පසුතැවිල්ල

(මරණ දඬුවමට ලක්වූවන්ගේ පශ්චත්තාපය)

 

තමන් වරදක් සිදු කළැයි පිළිගෙන එය නුවණින් විමසා බලා පසුතැවිලි වන්නේ නම්, එයද එක්තරා අන්දමක සැනසුමකි. යථාර්ථයට මුහුණ දීමෙන් හෙට දවස සුබ වේ යැයි සිහින දකිමින් සිටි දනුෂ්ක මට හමු වූයේ පසුතැවිල්ල වෙනුවෙන් ජීවිතාන්දරයක් සොයමින් වැලිකඩ බන්ධනාගාරයට ගිය එක්තරා දිනයකදීය.   


අාදරය අද මාව මෙතැනට ගෙනාවා. අාදරය කියන්නේ ඇත්තටම මොකක්ද කියලා දැනෙද්දි සියලු දේ සිද්ධ වෙලා.   


​ෙමාකද වුණේ දනුෂ්ක?   


මගේ ආරම්භයට මුල් ගල තබමින් දනුෂ්ක මා දෙස බලා සිටියේ කඳුළු පිරි දෙනෙතින් යුතුවය. පිරිමි හිතකට දුක් ගෙනදුන් ඒ ආදර අන්දරය ඔහුගේ මුවින් හෙමිහිට වචන බවට පත් වූයේය.   


එතකොට මට වයස අවුරුදු 19 සම්පූර්ණ වුණා විතරයි. මම ඉස්කෝලෙට ගියේ 10 පන්තියට වෙනකල් පමණයි. එයා නදීකා. එයත් හිටියේ මගේ පන්තියෙමයි. පාසල් ප්‍රේමය සුන්දරයි කියලා හිතුවත් ආදරේට වහල් වුණා. මම මොනවද කරන්නේ කියලා මට තේරුමක් තිබුණේ නෑ, දනුෂ්ක කියයි.   


පාදුක්ක ප්‍රදේශයේ ජීවත් වූ පවුලක වැඩිමහලු පුත්‍රයා වූ දනුෂ්කට සිටියේ එක් නැගණියක් පමණි. රබර් වත්තක කිරි කැපීමෙන් ජීවිකාව සරිකර ගත් ඔහුගේ මාපියෝ දරුවන්ට උගන්වා ලොකු මහත්වරුන් කිරීමට තරම් උගත්කමින් හෙබි අය නොවූහ.   


දහය පන්තියේ ඉගෙන ගනිමින් සිටි දනුෂ්ක අධ්‍යාපනයට සමු දීමට සිතුවේ දන්නා හඳුනන මාමා කෙනෙකුගේ ඇඳුම් මැසීමේ ආයතනයක සේවය සඳහා යොමු වීමට සිත් වූ නිසාය. ඉගෙනීම පසෙක තබා රැකියාවකට යාම ගැන ඔහුගේ මාපියන් ද කිසිදු අකැමැත්තක් පළ කර නොතිබිණි.   


මම ටේලර් ෂොප් එකට ආවා මහන්න. මම රස්සාවට ආවත් හරි නදීකාත් ඉස්​කෝලේ යන එක නැවැත්තුවා. නදීකාගේ තාත්තා ගමේ අරක්කු විකුණන මුදලාලි. අපට වගේ නොවෙයි නදීකලාට යමක් කමක් තිබුණා. ඒ වගේම එයාගේ තාත්තාට මැර බලයත් හොඳටම තිබුණා.   


සීමා මායිම් නැති හිරිමල් යෞවන ආදරයට දනුෂ්කත් නදීකාත් මැදිව තිබුණෙ​් අනාගතය තීරණය කර ගනිමින්ය.   


එයාට මාව නොදැක එක දවසක්වත් ඉන්න බැරි වුණා. මම ටේලර් ෂොප් එකට යනවා කියලා උදේම නදීකලාගේ ගෙදර යනවා. එයාට නංගි කෙනෙක් හිටියා. එයා ඉස්කෝලේ යන කල් ඉඳලා මම නදීකලගේ ගෙට රිංගනවා. තාත්තයි අම්මයි පාන්දරින් කැලේ තියෙන ඒ ගොල්ලන්ගේ අරක්කු විකුණන තැනට යනවා. එන්නේ රෑ වුණාම. නංගි ඉස්කෝලේ ඇරිලා එනකල් නදී ගෙදර හිටියේ තනියම.   


දනුෂ්කගේ රැකියාව වූයේ ඇඳුම් මැසීම නොවේ. ආදරේ නාමයෙන් සිය පෙම්වතියට තනි රැකීමය. පුළුන් ගොඩක් ළඟ ගිනි පුළිඟුවක් දැල්වුවහොත් විනාශයක් මැයි පැරැන්නෝ කීවේ මේ කතාන්දරය නිසාමය.   


එක දවසක් මට ගෙදර යන්න එපා කියලා එයා මෙගේ ඇඟේ එල්ලුණා. මම එයාගේ කාමරේ හැංගිලා හිටියා රෑ වෙලා හෙමිහිට යන්න ඕන කියලා හිතලා. ඒත් මට යන්න බැරි වුණා. අන්තිමට එයාලගේ තාත්තාට මාව අහු වුණා. ප්‍රශ්නය ඇති වුණේ එහෙමයි. මම පැනලා දිව්වා. ඒත් එයා උදේම මාව හම්බවෙන්න ඇවිත් කිව්වා මට ගෙදර ඉන්න බෑ අපි පැනලා යමු කියලා. අන්තිමට මම ඒක කළා.   


දැන හෝ නොදැන දරුවන් වැරදි කළත්, දෙමාපියන්ට දරුවන් දරුවන්මය. ප්‍රේමයේ නාම​ෙයන් වහන් වූ සිය දරුවන් වෙනුවෙන් නදීකාගේ මාපියෝ පෙරට ආහ.   
නදීලගේ ගෙදර පදිංචි වුණේ ඒ විදහටයි. අවුරුද්දක් විතර මම ආදරයෙන් හිටියා එයා එක්ක. මම අවිස්සාවේල්ල ටවුන් එකේ ටේලර් ෂොප් එකකට මහන්න ගියේ ඔය කාලේ. මගේ ජීවිතේ වෙනස් වුණේ මම අවිස්සාවේල්ලට ගියාට පස්සේ.   


ඒ වන විට විසිඑක් වැනි ජීවන සැතපුම ආරම්භ කර සිටි දනුෂ්කට අවිස්සාවේල්ල නගරය සුරපුරයක් කරනු ලැබුවේ මේනකාගේ ආගමනයත් සමගය.   


මේනු ගාමන්ට් එකට වැඩට ගියා. උදේ හවස මම වැඩ කරන තැනින් පාරේ ගියා. එයා දැකපු පළමු දවසේ මට මොනවා වුණාද කියලා මටම හිතා ගන්න බැරි වුණා. මම කසාද බැඳලා ඉන්න මිනිහෙක් කියන හැඟීම මම අමතක කරලා දැම්මා. මම මේනුට කිව්වේ මම බැඳලා නෑ කියලා.   


මම අවුරුදු එක හමාරක් විතර මේනුත් එක්ක අනියම් සම්බන්දේ පැවැත්වුවා. මගේ ජීවිතයට ඒ ආවේ මාරයා කියලා මට දැනුණේ නෑ. ඒත් ඒ තමයි මගේ මාරයා. ‘තහනම් ගසක ඵලයත් තහනම් අමරසින් යුක්තයි. එය බුදින තාක් පමණක් දැනෙන්නකි’ යන්න පසක් කරමින් දනුෂ්කට මේනකා තමා සතුකර ගැනීමේ අරමුණ ඔහුගේ සිත අරක් ගෙන තිබුණි.   
මට මේනුගේ අවශ්‍යතාව දැඩිව දැනුණේ එයා මට ලියපු ලියුමක් මගේ පර්ස් එකේ තිබිලා මගේ වයිෆ් නදීට හම්බ වෙච්චි වෙලාවේ ඉඳලා. මොකද එදා නදී හැසිරුණේ යකින්නක් වගේ. එදා ඉඳලා නදී හැමදාම හැසිරුණේ එහෙමයි. රණ්ඩු කරනවා, බනිනවා ඉවරයක් නෑ. මට පවුල් ජීවිතේ එපා වෙලා තිබුණේ. මට ඕන වුණේ මේනු බඳින්න. ඒත් ඒකට එකම බාධාව වුණෙ​් නදී.   


අනියම් ප්‍රේමය නියම කර ගැනුමේ මෙහෙයුමක් දියත් කිරීමට දනුෂ්ක කල් ගත කළේ මේ අනුවය. ඔහුගේ රැකියා ස්ථානයේ සිටි මිතුරකු වූ රාජු ඔහුට අදහසක් දුන්නේය.   


ලක්ෂයක් දෙකක් වියදම් කරන්න පුළුවන්ද උඹට. එයාව සීන් එකෙන් අයින් කරලා දෙන්නම්. මම කියන විදිහට කරපං. රාජු සැලැස්ම ඉදිරිපත් කළෙ​්ය.   


ඒ 2009 අවුරුද්දේ වෙසක් මාසයේ දවසක්. එතකොටත් මම නදී එක්ක රණ්ඩු. ඒත් රාජුගේ ප්ලෑන් එකට අනුව මම නදී එක්ක යාළු වුණා.   


​ෙතාරණක් තියෙනවා අවිස්සාවේල්ලේ. ඔයා එනවා නම් මම වැඩ ඉවර වෙලා ඉන්නම් ඔයා එනකල්. අපි දෙන්න තොරණ බලමු. මොකද නදී කියන්නේ.   


කාලයකට පසු තමන්ට ආදරයෙන් අමතන තම සැමියා කෙරෙහි කිසිදු හෝ සැකයක් නොතැබූ ඇය එක පයින් ඔහුගේ කීමට එකඟතාව පළ කළාය. 

 
ඔයා හවස එන්න බස් එකේ. ගෙදරට කියන්න එපා. සද්ද නොකර එන්නකෝ. තාත්තට කිව්වොත් ඔක්කෝම ඒවා කියන්න එපැයි. ඔයා සද්ද නොකර එන්න.   


රාජුගේ ප්ලෑන් එක ක්‍රියාත්මක කරමින් සිටි දනුෂ්ක කතිකා කරගත් පරිදි නදීකා සමග බසයක නැගී අවිස්සාවේල්ල දෙසින් මඳක් දුරට ගොස් බසයෙන් බැස ගත්තේය.   


මේ කොහෙද අනේ මේ රබර් කැලෑවක්නේ.   


ඒ වන විටත් එම ස්ථානයේ මෝටර් සයිකලයක රාජුත් තවත් පුද්ගලයින් දෙදෙනකුත් මේ යුවළ දෙස බලා සිටියහ.   


ආ අතන ඉන්නේ මගේ යාළුවෝ වගයක්. මේ බස් එක යන්නේ වෙන පාරක. අනිත් බස් එක කීයටද එන්නේ කියලා මම අරගොල්ලන්ගෙන් අහලා එන්නම්. ඔයා ඔතනම ඉන්න නදී.  
තම සැමියාගේ ඒ වචන තමන්ට ශ්‍රවණය වූ අවසන් ඒවා බව නදීකා දැන සිටින්නට නැත. දනුෂ්ක වහා මෝටර් සයිකලයේ පිටුපසට ගොඩවන විට එතැන හුන් අනෙක් තැනැත්තන් දෙදෙනා පාර පැන නදීකා අසලට ගියහ. එතැනින් එහා සිදු වූ දේ දන්නේ නදීකාත් ඒ තැනැත්තන් දෙදෙනාත් පමණකි.   


මම ගෙදර ගියා වෙනදා යන වෙලාවටම. එතකොට තාත්තා අැහුවා කෝ පුතා නදී කියලා. එතකොටයි මම දන්නේ නදී එයාගේ තාත්තට කියලා තමයි ඇවිත් කියන්නේ මාව හම්බවෙන්නෙ එනවා කියලා. ඒත් මම වෙනසක් නොපෙන්වා තාත්තට කිව්වා එයාව දැක්කේ නෑ කියලා. ඒත් රෑ නවය විතර වෙනකල් බලාගෙන හිටිය ගෙදර අය මට කිව්වා අපි නදී හොයන්න යමු කියලා.   


වාහනයක නැගී දනුෂ්ක ඇතුළු පිරිස අවිස්සාවේල්ල නගරය වෙත පැමිණෙන විට වේලාව රාත්‍රී එකොළහ පසු වී තිබිණි. මුළු නරගයක් පුරාම පැය ගාණක් මේ පිරිස නදීකා සොයන කටයුතු සිදු කළහ. එහෙත් කිසිදු වග විභාගයක් නොවූ තැන පිරිස නැවත නිවෙස වෙත ගියේ බසයක් වැරදීමෙන් හෝ නදීකා පාන්දර යාමයේ හෝ නිවසට පැමිණේවි යන සැකය මතය.   


අපි ගෙදර ආවා. අපේ ගම වටේත් යාළු මිත්‍රයින්ගේ ගෙවල්වලත් ගමේ පිරිස එක්ක මගේ නදීකාව හොයන්න ගත්තා. උදේ පාන්දර තාත්තා කිව්වා පුතා ඔයා ආපහු ටේලර් ෂොප් එක ළඟට ගිහිල්ලා අහන්න දුව පාන්දරවත් ආවාද කියලා. මම උදේ නවයට විතර ටේලර් ෂොප් එකට ආවා. එහි හිමිකරු සමග මඳ වේලාවක් සිය බිරිඳ ගැන දොඩමළු වූ දනුෂ්ක මාමේ මෙහෙට ආවොත් කියන්න ගෙදර අය කලබල වෙලා ඉක්මනට ගෙදර යන්න කියලා යැයි ළඟ හුන් පිරිස වෙත කීවේය. ඒ සැණින්ම වාගේ ඒ අසලට පැමිණි පුද්ගලයකු පැවසුවේ රබර් කැලේ මැද ගැහැනු කෙනෙකුගේ මළ සිරුරක් ඇති බවත් එය කැපුම් තුවාල පිහි ඇනුම්වලට ලක්ව මිය ගිය කාන්තා සිරුරක් බවත්ය.   


ටේලර් ෂොප් එකේ මාමා එක පාරටම කිව්වා පුතා අපි වාහනයක් අරන් ඔය කියන තැනට යමු, මොකද මේ ඒ ළමයද දන්නේ නැහැනේ ගිහින් බලමුකෝ කියලා. ඊට පස්සේ අපි එතැන තිබුණු වාහනයකට නැගලා මිනිය තියනවා කිව්ව තැනට ගියා. මම යන කොට නදී මැරිලා හිටියා පිහි ඇනුම් පාරවල් කාගෙන. දැන් ඉතිං මොනවා කරන්නද කියලා හිත හදාගත්තා. මම කෑගහලා ඇඬුවා. නදීගේ දේහය බදාගෙන කෑ ගහුවා. මං එතැන හිටි පොලිස් නිලධාරීන්ට කිව්වා මේ මගේ බිරිඳ කියලා. ඊට පස්සේ නදීගේ දේහය ගෙදරට අරන් ආවා. ​ෙකාහොම හරි අපි නිතරම පොලිසියට ගියා මිනීමරුවා අල්ලා ගන්න පුළුවන් වුණාද කියලා දැන ගන්න. මළ ගේ ඉවර වෙලා දෙවැනි දවසේ පොලිසියෙන් මට එන්න කිව්වා. මමත් කිසිම බයක් නැතුව ගියා.   


තමුන් මේ මහත්තයා අඳුනනවාද?   


​ෙපාලිසියේ ස්ථානාධිපතිවරයා දනුෂ්ක වෙන පුද්ගලයෙකු පෙන්වමින් ඇසුවේය. එච්චර මතකයක් නම් නෑ සර්. ඒත් අපේ මළ ගෙදර හිටියා. මම හිතුවේ මාමලගේ පැත්තේ යාළුවෝ කියලා.   


හරි දැන් ඇත්ත කියපං. උඹ නේද ගෑනිව මැරෙව්වේ. පොලිසියේ ස්ථානාධිපතිවරයා දනුෂ්ක දෙස එක එල්ලේ බලා කීවේය. තමන් එසේ නොකළ බව දනුෂ්ක පුන පුනා කීවද පොලිසිය එය ඇසුවේ නැත.   


උඹ දන්නවද උඹේ මළ ගෙදර දවස් කිහිපයේම මේ නිලධාරියා සිවිල් පිට රැඳී සිටියා. උඹේ ඔය අසාමාන්‍ය වැලපීම තමයි අපිට ආපු එකම සැකය.   


කෙසේ හෝ අවසානයේ තමන් මේ වරදට සම්බන්ධ වූ බව දනුෂ්කට පොලිසිය හමුවේ වමාරන්න සිදු විය. එහි ප්‍රතිඵලයක් ලෙස රාජුත් ඔහුගේ ​ගෝල හිතවතුනුත් පොලිස් අත්අඩංගුවට පත් විණි. සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයකට අදාළව මේ සියලු පිරිසට එරෙහිව නීතිපතිවරයා අදි චෝදනා ගොනු කරනු ලැබුවේ කෑගල්ල මහාධිකරණයේදීය. ඒ අනුව නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් වූයේ 2017 වසරේ ඔක්තෝබර් මස 03 වැනිදාය.   


