එංලන්තයේ දෙවැනි එළිසබෙත් මහරැජනගේ මුණුබුරා වන හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ වන මේගන් කුමරිය  රාජකීය තනතුරු අතහරින බව බකිංහැම් මාළිගය නිවේදනය කරයි.

බ්‍රිතාන්‍ය රජ පවුලෙන් සහ මහජන මුදල්වලින් දිවිගෙවීම අත්හැර දමා නිදහස් ලෙස ජීවත්වීම පිළිබඳව එලිසබෙත් රැජිණ සමඟ ඔවුන් දෙදෙනා සාකච්ඡා කර තිබූ අතර, එම සාකච්ඡාවලින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව, දෙවන එලිසබෙත් රැජිණගේ මුනුබුරු වන හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ ‘රාජකීය උතුමන්’ යන නාමය අත්හැර දමනු ඇත. හැරී කුමරුන්ගේ මව වන ඩයනා කුමරිව 1996 දී චාල්ස් කුමරුන්ගෙන් දික්කසාද වු අවස්ථාවේදී ඇයටත්  ‘රාජකීය උතුමන්’ යන ගෞරව නාමය භාවිතා කිරීම අහිමි කෙරිණ.

කෙසේ වෙතත් මින් ඉදිරියේදී හැරී කුමරුන් සසෙක්ස්හි අදිපාදවරයා ලෙසත් මේගන් කුමරිය සසෙක්ස්හි අදිපාදවරිය ලෙසත් හැඳින්වෙනු ඇත.

“මාස ගණනාවක් කළ සාකච්ඡා අනුව, මගේ මුනුබුරාට සහ ඔහුගේ පවුලට සහයෝගය දැක්වීමේ යහපත් ක්‍රමවේදයක් සොයාගැනීම ගැන මම සතුටුවෙනවා.

පසුගිය අවුරුදු දෙක තුළදී අධික නිරීක්ෂණයට ලක්වීමෙන් ඔවුන් මුහුණදුන් අභියෝගාත්මක අත්දැකීම් මම හඳුනාගත්තා. ඔවුන්ගේ නිදහස් ජීවිතය වෙනුවෙන් මම සහයෝගය දක්වනවා” යැයි 93 හැවිරිදි එලිසබෙත් මහරැජිණ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියාය.

ඇය එම ප්‍රකාශය නිකුත් කරනලද්දේ, හැරී කුමරු සහ මේගන් කුමරියගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් පසුගිය ඔක්තෝබරයේදී පුවත්පත් ගණනාවක් ගෙන ගිය පීඩාකාරී ක්‍රියාකලාපය සිහිපත් කරමිනි.

මේගන් කුමරිය රජ පවුලේ සාමාජිකයකු වශයෙන් පත්වීම සම්බන්ධයෙන් ආඩම්බර වන බවත්, ඔවුන් දෙදෙනාට ප්‍රීතිමත් සහ සාමකාමී නව ජීවිතයක් ප්‍රාර්ථනා කරන බවත් එලිසබෙත් රැජිණ පැවසුවාය.

කෙසේවෙතත්, හැරී කුමරු සහ මේගන් කුමරිය දැනට ජීවත්වන වින්ඩ්සර් බලකොටුව ආසන්නයේ පිහිටි ෆ්රොග්මෝ නිවසේ අලුත්වැඩියාවන් වෙනුවෙන් වැයකරන ලද
ඇමරිකානු ඩොලර් මිලියන 3.1 ක මුදල නැවතත් ගෙවීමට සිදුවනු ඇතැයි  බකිංහැම් මාළිගය නිකුත් කළ එම නිවේදනයේ දැක්වේ.

(ඒ එෆ් පී )