(විනීතා එම් ගමගේ)

විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් ගෙන ආ යෝජනා සහිත ගැසට් පත්‍රය වෙනුවට එහි අඩුපාඩු සකසා ගෙන එන නව යෝජනා සහිත ගැසට්පත්‍රයක් නිකුත් කිරීමට ජනාධිපතිවරයා පොරොන්දු වී යැයි යුතුකම සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා  පැවැසීය.

ඒ පිළිබඳව ආණ්ඩු පක්ෂ රැස්වීමේ දීත් සාකච්ඡා  කළේ යැයි ද ජනතා මතය ගැන සංවේදී විය යුතුය යන අදහස එහි දී මතුවූ අතර මෙම ව්‍යවස්ථා සංශෝධන යෝජනා ගැන කරුණු ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කළ යුතුය යන අදහස ද එහි දී තහවුරු වූ බව ද හෙතෙම කියා සිටියේය.

ඒ අනුව කමිටුවක් පත් කර ඇතැයි කී කුමාරතුංග මහතා ඊළඟ කැබිනට් රැස්වීමට පෙර එම කමිටුව යෝජනා ඉදිරිපත් කිරීමට නියමිත බවද පැවැසීය.

රජය ජනතාවගේ අදහස් සලකා බැලීමට තීරණය කරමින් ජනමතය ගැන සංවේදී වීම වැදගත් යැයි ද එය විශිෂ්ට ආදර්ශයක් යැයි ද කුමාරතුංග මහතා කියා සිටියේය.

කෙසේ වෙතත් මේ යෝජනා ගෙන එන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය නිවැරදි කිරීම සඳහා වන බව කී මන්ත්‍රීවරයා මෙම නිවැරදි කිරීම් සහිත 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පවතින්නේ නව ව්‍යවස්ථාවක් ගෙන එන තුරු පමණක් වන බැවින් විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන අනවශ්‍ය ලෙස කරදර විය යුතු නැතැයි ද සඳහන් කළේය.

20 වැනි ව්‍යවස්ථා සම්පාදනය වඩාත් ජනතාවාදී එකක් ලෙසින් සිදුකිරීම සඳහා නීති ක්‍ෂෙත්‍රයේ විශේෂඥ පිරිසක් එක්ව එය සකස් කරන්නේ යැයි ද 19 හි ඇති වියවුල් තත්ත්වය එයින් සමනය කරනු ඇතැයි ද කී යුතුකම සභාපතිවරයා නව ව්‍යවස්ථාවක් ගෙන එන තුරු පමණක් 20 වන ව්‍යවස්ථාව ක්‍රියාත්මක වනු ඇතැයි ද කියා සිටියේය.

ගෙවිඳු කුමාරතුංග මහතා මේ අදහස් පළ කළේ කොළඹ 5, සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ අද (13) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහි දී තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ මේ රටට ගැලපෙන ව්‍යවස්ථාවක් ගෙන එන්නට  වත්මන් රජය කටයුතු කරනු ඇති බවට තමන්ට විශ්වාසයක් ඇති බවය.

ජනාධිපති ක්‍රමය තිබිය යුතු බව තම සංවිධානයේ විශ්වාසය යැයි ද ජේ. ආර්. ජයවර්ධන වැනි ඒකාධිපති ජනාධිපතිවරයෙකු හෝ මෛත්‍රිපාල සිරිසේන වැනි අරාජික ජනාධිපතිවරයෙකු ගෙන් වැඩක් නැතැයි පැවසූ ඔහු එක රටක එක මූල ධර්මයක් ලෙසින් කටයුතු කළ යුතු යැයි ද කීය.

විසි වන සංශෝධනයෙන් බලාපොරොත්තු වන්නේ නව ව්‍යවස්ථාව ගෙන එන තෙක් වියවුල් ඉවත් කර සංවර්ධනය කර යන ගමන බාධාවකින් තොරව යාම සඳහා ඉඩකඩ සකසා ගැනීම යැයි ද ඒ වෙනුවෙන් රාජ්‍ය නායකයින් දෙදෙනා ජනතා මතයට අවනතව නිවැරදිව කටයුතු කරන බව පෙනී යන්නේ යැයි ද හෙතෙම කියා සිටියේය.

අලුත් ව්‍යවස්ථාව ජනතාවට වඩාත් සුභදායි වන අන්දමින් ගෙන එන්නට සුදානමින් සිටින අතර රජයට එරෙහි මතවාදයක් ගොඩ නැගීමට යම් පිරිසක් විසින් කටයුතු කිරීම කණගාටු දායක යැයි ද සභාපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ අපේක්ෂාව රට නිවැරදි කිරීම බව කී කුමාරතුංග මහතා ඒ සඳහා ශක්තිමත් රාජ්‍යයක් සඳහා වන යෝජනාවලියක් යුතුකම සංවිධානය විසින් මීට වසරකට පමණ පෙර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දුන් බව ද සිහිපත් කළේය.

අයිතිවාසිකම් පරිච්ඡේදය යුතුකම් පරිච්ඡේදයකින් ද තුළනය කළයුතු යැයි ද විසිවන ව්‍යවස්ථාවෙන් සියල්ල නිවැරදි කරගත නොහැකි යැයි ද ජනපතිට මේ රට ගොඩනැගීමට ඇති කාලය අපතේ යැවිය නොහැකි යැයි ද සඳහන් කළේය.