ලෙඩක හැටි

සංග්‍රහශීලී ජාතියක් ලෙසට ප්‍රසිද්ධ ශ්‍රී ලාංකිකයන්ගේ සීනි පරිභෝජනය ද ඉතාම ඉහළ අගයක් ගන්නා බව අනාදිමත් කාලයක සිට සිදුකෙරෙන සමීක්ෂණයන්ගෙන් වාර්තා වී තිබේ.   


වර්තමානය වෙනවිට වැඩිහිටි පුද්ගලයන් දහදෙනෙකුගෙන් එක් අයෙකු (10:1) දියවැඩියා රෝගයෙන් පෙළෙන තත්ත්වයට රෝගීන් වාර්තා වීම සංකීර්ණ වී ඇත. කොළඹ මහනගර සභා සීමාවේ ජීවත්වෙන ජනතාවගෙන් සියයට 27කට වඩා වැඩිහිටි පිරිසක් දියවැඩියාවෙන් පෙළෙන බවද නවතම දත්තයන්ගෙන් හඳුනාගෙන තිබේ. 
 


ලංකාවේ පළාත් මට්ටමින් දත්ත විශ්ලේෂණයේදී දියවැඩියා රෝගීන් වැඩිම පිරිසක් සිටින පළාත ලෙසට බස්නාහිර පළාත හඳුනාගෙන ඇති අතර අඩුම වශයෙන් දියවැඩියා රෝගීන් වාර්තා වී ඇත්තේ ඌව පළාතෙනි. එම පළාත් දෙක තුළ සිදුකළ සමීක්ෂණයකින් ඔප්පු වී ඇත්තේ ඒක පුද්ගල ආදායම වැඩිවීම, කාර්ය බහුල ජීවන රටාව, මානසික ආතතිය, වැරදි ආහාර රටාව, ව්‍යායාම නොමැතිකම ආදි කරුණු රාශියක් බස්නාහිර පළාතේ දියවැඩියා රෝගීන් බහුල වීමට හේතු වී ඇති බවය.   


දිවයිනේ අනෙකුත් පළාත්වලට අමතරව කය වෙහෙසා වැඩකිරීම, සරල දිවි පෙවෙත, සෞඛ්‍යාරක්ෂිත ආහාර රටාව, අඩු අාදායම් ලැබීම, එළවළු පළතුරු වැඩිපුර ආහාරයට එක්කර ගැනීම වැනි කරුණු ඌව පළාතේ පුද්ගලයන්ට දියවැඩියාව වැනි රෝග වැලඳීම අවම වීමට හේතු වී තිබේ.   


කෙසේ නමුත් මින් ගම්‍ය වන්නේ පුද්ගල ආදායම වැඩිවන්නට, වැඩිවන්නට සංකීර්ණ වෙන ජීවන රටාවේදී පුද්ගලයාගේ සෞඛ්‍ය පිරිහීමට බලපාන කරුණු වැඩිවන බවය.   


වෛද්‍ය විද්‍යාත්මකව පුද්ගලයෙකුට දියවැඩියාව ඇති වීමට බලපාන කරුණු   


වැරදි ආහාර රටාව   

සුදුසු ව්‍යායාමයක නිරත නොවීම   

ස්ථූලතාව   

මානසික ආතතිය   

ජානමය හේතූන්   


ලංකාවේ වැඩිපුරම දියවැඩියාවට ගොදුරුවෙන රෝගීන් නගනා ​ෙචා්දනාවක් වෙන්නේ තම මවට පියාට තිබුණ නිසා හෝ ජානමය හේතූන් නිසා තමා දියවැඩියාවට පත් වූ බවය. නමුත් නිවැරදි ආහාර රටාවකට හුරුවීම සුදුසු ව්‍යායමයක නිරත වීමෙන් අයෙකුට දියවැඩියාවට අභියෝග කොට නිරෝගී ජීවන රටාවක් පවත්වා ගත හැකි බව වෛද්‍ය විද්‍යාත්මකව කරුණු පෙන්වා දේ.   


දියවැඩියාවේ රෝග ලක්ෂණ   


1. අධික ලෙස මුත්‍රා පිටවීම හා අධික පිපාසය.   


රුධිරගත සීනි මට්ටම වැඩිවීමෙන් මුත්‍රා සමඟ ග්ලුකෝස් පිටවීම සිදුවෙන අතර ග්ලුකෝස් සමඟ ජලය පිටවෙන බැවින් සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුට වඩා වැඩි වාර ගණනක් මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාව දියැවැඩියා රෝගියෙකුට මතුවේ. සිරුරේ තිබෙන වතුර වැඩිපුර පිටවීමේ ප්‍රතිඵලයක් ලෙසට අධික පිපාසය ඇති වීමද සාමාන්‍ය පරිදි සිදු වේ.   


2. අසාමාන්‍ය ලෙස බර අඩුවීම දියවැඩියාවෙන් පෙළෙමේදී කෑම රුචිය තිබියදීම ශරීරයේ බර අඩුවිය හැකිය.   

3. ඇසේ පෙනුම අඩු වීම හෝ ඇසේ පෙනුම බොඳවීම   

4. අතපයවල ඇති වෙන හිරි ගතිය (දියවැඩියා රෝගය ස්නායුවලට සිදුකරනා බලපෑමෙන් මෙම තත්ත්වය ඇති වේ)   

5. කල් පවතින සුව නොවනා තුවාල.


 සාමාන්‍යයෙන් ඇතිවන තුවාලයක් සතියකින් දෙකකින් සුව වුවද දියවැඩියා රෝගියෙකුට ඇතිවන සුළු හෝ තුවාලයක් සුවවීමට කල්ගත විය හැකිය. රුධිරගත සීනි මට්ටම වැඩිවීම බැක්ටිරියා වර්ධනයට හිතකර පරිසරයක් ගොඩනැගෙන බැවින් මෙවැනි තත්ත්වයට හේතු වේ. තවද දියවැඩියා රෝගින්ගේ සිරුරේ කේෂ නාලිකාවල රුධිර ගමනය අඩුවීම ද තුවාල සුවවීම පමාවීමට හේතුවකි.   


6. මුත්‍රා ආසාදනයක්   

7. ලිංගික ප්‍රදේශයන්හි කැසීම, ඉරිතැළීම ආදි තත්ත්වයක් ඇති වේ.  


8. අලස බව   

9. අධික තෙහෙට්ටුව   

10. ලිංගික බෙලහීනතාව   

11. බෙල්ල අවට සහ ඉකිළි ප්‍ර​ෙද්ශ තද කළු පැහැයක් ගැනීම 


 (මෙම තත්ත්වය පූර්ව දියවැඩියා රෝගයෙහි ලක්ෂණයකි. ඉන්සියුලින් ක්‍රියාකාරීත්වය නිසි පරිදි සිදුනොවීම මෙවැනි ශාරීරික රෝග ලක්ෂණ මතුවීමට හේතු යෙදේ)   


දියවැඩියාවෙන් ඇති වෙන බලපෑම   


පුද්ගල ශරීරයේ ප්‍රතිශක්තිය දුර්වල කිරීමේ සිට පුද්ගලයා කෙමෙන් කෙමෙන් අඩපණ කරමින් රෝගියෙකු බවට පත්කරනා නිහඩ බලපෑමක් දියවැඩියාවෙන් සිදුකරයි. නවතම සමීක්ෂණයන්ගෙන් වාර්තා වී ඇත්තේ පිළිකාමය පටක පෝෂණයට සීනි ඉවහල්වෙන බවය. විශේෂයෙන්ම ඇල දිවෙහි පිළිකා, මුත්‍රා මාර්ගයේ පිළිකා සහ සමේ පිළිකා ඇති වීමටත් පියයුරු පිළිකා ඇතිවීමටත් දියවැඩියාව ඍජු හා වක්‍රාකාරයෙන් බලපානා බව හඳුනාගෙන ඇත.   


විශේෂයෙන් දත් ආශ්‍රිතව අහිතකර බැක්ටීරියාවන් වර්ධනය, දත්වල ඉනැමල් කොටස දිරාපත් කිරීමටත්, රුධිරගත ග්ලුකෝස් ප්‍රමාණය වැඩිවීම හේතුවෙන අතර රුධිරගත සීනි මට්ටම වැඩිවීම නිසාද මුඛය ආශ්‍රිතව ඉහත තත්ත්වයක් මතුවිය හැකිය.   


