ක්‍රියාකාරිත්වය, සාපේක්ෂව ලාභදායී වීම සහ විෂ රහිත බව මේ සඳහා හේතු වී ඇත. ඕසෝන් වායුව මගින් අපජලයේ අඩංගු ප්‍රතිජීවක ඔක්සිකරණය කිරීම මෙසේ යොදා ගත හැකි තවත් ක්‍රමයකි. මෙම ක්‍රමය භාවිතයෙන් අපජලයේ අඩංගු 90% පමණම වූ ප්‍රතිජීවක ප්‍රමාණයක් ඉවත් කළ හැකි බව සොයා ගෙන ඇත. කෙසේ වෙතත් ඕසෝන් යනු වායු දුෂකයක් වන බැවින් භාවිතය පිළිබඳ සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය වේ. ඉහත සඳහන් කළ ක්‍රම දෙකට අමතරව තවත් බොහෝ ක්‍රම පිළිබඳව පර්යේෂණ සිදුකරමින් පවතී. කෙසේ වෙතත් අප රට සඳහා ප්‍රතිජීවක අඩංගු අපජලය ප්‍රතිකර්මණ ක්‍රියාවලියක් තෝරාගැනීමේදී අප රටේ ආර්ථිකයට දරාගත හැකි ආකාරයේ අඩු පිරිවැයක් සහිත කාර්යක්ෂම ක්‍රමයක් තෝරා ගැනීම පිළිබඳ අවධානය යොමු කළ යුතුය. මේ සඳහා පහසුවෙන් භාවිත කළ හැකි අධිශෝෂකයක් ලෙස ජෛව අඟුරු හැඳින්විය හැක. ඕනෑම කාබනික කසළ ද්‍රව්‍යයක් අඩු ඔක්සිජන් තත්ත්ව යටතේ තාප විච්ඡේදනයට බඳුන් කිරීමෙන් ජෛව අඟුරු නිපදවිය හැක. මේ පිළිබඳව සිදුකළ පර්යේෂණ අතිශය සාර්ථක ප‍්‍රතිඵල පෙන්වා ඇති අතර එමගින් කාබනික කසළ ප‍්‍රමාණාත්මකව අඩු කරගැනීමද ලෙහෙසි වේ.   


අවසාන වශයෙන් සඳහන් කළ යුතුව ඇත්තේ ප්‍රතිරෝධක ප්‍රතිරෝධිතාවය පිළිබඳව රජයේ මෙන්ම මහජනයාගේද පුළුල් අවධානය යොමු වීම කාලීන අවශ්‍යතාවයක් බවයි. මහජනයා ලෙස ප්‍රතිජීවක නිසි භාවිතය කෙරෙහි යොමු විය යුතු අතර රජයක් ලෙස රෝහල්වලින් පිටවන ප්‍රතිජීවක අඩංගු අපජලය ප්‍රතිකර්මණය කිරීම සඳහා ක්‍රමවත් මෙන්ම පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම අතිශය වැදගත් වේ.

විරාජ් ගුණරත්න   
ජාතික මූලික අධ්‍යයන ආයතනය - මහනුවර.   
ආචාර්ය
මෙත්තිකා විතානගේ   
ව්‍යවහාරික විද්‍යා පීඨය
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය.