ඔබ නවකතා කියවීමට කැමැති පාඨකයෙක්ද? එසේ නම් ඔබ සාහිත්‍ය කීර්ති ඩබ්ලිව්.ඒ. සිල්වා ශූරීන්ගේ එක නවකතාවක් හෝ කියවා ඇති. ඇතැම් විට ඔහුගේ නවකතා සියල්ලම කියවන්න ඇත. එසේ නම් සිල්වා සූරීන්ගේ ඓතිහාසික නවකතා අතර පුන් සඳක් සේ බැබලුනු ‘‘දෛවයෝගය’’ නවකතාවත්, එහි එන ශිලා, මහානාද, ලංකා, මුගලන්, කීර්තිසේන දේවි, මනමූල වැනි චරිත හඳුනනවා ඇති. මේ චරිත සජීවීව නිරූපණය කළ ‘‘දෛවයෝගය’’ චිත්‍රපටය 1959 අප්‍රේල් 18 වැනිදා රිදී තිරයට පැමිණ ඇත. 


සිල්වා මහතාගේ නවකතාවක් ඇසුරෙන් සිනමාවට නැඟුණු ‘‘කැළෑහඳ’’ චිත්‍රපටයෙන් එතෙක් නොලද තරම් ලක්ෂ ගණනක ආදායමක් ලැබූ වාර්තාව සැලකිල්ලට ගනිමින් ධෛර්යට පත් සිලෝන් තියටර්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ චිත්තම්පලම් ගාඩිනර් හා ‘කැලෑහඳ’ චිත්‍රපටයේ නිෂ්පාදක අධ්‍යක්ෂ බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න ‘‘දෛවයෝගය’’ නවකතාවද සිනමාවට නැගීමට කැමැත්ත දැක්වූ පුවතක්, ඩබ්ලිව්.ඒ. සිල්වා මහතාගේ සමීපතම මිතුරකුව සිටි මාතර කේ.එච්.ඒ. ධර්මසේකරයන්ට කියා තිබුණි. දියතලාවේ ‘ද නූක්’ නිවසේ දී සිල්වා සූරීන් හා ජයමාන්න අතර මූලික සාකච්ඡාවක් පවත්වන ලදී. 


‘‘දෛවයෝගය, කැළෑහඳට වඩා ඉඳුරාම වෙනස් විධියකට නිෂ්පාදනය විය යුතුයි. විශේෂ පරිශ්‍රමයක් විය යුත්තේ ‘මහානාද’ හා ‘මුගලන්’ යන චරිත දෙක නිරූපනය කරන නළුවන් දෙදෙනායි. ශීලා කුමාරියට රුක්මණී දේවිය තෝරාගැනීම ගැන මම එකඟයි.’’ යයි සිල්වා මහතා විශේෂයෙන් සඳහන් කර ඇත. 


එහෙත් අවාසනාවකට මෙන් මේ පිළිබඳව ඔහුගේ එක් මතයකට ජයමාන්න විරුද්ධ වීම නිසා ‘‘දෛවයෝගය’’ බී.ඒ.ඩබ්ලිව්. නිෂ්පාදනය කිරීමට දෛවය ඉඩ සළසා දී නැත. පසුව ‘‘සුනේත්‍රා හෙවත් අවිචාර සමය’’ නවකතාව සිනමාවට නැගීමට අවසර ඉල්ලුවද සිල්වා මහතා අකමැති වී ඇත. තවත් චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වෙත සිල්වා මහතාද, ධර්මසේන මිතුරාද (පසු කලෙක ‘කතා රජ කතාව’ ලියූ) චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වෙත ගියහ. සියල්ල තීරණය වුණත්, නවකතාවේ අයිතිය මුදලින් සීමාකර ගැන්මේ ප්‍රශ්නය විසඳී නැත. මේ වෙනුවෙන් තමාට ගෙවිය යුතු ගණනක් නොකියා ඒ කූට ව්‍යාපාරිකයා මෙසේ ප්‍රශ්න කර ඇත. 


‘‘කැ​ලෑ හඳ ‘කොපිරයිට්’ එක කීයට ද බී.ඒ.ඩප්ලිව්. ට දුන්​ෙන්?’’ 


‘‘ඒ වගක් තමුසෙට මොටද? තමුසෙ ගෙවන්න කැමැති ගණන කියනවකො.’’ සිල්වා මහතා තරහෙන් කියා ඇත. 


නෑ. මට දැන ගන්නම ඕනෑ. මිස්ටර් සිල්වා කිව්වත් නොකිව්වත් මම බී.ඒ.ඩබ්ලිව්.​ ගෙන් අහගන්නම්.’’ 


‘‘තමුසෙ ඕනෑ දෙයක් බී.ඒ.ඩබ්ලිව්. ගෙන් අහගන්නවා. තමුසෙට ඕනෑ හැටියට ම​ෙග් ගනු දෙනු කියන්නේ නැහැ. මේ පොත තමුසෙට දෙන්නේ නැහැ.’’ සිල්වා මහතා එපමණකින් ඒ සාකච්ඡාව අවසන් කළේය. 


අධෛර්යට පත් නොවූ ධර්මසේකර මහතා සිනමාස් සමාගමේ අධ්‍යක්ෂ කේ. ගුණරත්නම් සොයා ගොස් ‘‘දෛවයෝගය’’ අදහස කියා සිටියේය. ගුණරත්නම්ටද සිල්වා මහතාගේ නවකාවක් සිනමාවට නැගීමේ ආසාව තිබුණේය. සිංහල කියවා ගත නොහැකි ඔහුට එම නවකතාවේ සාරාංශය ඉංග්‍රිසියෙන් කියා දීමට ධර්මසේකරයන්ට සිදුවෙයි. මේ ගැන කාර්මික උපදෙස් අවශ්‍ය බව තීරණය කළ ගුණරත්නම් ඉන්දියාවේ සේලම් නුවර පිහිටි මොඩර්න් චිත්‍රාගාරය හිමි චිත්‍රපට අධ්‍යක්ෂ ටී.ආර්. සුන්දරම් (‘සුජාතා’ චිත්‍රපටයේ අධ්‍යක්ෂ) ලංකාවට ගෙන්වා ඇත. ඒ කතාව ධර්මසේකරයන් ‘‘කතා රජ කතාව’’ කෘතියේ විස්තර කර ඇත්තේ මෙසේය. 


1953 දෙසැම්බර් 22 වැනිදා සවස් කාලයේ අප කථානායකයාත්, (සිල්වා මහතා) එම මිත්‍රයාත්, (ධර්මසේකර) සුන්දරම් මහතාත්, ගුණරත්නම් මහතාත් කොළඹ ‘ගෝල් ​ෙෆ්ස්’ හෝටලයේ අමුත්තන් පිළිගැනීමේ ශාලාවේ දී දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වූහ. 


මෙහිදී අප කථානායක ​ෙතමේ සුන්දරම් මහතාගේ දැන ගැනීම සඳහා ‘‘දෛවයෝගයේ’’ සම්පූර්ණ කථා ශරීරය ඉංග්‍රිසියෙන් විස්තර කළේය. ඔහු ඒ කතාව කෙතරම් ප්‍රාණවත් ලෙස ඉදිරිපත් කළේද යත්, ඒ වෙලේ එතැන බීර බොමින් සිටි යුරෝපා ජාතික අමුත්තන් කිහිප දෙනෙක් ද සාවධානව ඔහුට සවන් දෙනවා පෙනිණි. පණ පෙවිය යුතු හැම තැන පණ පොවමින්, දෙපැයක් පමණ ව්‍යක්ත බසින් කැරුණු ඒ කථනය ශ්‍රවණය කළ සුන්දරම් මහතා තමා තුළ එයින් ඇති වූ වශීකරණය ප්‍රමාණ නොකළ හැකි තරම් බලවත් බව උදක් පැවසුවේය. දුෂ්ඨයාත්, වීරයාත් වශයෙන් කැපී පෙනෙන විශේෂ චරිත ද්වයක් නියත ලෙසින්ම දක්නා ලැබෙන සාමාන්‍ය චිත්‍රපට කථාවක ඉඳුරා වෙනස්වූ ​ෙ​ෙදව ​ෙයා්ගය විස්මය ජනක ප්‍රබන්ධයක් බව හෙතෙමේ අවංක සිතින් පිළිගත්තේය. ප්‍රධාන චරිත ද්වය වශයෙන් එහි දැක්වෙන ‘මහානාද - මුගලන්’ දෙදෙනාම මහා වීරයන් වීම ඔහුගේ මවිතයට හේතු විය. දුෂ්‍ඨ චරිතයක් නැතිව මෙතරම් නාට්‍ය රසාලිප්ත කථා ශරීරයක් රචනා කිරීම සැබවින්ම අාශ්චර්යයක් බවත් හේ කීවේය. 


ප්‍රශංසා මුඛයෙන් මෙසේ පැවසූ ඉක්බිති ඒ අවංක අධ්‍යක්ෂ තෙමේ දෛවයෝගය තරම් උසස් පෙළේ ඓතිහාසික නවකතාවක් සිනමා ගත කිරීමට ප්‍රමාණවත් පළපුරුද්දක් තමාට නැතැයි නිහතමානී ලෙස පිළිගත්තේය. 


මඳ කලක් අසනීපෙන් සිටි සිල්වා මහතා අපහසුකම් කිසිවක් නොබලා ‘‘දෛවයෝගය’’ සිනමාවට නැංවීමේ අයිතිය සිමාසහිත ලක්දිව චිත්‍රපටි නිෂ්පාදකයන්ගේ සමාගමේ අධ්‍යක්ෂවරුවන ඊ. ඇල්ප්‍රඩ් සොයිසා සහ ඊ.ජේ.සී. ද සොයිසා මහතුන්ට පවරා දෙන ලදී. අනතුරුව, තම කැමැත්තේ හැටියට චිත්‍රපට කථාව ලියා දුන් සිල්වා මහතා නළු නිළියන් කැඳවා සම්මුඛ පරීක්ෂණයක්ද පැවැත්වූයේය. 


එහෙත් (1947 සිට 1957) දක්වා සිංහල චිත්‍රපට බොහොමයක් රූප ගත වූයේ දකුණු ඉන්දියානු චිත්‍රාගාරවල කෘත්‍රිම පසුතල යටතේය. මදුරෙයි නගරයේ චිත්‍රලංකා චිත්‍රාගාරය, කොයිම්බතූර් හා සෙන්ට්‍රල් චිත්‍රාගාරය, මදුරාසියේ නැප්චූන් හා සදර්න් චිත්‍රාගාර, මයිලපුර්හි ෂන්මුග චිත්‍රාග්‍ාරය, නැප්චූන් චිත්‍රාගාරය, සිටඩල් චිත්‍රාගාරය, සේලම් නුවර මොඩර්න් චිත්‍රාගාරය, මදුරාසියේ වාහිනි චිත්‍රාගාරය මේ අතර වෙයි. මුල්වරට උතුරු ඉන්දියාවේ පුනාහි ප්‍රභාත් චිත්‍රාගාරයේ රූගතවූ සිංහල චිත්‍රාපටිය වූයේ ‘‘දෛවයෝගය’’ චිත්‍රපටිය වීම විශේෂ සිද්ධියකි. චිත්‍රාගාරයේ අධ්‍යක්ෂවරයා වූයේ ඇස්.කේ. ඕජාය. කැමරා ශිල්පියා වූයේ කේකි මිස්ට්‍රිය. සංගීත අධ්‍යක්ෂවරයා වූයේ සජාද් හුසේන්ය. 


‘‘දෛව​ යෝගය’’ නවකතාවේ කියන දෙය පිළිබඳ පිරිසිදු අවබෝධයක් ඇති ගත්කරුවකු අතින් ලියැවුණු නවකතාව පණ ගැන්වීමේදී ආධාර වී ඇත්තේ තවත් නොපැරූවිය හැකි ශූරයෙක් බව ඉරිදා ලංකාදීප නියෝජ්‍ය කතුවරයකුව සිටි පියල් වික්‍රමසිංහයන් ලියා තිබුණි. ඒ මෑත යුගයේ ලංකාවේ පහල වූ පුරාවිද්‍යා විශේෂඥයා වන ආචාර්ය සෙනරත් පරණවිතාන ඒ ශූරයා බව පවසන වික්‍රමසිංහ, පොළොන්නරු සමය නිරූපණය කිරීම සඳහා අවශ්‍ය ගොඩනැගිලි ඇඳුම් ආයිත්තම් ආදිය පිළිබඳ අදහස් ලබාගෙන ඇත්තේ පරණවිතාන මහතාගෙන් බවත් පවසා තිබුණි. වික්‍රමසිංහයන් මෙසේද පවසා තිබුණි. 


අපේ ජාතියේ පටන්ගැන්මේ පටන් අද දක්වා කාලය පේනයෙන් කියා පෑමේ ශක්තියක් ඇති පරණවිතාන ශූරීන්ගේ අදහස් මවා පෑම කර ඇත්තේ ජාතික කලාව පිළිබඳ කාටත් නොදැවෙනි දැනුමක් හා හැකියාවක් ඇති ජාතික කලා පෙරමුණෙ සභාපති මාපලගම විපුලසාර හිමියන්ය. 


මාපලගම හිමියන්ගේ කලා අධ්‍යක්ෂණ උපදෙස් ‘‘දෛවයෝගය’’ චිත්‍රපටයෙන් මොනවට පැහැදිලිවේ. දකුණු ඉන්දියානු චිත්‍රාගාරවල තැනවූ කෘත්‍රීම නිර්මාණ අභිබවා ඒ හිමියන් නිර්මාණය කළ වෙහෙර සහිත ​ෙබෟද්ධ පරිසරය ප්‍රේක්ෂකයා සිත් නිවී පහන්වූ බව මොනවට පෙනෙයි. මාපලගම හිමියන්ගේ උපදේශකත්වය යට​තේ බී.ඩී. කානේගේ කලා අධ්‍යක්ෂණයට හෙන්රි ධර්මසේනගේ සහාය ලැබී ඇත. 


චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක වූ ශිලා ලෙස රුක්මණී ​ෙද්විත්, මහනාද ලෙස සේනාධීර කුරුප්පුත්, මුගලන් ලෙස හෙක්ටර් හේවාවිතාරණත්, ලංකා ලෙස කුමාරිලතාත්, මානමුල ලෙස ගාමිණී ​ෙෆාන්සේකාත්, රුචික ලෙස මාක් සමරනායකත්, දත්ත ලෙස ඒ.ඩී. ජයමාන්නත්, සුගලා ලෙස සිරිමති රසාදරිත්, කීර්තිසේන දේවිය ලෙස ලලිතා ද සිල්වාත්, විදුරඟ ලෙස රෙජි පීරිස්  ද උපලේකා ලෙස තිමොතියස් පෙරේරාද, ටිකිරා ලෙස ශාන්ති විරාජ් ද රඟපෑහ. මෙහි නැටුම් ඉදිරිපත් කර ඇත්තේ නිත්තවෙල ගුණයා, හීන්බබා ධර්මසිරි, ඇන්.ඇම්. සෝමදාස සහ පිරිස වීම තවත් විශේෂයකි. මේ චිත්‍රපටයේ. ලංකා ලෙස හඳුන්වාදෙන කුමාරිලතාගේ නියම තම සෝමලතා මහන්තේය. ‘ලංකාදීප’ පංච කලණාණි තරගයෙන් මහනුවර පංචකල්‍යාණියට තේරුණේ ඇයයි. 