දීර්ඝකාලීනව සීනි වැඩිපුර භාවිතයෙන් අස්ථි දිරා යාමටත් ඔස්ටියෝපොරෝසිස් රෝගයට ගොදුරුවීමත් වක්‍රාකාරයෙන් සිදුවීමට පුළුවන.   


රුධිරගත සීනි මට්ටම වැඩිවීමෙන් සිදුවිය හැකි අවදානම්ම කරුණ වෙන්නේ මොළයේ ක්‍රියාකාරීත්වය අඩු වී ක්ෂණික අාගාත තත්ත්වයන්ට ගොදුරු වීමේ වැඩි ඉඩක් නිර්මාණය වීමය. හෘදයට රුධිරය සැපයෙන කිරීටක ධමනිවල අවහිරතා ඇති වී ක්ෂණික හෘදයාබාධයන් ඇති කිරීමට ද රුධිරගත සීනි මට්ටම ඉහළ යාම ඍජු හා වක්‍රාකාරයෙන් බලපෑ හැකිය. වකුගඩු අකර්මණ්‍ය කරනා ප්‍රධානම සාධකයක් ලෙසද සීනි වැඩිවීම හේතු වේ. ආහාර ජීර්ණ ක්‍රියාවලිය අඩපණ වීම, පිත්තාශයේ ගල් ඇතිවීම, පෙනීම දුර්වලවීම, සම රැලිවැටීම ආදි අවාසනාවන්ත තත්ත්වයන්ද ඇති විය හැකිය.   


වෛද්‍ය විද්‍යාත්මකව කරුණු පෙන්වා දෙන්නේ දියවැඩියාව හේතුවෙන් මුලින්ම ශරීරයේ දිගම ස්නායුවට බලපෑම් එල්ල කරන බවය. අත්වල සහ පාදවල හිරිගතියක් නිතර ඇතිවන බව දියවැඩියා රෝගීන් වැඩිපුරම කියන්නට හේතුවක් වන්නේ එයයි.   


රෝගය වළක්වා ගැනීමට 

 

  • නිවැරදි ආහාර රටාවකට හුරුවීම   


දියවැඩියා රෝගියෙකු ප්‍රධාන ආහාර වෙල් තුනට වැඩි ප්‍රමාණයක් ආහාර නොගෙන අතරමැදදී කුඩා ආහාරයක් හෝ සීනි රහිත පානයක් වැනි දෙයක් ගැනීමෙන් එකවර රුධිරයට එකතුවෙන සීනි ප්‍රමාණය අවම කරගත හැකිය. විශේෂයෙන්ම ප්‍රධාන ආහාර වේලේදී බත් අඬු කෝප්පයකුත් එළවළු, පළතුරු වැඩි ප්‍රමාණයකුත් එක්කර ගැනීමට වග බලා ගත යුතුය. දියවැඩියා රෝගියෙකුගේ ආහාර වෙලේ ප්‍රෝටීන තිබීම අවශ්‍ය අතර මිරිසට සකසා ගත් මාළු කැබැල්ලක්, සුදු පැහැති මස් හෝ සම ඉවත් කළ කුකුළු මස්, බිත්තර සුදු මදය ඒ සඳහා සුදුසුය.   


කෙඳි සහිත එළවළු, නැවුම් පලාවර්ග, සකසා ගත් සලාද සීනි අධිකව නැති පළතුරු ගුණදායකය. (රඹුටන්, අඹ, අන්නාසි, දූරියන්) අධික සීනි ගතියෙන් යුත්තය.   

 

  • සුදුසු ව්‍යායාමයක නිරත වීම  
  • උසට සරිලන බර පවත්වාගෙන යෑම  
  • මානසික ආතතියෙන් තොර සරල ජීවන රටාවකට හුරුවීම   
  • දුම්පානයෙන් මත්පැන් පානයෙන් වැළකීම   
  • වෛද්‍ය උපදෙස් පරිදි නියමිත මාත්‍රාවෙන් ඖෂධ භාවිතය.   


