( බන්ධුල ඉලේපෙරුම)

තමාට අපහාස වන අයුරින් වැරදි සංඛ්‍යාලේඛන දක්වමින් පාර්ලිමේන්තුවේ නිල ට්විටර් ගිණුමේ ගූගල් බැලුන් ව්‍යාපෘතිය පිළිබඳ අසත්‍ය තොරතුරු පළ කිරීමට විරෝධය පළ කරමින් සමගි ජනබලවේගයේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අද(10) පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළේය.

“කවුද මේකට වගකියන්නේ. පාර්ලිමේන්තුවේ නිල ලාංඡනය යොදාගෙන මෙහෙම බොරු ප්‍රවෘත්ති හදන්න බෑ. කෝප් එකේ සාකච්ඡා කළා කියලා මේක ඇතැම් මාධ්‍ය මාත් එක්ක පෞද්ගලික තරහට මේ‍ක යොදාගෙන මඩ ගහනවා.” යැයි හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කියා සිටියේය.

එ‍්ත් සමගම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා හා කථානායක මේ පිළිබඳ සොයා බැලිය යුතුයි. වගකිවයුත්තන්ට එරෙහිව පරීක්ෂණයක් සිදුකළ යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.

කෝප් කමිටු සභාපති චරිත හේරත් මහතා එහිදී කියා සිටියේ පාර්ලිමේන්තුවේ මාධ්‍ය අංශය මගින් මෙම ට්විටර් ගිණුමට කෝප් කමිටුවේ සිදුවන දෑ වාර්තා කරන බවයි.

“කවුද මේ මාධ්‍ය අංශය හැදුවේ. කරු ජයසූරියගේ වුවමනාවට. අපි ඒකයි කිව්වේ මේවා සජීවිව මාධ්‍යයට දෙන්න එපා කියලා” යැයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාද එහිදී කියා සිටියේය.

පාර්ලිමේන්තු ට්විටර් ගිණුම මාධ්‍ය අංශය මගින් පවත්වාගෙන යන බවත් මෙවැනි වැරදි තොරතුරු ඇතුළත් කළ අය පිළිබඳ සොයා බලන බවත් කථානායකවරයා සභාවට දැනුම් දුන්නේය.