‘‘දෛවයෝගය’’ චිත්‍රපටයේ කතාව විකාශනය වෙන්නේ මෙසේය. මහා සංග්‍රාමයකදී මියගිය කීර්තිසේනයන්ගේ වැඩිමහල් දියණිය වන ශීලා (රුක්මණීදේවි) මහානද සෙනෙවි (සේනාධීර කුරුප්පු) සමඟ ආදරයෙන් පසුවෙන අතර බාල දියණිය වන ලංකා (කුමාරි ලතා) මානමුල දිසානායක (ගාමිණී ​​ෆොන්සේකා) ගැන බලාපොරොත්තුවෙන් සිටියි. මේ අතර යුද පිණිස එතෙර ගිය මහානාද සෙනෙවි සොලී රූමතියක හා පෙම් බැඳ ගත් බව ශීලාට දැන ගන්නට ලැබෙයි. මෙහිදී ශීලාගේ සිත දිනා ගැනීමට ප්‍රයත්න දැරූ උපලේනා (තිමෝතියස් පෙරේරා) එය ව්‍යර්ථ වී යාමෙන් කෝපයට පත්ව කීර්තිසේන පවුලට හිමිකම් ඇති පර්වත විමානය මුගලන් මාණ්‍ඩලිකයන් (හෙක්ටර් හේවාවිතාරණ) පර්වත විමානයෙහි ඔවුන්ගේ මුළු ජීවිත කාලයම නිදහස්ව විසීමට අවසර දුන් නමුත් ඒ නම්බුකාර පවුල එයට කැමැත්තක් නැති බැවිනුත්, සංග්‍රාමයකින් මුගලන් ජීවිතක්ෂයට පත්වූ ආරංචියත් පොළොන්නරුව පුරා පැතිර යයි. 


මේ අතර ශීලා සොයා පැමිණි පළමු පෙම්වතා මහානාද ඇය සමඟ රහසේ විවාහවීම නිසා මවගේ අනු දැනුමක් නැතිව ඇය ගැබ් ගනියි. එයින් පසු මුගලන් ජීවත්වෙන බවට පුවතක් ශිලාට ලැබී මහානාදට ඇයගෙන් වෙන්ව යන ලෙස දන්වයි. දරු ප්‍රසූතියට කල් පැමිණීමත් සමගම දිළිඳු හිතවතකුගේ තැනෙක සති කිහිපයක් ලැඟුම් ගන්නා ශීලා ලත් දරුවා එහි රඳවා යළිත් පර්වත විමානයට එයි. 


දිනක් ශිලා ඇයගේ දරුවා සුරතල් කරමින් සිටින අවස්ථාවක මුගලන් රහසිගතව එහි පැමිණෙයි. මෙහිදී ශීලා සිහි මුර්ජා වූ හෙයින් ලංකා ඒ දරුවා තමාගේ යැයි දක්වා ශීලා ගලවා ගනියි. දෛව යෝගයකින් ඔවුන් සැමගේ දෛවය විසඳෙයි. 


​‘‘දෛවයෝගය’’ චිත්‍රපටයේ පසුබිම ගීත අතිශයින්ම නිර්මාණශිලීය. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් චිත්‍රපට ගීත රචනයට පිවිසෙන්නේද මේ චිත්‍රපටයෙනි. ‘ලංකාදීප’ කර්තෘ මණ්‍ඩල​කයෙකුවූ නීතීඥ ජයතිස්ස හේරත් විසින් මානවසිංහයන්ට මේ අවස්ථාව ලබාදෙනු ලැබීය. මානවසිංහයන් දෛවයෝගයට ගීත හතරක් ලියූ අතර ඒවා අතිශයින් ජනප්‍රිය විය. 