වෛද්‍යවරයා නියම කරන වෛද්‍ය පරීක්ෂාවන්ට ලක්වී රෝගය තත්ත්වය නිවැරදිව දැනගැනීමත් ඇති වී ඇති සංකූලතාවයන් හඳුනාගැනීමත් නියමිත කාලවලදී සිදුකිරීම ඉතාම වැදගත්ය.   


දියවැඩියාව හා බැඳුණු මිත්‍යා මත   


දියවැඩියාව නිට්ටාවට සුව කළ හැකිය කියා ප්‍රමිතියෙන් තොර ඖෂධ භාවිතයට ඇතැම් රෝගීන් පෙළෙඹෙන අතර, එය රෝගය උත්සන්න වීමට බලපානා කරුණක් වේ. දියවැඩියාව පාලනය කළ හැක. නමුත් සුව කළ නොහැකිය.   


ඇතැම් දියවැඩියා රෝගීන් තමන්ට දැන් දියවැඩියාව සුවයි සිතා ඖෂධ නතර කර කෑමෙන් ව්‍යායාමයෙන් පමණක් රෝග පාලනයට උත්සාහ කරයි. වෛද්‍යවරයෙකු නියම කරන තෙක් එවැනි තීරණයකට නොපෙළෙඹෙන්න.  ඔෟෂධ ප්‍රතිකාර හෝ ඉන්සියුලින් බාහිරෙන් ලබාගන්නා රෝගීන් තමා දියවැඩියා රෝගියෙකු බව අමතක කර කෑම බීම පාලනයකින් තොරව ගැනීටෙ උත්සාහ දරයි. එය රෝගය උත්සන්න වීමට සේම, සංකූලතාවයන් වර්ධනයවීමටද හේතු විය හැකිය.   


රෝගය නිවැරදි ලෙස හඳුනා ගැනීම 

 
දියවැඩියාව හඳුනා ගැනීමට සරලම සහ පහසුම ක්‍රමය වන්නේ නිරාහාර රුධිර පරීක්ෂාවය. (FBS) මීට අමතරව ග්ලුකෝස් පානය කිරීමට සලස්වා රුධිරගත සීනි මට්ටම පරීක්ෂා කිරීමෙන් ද දියවැඩියා අවදානමක් ඇති බව හඳුනාගත හැකිය. මෙම පරීක්ෂාව ගර්භණී සමයේ රුධිරගත සීනි මට්ටම වැඩි වී ඇතිදැයි සෙවීමට බහුලව භාවිත කෙරේ.   මීට අමතරව පසුගිය මාස තුනක කාලයේදී රෝගියාගේ පැවැති රුධිරගත සීනි මට්ටම දැන ගැනීමට HbAIC පරීක්ෂණ සිදු කෙරේ.   


නිරාහාර රුධිර පරීක්ෂාවට පැය 8-10 කාලයක් නිරාහාරව සිටිය යුතු අතර එම කාලයේදී කිසිදු ශක්ති ලැබෙන පානයක් හෝ ආහාරයක් ගැනීමෙන් වැළකී සිටිය යුතුය.   


අවශ්‍ය නම් පමණක් වතුර පානය කිරීම වරදක් නැත.   


නිරාහාර රුධිර පරීක්ෂාවේ ප්‍රතිඵල අනුව නිරෝගී අයෙකුට රුධිර ගත සීනි ප්‍රමාණය 100mg/dl අඩු අගයක් ගන්නා අතර පූර්ව දියවැඩියා තත්ත්වයේදී 100mg/dl - 125 mg/dl අගයක් ගැනේ. නිරහාර රුධිර පරීක්ෂාවේ අගය 125mg/dl වැඩි අගයක් ගැනීම දියවැඩියා රෝගියෙකුගෙන් වාර්තා වෙන අගයකි.   


ලොව බෝනොවන රෝග අතුරින් ඉදිරියෙන්ම ඇති දියවැඩියාව පාලනය කිරීමට මෙන්ම වැලඳීම වළක්වා ගැනීමට පුද්ගලයාට හැකියාව ඇත.

 

 

සටහන- අසුන්තා එදිරිසූරිය