(නිමල කොඩිතුවක්කු)


රට කොඩිවිනයක් බවට පත්ව ඇති විසිවන ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීමට තමන් නායකත්වය ලබාදෙන බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද(8) පැවසීය.


20 පරාජය කිරීමට පමණක් සීමා නොවී දහනමයෙන් ඔබ්බට ගිය නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් බිහිකිරීමට තමන් කැපවන බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.


දහනවයෙන් ඉදිරියට ජනතා ව්‍යාපාරය බත්තරමුල්ල අපේගම පරිශ්‍රය ඉදිරිපිට පිහිටි මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ පිළිරුව අබියස සංවිධානය කළ විරෝධතාවයට එක් වෙමින් සජිත් පේමදාස මහතා මේ බව පැවසීය.


විසිවන සංශෝධනයෙන් රටට සිදුවන විනාශය පිළිබඳව නගරයක් නගරයක් පාසා ගම් දනව් සිසාරා සම්මන්ත්‍රණ රැස්වීම් පවත්වා ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බව ද ප්‍රේමදාස මහතා පැවසීය.


මෙම සටන සමඟ එක්වන්නැයි ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, වෘත්තීය සමිති, විද්වතුන් ඇතුළු ප්‍රජාවට  තමන් ආරාධනා කරන බව ද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.