(සිරංගිකා ලොකුකරවිට) 

දිගින් දිගටම ඇදහැලෙන මහ වැසි හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ඇතිවුවහොත් හදිසි ආපදා කටයුතු සඳහා පෙර සූදානමක් ලෙස නෙළුව හා තවලම ප්‍රදේශවලට හමුදා කණ්ඩායම් යැවීමට අද (15) රාත්‍රියේම කටයුතු කරන බව ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ කර්නල් ඉන්දුක වික්‍රමසිංහ මහතා පවසයි.

අද (15) උදෑසන කාලයේ සිට ගාල්ල දිස්‍ත්‍රික්කයට අධික වර්ෂාවක් ඇද හැළුණු අතර ගිං ගඟේ ඉහල ප්‍රදේශයට ද මේ වනවිට වැසි ඇද හැළෙමින් පවතින බව වාර්තා වේ. 

නෙළුව හා තවලම ප්‍රදේශවලට දිවා කාලයේ තද වැසි ඇති නොවූව ද අද සවස 6.00න් පසු පැය එකහමාරක පමණ කාලයක දි මිලිමීටර 70 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබී ඇති බවත් තවදුරටත් වැසි ඇතිවෙමින් පවතින බැවින් හදිසි ගංවතුර තත්ත්වයක් සඳහා පූර්ව සූදානමක් ලෙස ආපදා කළමනාකරණ ඒකකය එම පියවර ගත් බවත් වික්‍රමසිංහ මහතා පවසයි.

තවලම ප්‍රදේශයට නාවික හමුදාවත්, නෙළුව ප්‍රදේශයට යුද හමුදාවත් යොමු කිරීමට තීරණය කර තිබේ.

එමෙන්ම පහත්බිම්වලින් ඉවත්වන ලෙසත් රාත්‍රී කාලයේ ගිං ග‍ඟේ ජල මට්ටම පිළිබඳ අවධානයෙන් සිටින ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ද ජනතාවට දැනුම් දී ඇත. 

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ගාල්ලේ අක්මීමණ, බද්දේගම, යක්කලමුල්ල, නෙළුව හා තවලම ප්‍රදේශවල නාය යාමේ අවදානමක් පවතින ස්ථානයන්හි පදිංචි සියලුම පුද්ගලයන්ට එම ස්ථානවලින් ඉවත්වන ලෙස ද දැනුම් දී තිබේ.

ආපදා කළමනාකරණ ඒකකය පැවසුවේ ගාල්ල නගරයේ ස්ථාන කිහිපයක්, කරාපිටිය රෝහල වෙත යන ප්‍රධාන පිවිසුම් මාර්ගයක් වූ හිරිඹුර හරස්මාර්ගය අසළ බෙලිගහ හන්දිය සහ බද්දේගම මාර්ගය ඇතුළු මාර්ග කිහිපයක් වැසි ජලය බැස නොයාම හේතුවෙන් ජලයෙන් යටවී ඇති බවයි.

එමෙන්ම ගාල්ල මොරගොඩ ඇළේ පැති බැමි ඉදිකරමින් පවතින බැවින් දංගෙදර ප්‍රදේශයේ ජලය අවහිරවී නිවාස යටවීමේ අවදානමක් පවතින බව ද එම ඒකකය පවසයි.