‘හද ගිලෙයි අම මිහිරේ 
පෙම් සුවේ රස ඉතිරේ 
මල් පැණි මදිරා මී පැණි ගංගා 
පෙම් සයුරට මුසුවේ 


(ගායනය - රුක්මණී දේවි හා මොහිදීන් බෙග්) 


‘‘අදාරයේ රුචිරාණනියේ 
ලියලනවා තව තව සෝකේ 
වැලපෙනවා මා අද හිරගේ 


(ගායනය - මොහිදින් බෙග්) 


‘දොයි - දොයිය පුතා දොයි දොයි’ 


(ගායනය - රුක්මණී දේවි)  


මොහිදින් බෙග් ගැයූ ජීවිත ගමනේ දෛවයෝගේ ගීතයද මානවසිංහයන් පැබඳූ තේමා ගීතය විය. 


මේ චිත්‍රපටයට හෙන්රි ධර්මසේන රචනා කළ ‘උඹෙ නාඹර තැඹිලි පාට - රූපය මට ලැබුණු දාට’ (ගායනය - මොහිදීන් බෙග් හා සිරිමති රසාදරී) හියුබත් දිසානායක රචිත ‘මැලවී යන්නා හද මාගේ - මල පරවන සේ’ (ගායනය රුක්මණී දේවි) ධර්මශ්‍රී කුරුප්පු රචිත ආලෝකය හැම තැන පැති​ෙර් - මා පමණයි මහගන අඳුරේ. ගායනය - රැක්මණී දේවී, සරත් විමලවීර රචිත ආදරයයි, කරුණාවයි - හිමි බැතියයි. මා හිත පාරයි.(ගායනය - රුක්මණී දේවී) ගීත ‘දෛව​ෙයා්ගයට’ ආලෝකයක් ගෙන දුණි. මේ ගීතවල සංගීත නිර්මාණය හා පසුබිම් සංගීතය කළ සජාද් හුසේන් භාරතයේ විශිෂ්‍ට සංගීත අධ්‍යක්ෂ වර​ෙයකි. 


දෛව යෝගයේ තනු නිර්මාණ ස්වතන්ත්‍රයයි සඳහන් කරන මහාචාර්ය සුනිල් ආරියරත්න උතුරු ඉන්දීය චිත්‍රාගාරයක සිංහල චිත්‍රපට ගීත පටිගත කෙරුණු මුල්ම අවස්ථාවත්, උතුරු ඉන්දීය සංගීතඥයකු සිංහල චිත්‍රපටයකට සම්බන්ධවූ මුල්ම අවස්ථාත් මෙය බව පවසයි. ඔහු මෙසේද සඳහන් කරයි. 


විදේශ සංගීතඥයන් අතරින් සිංහල චිත්‍රපටයක් සඳහා ස්වතන්ත්‍ර තනු නිර්මාණයෙහි ​ෙයදුණේ දෛවයෝගයෙහි සංගීත අධ්‍යක්ෂ සජාද් හුසේන් පමණි. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණයට පෙර ලංකාවට පැමිණි ඔහු ලංකාවේ සංගීතය ගැන සොයා බැලූ බව පුවත්පත් වල වාර්තාවී තිබේ. ඔහු ගී තනු තැනුවේද ලංකාවේ දීය. ගීත ප්‍රබන්ධකයන් ඒ තනු අනුව ගී ලියුවේ ද ලංකාවේදීය. 
සජාද් හුසේන් ගේ ගී තනු හැම එකක්ම අතිහය මධූර විය. අවශ්ථාවොචිත විය. හේ රුක්මණී දේවියගේ සහ මොහිදීන් බේග්ගේ කට හඬින් උපරීම පල නෙළා ගත්තේය. ඔහුගේ භාග්‍යයකට තනුවලට ගැලපෙන සුරස මාලා පෙළක් ද ඔහුට ලැබිණි. හැම ගීතයක්ම සිංහල චිත්‍රපට ගීතාවලියෙහි අමරණීය සිහිවටන බවට පත් වූයේය. 


