(ඩබ්. ඒ. පියතිලක)
හෙනානිගල ආදිවාසී ජනතාවට ජීවත්වීමට කිසිදු ආදායමක් නොමැතිවීමෙන් කැඳ බීමටවත් හාල් මිලදීගැනීම සඳහා තමා මී පැණි අලෙවි කිරීමට පොළොන්නරුව නගරයට පැමිණි බව හෙනානිගල ආදිවාසී නායක ඌරුවරිගේ මුතු බණ්ඩා මහතා පැවසීය.
මී පැණි බෝතල් කිහිපයක් අතැතිව පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය අසළ රැඳී සිටි ආදිවාසි නායකයා ‘ලංකාදීප’යට මෙසේ ද පැවසුවේය.
“එදා අපි කැලේට ගිහිල්ලා දඩයමක් කරගෙන, හේනක් කරගෙන ජීවත් වුණා. අද අපිට කැලේට යන්න දෙන්නේ නැහැ. හේනක් කරන්න දෙන්නේ නැහැ. ජීවත් වෙන්න විදියක් නැහැ. අපි සත්තු මැරුවේ විකුණන්න නෙවේ, අපේ වුවමනාවට විතරයි. අද අපිට කැලේට යන්න එපා කියලා, දේශපාලන මහ හූරෝ සහ වනජීවී හූරෝ කැලෑ කපනවා, සත්තු මරනවා. අපි කැලේට ගියොත් උසාවි අරන් ගිහින් දඩ ගහනවා.
දැන් අපේ ගම්මානවල කැකුළු කැකුළියෝ කවුරුවත් නැහැ. උන් ඔක්කෝම කොළඹ රස්සා හොයාගෙන ගිහිල්ලා. වයසක අය විතරයි ගමේ ඉන්නේ. ගමෙන් පිට ගියපු අය බැඳලා වෙනත් පළාත්වලට ගිහිල්ලා. ඒ අය වැද්දෝ කියලා දැනගනී කියලා ගමට අම්මා තාත්තා බලන්න එන්නේත් නැහැ. අපට ජීවත් වෙන්න රජයෙන්වත් කිසිම සහනයක් නැහැ.
වහින්නේ නැතුව හේන් කරන්නත් බැහැ. බඩගින්නේ මැරෙන්න බැරි නිසා බැරිම තැන තමයි බැරි බැරි ගානේ කැලේ ගිහින් මී වදයක් කඩලා පැණි ටිකක් අරගෙන පොළොන්නරු ආවේ. කැඳ බොන්න හාල් ටිකක් ගන්න සල්ලි කීයක් හරි හොයාගන්න. මෙහෙ එන්න යන්න විතරක් රුපියල් 400ක් විතර යනවා. මේ රටේ මුල් අයිතිකාරයෝ වෙච්චි අපට දැන් ජීවත් වෙන්න විදිහක් නැහැ. ලෝකේ වෙනස් වුණාට මිනිස්සු වෙනස් වුණාට අපි අපේ වර්ගයා පාවලා දෙන්නේ නැහැ. අපි මැරෙනතුරා මේ විදියටම ඉන්නවා. අපිට ජීවත්වෙන්න පුළුවන් පරිසරයක් හදලා දෙන්න කියලා මහ උන්ගෙන් ඉල්ලා සිටිනවා” යැයි ද ආදිවාසී නායකයා පැවසීය.


COMMENTS
අපි ඔස්ට්‍රේලියාවේ ඇබෝරිජින්වරු ගැන කියනවා. ලංකාවේ ආදීවාසීන් අපිට සම්පතක්. මේ සංස්කෘතිය සංචාරක කර්මාන්තයටත් ඉතා වැදගත්. මේ මිනිස්සු ටික රැකුනොත් විතරයි ඒවා ආරක්ෂා වෙන්නේ. මේ අහිංසක මිනිසුන්ට රජයෙන් විශේෂ සහනයක් ලබා දීම සුදුසුයි.
මේ අය මී මැසි පාලනයට යොමු කරන්න. රට යවන්න පුළුවන් විදියට අසුරන්න. රජයේ නිලධාරින්ට බලපත්‍ර විතරයි ඕනේ මේවා කරන්න. ඔස්ට්‍රේලියාවෙන් මී පැණි ගේන්නේ අපි.
අභිමානවත් ඉතිහාසය රැකුමට රාවණා පරපුරින් ආ බුදුබණට හීලෑ යක්කුන්ගේ අවධානය පිණිසයි...
මේ..ආදීවාසීන්ට , මීමැස්සන් බෝ..කරගැනීමට සහ ඒක කර්මාන්තයක් කර ගැනීමට උදව් කෙරුවනම් හොඳයි නේද ..
කෝ අපේ සංස්කෘතික අධ්‍යක්ෂතුමිය. විවිධ මාධ්‍ය ආයතන හරහා දේශණ කරනවා .වෙන වැඩක් නැතුවා වගේ. මේරටේ සංස්කෘතිය රැකෙන්නනම් මොවුන් ගැනත් බලන්න ඕනෑ. හැබෑට අපේ සංස්කෘතික ඇමති කවුද.