මාව මුලින්ම මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප නොදී වසරකට වැඩි කාලයක් රිමාන්ඩ් එකේ තිබ්බා. ඊට පස්සේ ඇප අරගෙන මම ගමෙන් ඈත් වෙලා හෝමාගම පැත්තේ ගාමන්ට් එකක වැඩට ගියා. ඒ ගාමන්ට් එකේ වැඩ කළ වසන්ති මගේ ජීවිතයට ආවේ ඊට පස්සේ.   


මම වසන්තිට හැම දේම කිව්වා. ඇත්තම කියනවා නම් ඒක තමයි මගේ ජීවිතය. වසන්ති තමයි ඇත්ත ආදරය කියලා මට දැනුණේ අපි කසාද බැඳලා දරුවෝ දෙන්නෙකුත් හැදුවාට පස්සේ. අපි ගොඩක් සතුටින් ජීවත් වුණා. මම ගාමන්ට් ගියා. වසන්ති ගෙදර කඩයක් දාගෙන රස්සාවෙන් අයින් වෙලා දරුවන්ගේ වැඩ කරගෙන හිටියා. ඒත් අපේ පුංචි පවුලට කණ කොකා හැඬුවා. වසර නවයකට විතර පස්සේ නඩු තීන්දුව ආවේ මට මරණීය දණ්ඩනය නියම කළා.   


වයස අවුරුදු අටක් සහ අවුරුදු තුන හමාරක් වූ පුංචි කොලු පැටව් දෙදෙනා සමග නිවසේ තනි වීමට වසන්තිට සිදු වූයේ දනුෂ්කට දඬුවම ලැබූ දිනයේ දීය. සැමියකු නොමැති නිවස හැඩකාර තරුණ කාන්තාවකට තනිව වාසය කළ නොහැකි තැන වසන්ති දැඩි තීරණයක් ගත්තීය.   


දනුෂ්ක මට ජීවත් වෙන්න බැහැ. නමුත් දරුවෝ දෙන්නා පවු. ඉවසලා ඉවසලා බැරිම තැන මම මේ තීරණය ගත්තා.   


එක්තරා දිනෙක වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණි ඇය ඔහුට කීවාය. දරුවන් දෙන්නට මොකද කළේ වසන්ති.   


මම දෙන්නවම මහණ කළා යළි කිසිම දවසක ඔයාට මෙහෙම නොවෙන්න අපේ පින් පළ දෙන්න කියලා ප්‍රාර්ථනා කරලා ඇය හඬමින් කීවාය.   


ඒ තිබුණු ප්‍රශ්නත් එක්ක මං හිතුවේ වසන්ති දරුවන්ට වහ දීලා නැති කරලා දායි ද කියන බය. ඒත් අනේ මගේ දරුවෝ සාසනේට පූජා කරලා.   


මේ සිදුවුණු දේට ඔයා පසුතැවිලි වෙනවද? මම ඇසීමි.   


ඔව් ඇත්තෙන්ම ඕව. එදා මම ආදරය කියලා බොරුවකට රැවටුණා. ඊට පස්සේ අනියම් දෙයකට පැටලුණා. ඒකෙන් තමයි ජීවිතේ විනාශ වුණේ. මම එදා ආශාවන්ට වහල් නොවී බුද්ධියෙන් වැඩ කළා නම් අද නදී ජීවත් වෙන්න තිබුණා.   


මමත් මෙතැන නැති වෙයි. එපා නම් දාලා යනවා මිස මරලා දාන්න අාධාර කළ එක ගැන මම අද පසුතැවිලි වෙනවා.   


මේ දනුෂ්කගේ කතාන්දරයයි. එය ඔබට ජීවිතය ගැන බොහෝ දෑ පසක් කර දෙනු ඇතැයි සිතමි. සිතන්නට යමක් ඉතිරි කරමින් අදත් පසුතැවිල්ලට සමු දෙමි.   


(නම් ගම් මනඃකල්පිතයි.)   

 


විශේෂ ස්තූතිය   


බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන්ත ධනසිංහ, ජ්‍යෙෂ්‍ඨ බන්ධනාගාර අධිකාරි ටී.අයි. උඩුවර, ප්‍රධාන ජේලර් ප්‍රසාද් ප්‍රේමතිලක, පුනරුත්ථාපන අංශ භාර ප්‍රධාන නිලධාරී පියසිරි වටගොඩ යන මහත්වරුන්ට.   

 

 

නිමන්ති රණසිංහ