‘‘දෛවයෝගය’’ චිත්‍රපටයේ මානමුලගේ චරිතය රඟපෑ ගාමිණී ෆොන්සේකා නිරූපණය කරන ලද අභිනව රූපණවේදය ආසියාවට ආගන්තුක වූ බවට ඇති හොඳම සාධකය ‘‘දෛවයෝගය’’ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂ කේකි මිස්ට්රිගේ (Keki Mistry) ප්‍රකාශයක් ආචාර්ය නුවන් නයනජිත් කුමාර ලියූ ‘‘ගාමිණී විශ්වීය රූපණවේදියක ‘‘ආසියානු පුරෝගාමියා’’ පර්යේෂණ කෘතියේ සඳහන් වෙයි. 


‘‘දෛව යෝගය’‘ හි කැමරා ශිල්පි කේකි මිස්ට්‍රි එවකට හින්දි සිනමාවේ සිටි ජ්‍යෙෂ්ඨ කැමරා ශිල්පියෙකි. ඔහු ආසියාව පිළිබඳව සේම බටහිර සිනමාව පිළිබඳවද ඇතඹුලක් සේ දැන සිටියේය. ඔහු ගාමිණී​ෙග් අපූරු රංගනය දැක 'American Actor' යයි ආමන්ත්‍රණය කළේය. මිස්ට්‍රි ඔහුට ගාමිණී යයි කතා නොකළේය. 


Call the Amerian Acror ඔහු තම සහායකට විධානය කළේ ගාමිණීට දර්ශන තලයට ගෙන එන ලෙස අඟවමිනි. එහෙත් ජයවිලාල් විලේගොඩ ගේ විචාරයක පවසා තිබුණේ ගාමිණී රඟපෑවේ නිළියක්දැයි සිතෙන තරමටම ඔතෑනි ගතියකින් කියාය. 


එහෙත් දෛව යෝගය කැමරා අධ්‍යක්ෂ කේකි මිස්ට්‍රි ගාමිණී කැඳවා මෙසේ කියා ඇත. 


අදින් දෛවයෝගයේ වැඩ ඉවරයි. මේ චිත්‍රපටය ලංකාවේ තිරගත වෙලා අවසන් වෙන විට චිත්‍රපටය ගැන කතා කරන එකක් නෑ. හැබැයි චිත්‍රපටියේ ගීත ටික ඉතුරුවේවි. ජනප්‍රිය වේවි. ඒවගේම තමුන්ගේ රඟපෑම ගැන පහුවෙලා හරි රටම කතාකරමි. ගාමිණී ඔබට හොඳ අනාගතයක් තියේවි. මම කිව්ව මේ අනාවැකිය මතක තියා ගන්න. 


එදා මිස්ට්‍රි කී අනාවැකිය පසු කළෙක සැබෑ විය. 


1959 දී ප්‍රදර්ශනය ඇරඹූ දෛව යෝගය චිත්‍රපටයේ මංගල දර්ශනයට අග්‍රාමාත්‍ය ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාද, මුදල් ඇමැති ස්ටැන්ලි ද සොයිසා, අධ්‍යාපන ඇමැති විජයානන්ද දහනායක, තැපැල්, ගුවන් විදුලි හා ප්‍රවෘත්ති ඇමැති සීඒ.එස්.මරික්්්්්කාර් යන මහතුන්ද සහභාගි වී ඇති බව වාර්තාවේ. එහෙත් ඩබ්ලිව්.ඒ. සිල්වා මහතා ‘‘දෛව යෝගය’’ ප්‍රදර්ශනය කරනවිට ජීවිතය හැර ගොස් තිබුණී.

 

 

 

 

 

 

 

 

 

 

 

ඒ. ඩී. රන්ජිත් කුමාර 
ඡායාරූප - ලාල් සෙනරත්