IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


හිටපු ජනපතිගෙන් අද හෝ හෙට සී.අයි.ඩීයට ප්‍රකාශයක්

( +++ නිමන්ති රණසිංහ)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (07) හෝ හෙට (08)  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බව දන්වා ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ ඊයේ (06) ප්‍රකාශ කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා හෝ හිටපු අගමැතිවරයා හෝ මෙතෙක් ප්‍රකාශ ලබා දී නොමැති බවත් හිටපු ජනාධිපතිවරයා පමණක් ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙලෙස දින ලබාදී ඇති බවත් නියෝජ්‍ය සොලිසටර් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් සහ වගකීමෙන් බැහැරවීමෙන් සාපරාධී මනුෂ්‍ය ඝාතන සිදුකර ඊට අනුබල දී වරදක් සිදුකළැයි කියන සිද්ධිය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (06) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ පසුවන අනිවාර්යය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරු බන්ධනාගාරය මගින් ඊයේ (06) අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ සිටියහ.

සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ  අනුර මැද්දේගොඩ මහතාගේ උපදෙස් මත නීතිඥ මඩුල්ලක් පෙනී සිටි අතර, පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පෙනී සිටියහ.

මෙම  සිද්ධිය පිළිබඳව හිටපු රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ද, හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් සහ හිටපු අමාත්‍ය රවුෆ් හකීම් යන මහත්වරුන්ගෙන් ද ප්‍රකාශ සටහන් කර ගත් බවත්, බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි සහ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන මහත්වරුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගත යුතුව ඇති බවත් මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේය.

මෙම සිද්ධියට අදාළව හිටපු අග්‍රාමාත්‍ය ලේකම්වරයාගෙන් ද ප්‍රකාශයක් සටහන් කර ගත යුතුව ඇති බවත්, මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගෙන් ප්‍රකාශ සටහන් කර නොගත් බවත් නියෝජ්‍ය සොලිසටර් ජනරාල්වරයා සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් අගරදගරුතුමන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරයකු නීතිපතිවරයා හමුවී සාකච්ඡා කර ඇති බවද, පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ අගරදගුරුතුමන් ලබාදුන් දීර්ඝ ප්‍රකාශය මේ සඳහා ආදේශ කර ගැනීමට කටයුතු කරන ලෙසට එහිදී ඉල්ලා ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය. ඒ සඳහා එම ජනාධිපති කොමිසමේ සභාපති මහාධිකරණ විනිසුරුවරයාගෙන් අවසරය ලබා ගත යුතුව ඇති බැවින් ඒ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බවත් සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට යුධ, ගුවන් සහ නාවික බුද්ධි අංශවල අධ්‍යක්ෂවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවද පැවසීය.

ඉදිරිපත්වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සිද්ධියට අදාළ විමර්ශන කඩිනමින් අවසන් කර අධිකරණය වෙත වාර්තා කරන ලෙස පොලිසියට නියෝග කරමින් සැකකරුවන් දෙදෙනා ලබන 20 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.

මෙම සැකකරුවන් දෙදෙනාට මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබාදී තිබූ ඇප නියෝගය නිෂ්ප්‍රභ කරමින් කොළඹ මහාධිකරණය දුන් නියෝගයට අනුව සැකකරුවන් දෙදෙනා  නැවත රිමාන්ඞ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ පසුගිය ඔක්තෝබර් 9 වැනිදාය.

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් සහ වගකීමෙන් බැහැරවීමෙන් සාපරාධී මනුෂ්‍ය ඝාතන සිදුකර ඊට අනුබල දී වරදක් සිදුකළැයි අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඉකුත් ජුලි මස 02 වැනිදාය. පසුව සැකකරුවන් දෙදෙනාට එක් අයකුට රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපයක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග නිකුත් වූයේ ඉකුත් ජුලි මස 09 වැනිදාය.

පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් පුද්ගයින් 250 කගේ ජීවිත අහිමිවී විශාල දේපළ හානියක් සිදුවීම සම්බන්ධයෙන් මනුෂ්‍ය ඝාතන සිදුකර ඊට ආධාර අනුබල ලබාදී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296, 298, 327, 328, 329 සහ 410 වගන්ති ප්‍රකාරව මෙම සැකකරුවන් දෙදෙනා වරදක් සිදුකර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරුවන් දෙදෙනාට එරෙහිව චෝදනා නගා තිබිණි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කරන ලද ජනාධිපති විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ අතුරු වාර්තාව අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් සැකකරුවන් ලෙසට නම් කරන ලෙස නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බැවින් ඔවුන් දෙදෙනා මෙම සිද්ධියේ සැකකරුවන් ලෙසට නම් කරනු ලබන බවට මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර තිබිණි.



අදහස් (8)

හිටපු ජනපතිගෙන් අද හෝ හෙට සී.අයි.ඩීයට ප්‍රකාශයක්

Mahee Tuesday, 07 January 2020 06:36 AM

"ජයග්‍රහණයට පියවරු බොහෝය. පරාජයට ඉන්නේ නැන්දම්මා පමණකි" කියල කියමනක් තියෙනවනේ. ඕක ඉතින් වෙනස් විදිහකටත් කියනවා. කොහොම වුනත් දැන් ඉන්නේ නම් නැන්දම්මල කීප දෙනෙක් විතරයි. එතනත් අනික් නැන්දම්මල ටික එකතුවෙලා දෙන්නෙක් මාට්ටු කරලා ඇඟ බේරාගෙන ඉන්න බව නම් පේනවා.

:       0       65

p.d goonawardena Tuesday, 07 January 2020 06:53 AM

කළකම් පලදෙන්න එනවා වගේ .....

:       1       103

ranaTuesday, 07 January 2020 07:31 AM

මොන සිහිනද " එක කාක්කෙක් තවත් කාක්කෙක්ගේ අැසට අනීද ?

:       0       54

gihan Tuesday, 07 January 2020 07:33 AM

රට විනාශය කරා ඇද ගෙන යාමට මුල්ම ගල තැබුවේ මෙයා. යහපාලනය රෙදි පල්ලෙන් බේරෙනවා .

:       2       118

රවින් Tuesday, 07 January 2020 08:17 AM

ඔන්න මමනම් දැනගත්තේ ප්‍රවෘත්ති වලින්. ඔය කියන වෙලේ මං හිටියේ ආප්ප කකා. මන් දන්නේ එච්චරයි.

:       1       104

Nuwan Tuesday, 07 January 2020 08:24 AM

ඉතා කෙටි කලකින් තම හත්මුතු පරම්පරාවම ගොඩදා ගත්ත ග්‍රාමසේවක කෙනෙක් ලංකා ඉතිහාසයේ වෙන කොහෙවත් ඉදලා නැහැ. බෝල් පොයින්ට් පෑනෙන් පටන් අරන් ගහපු ගැහිල්ල ඉතිහාසගත වෙලා අහවරයි.

:       1       183

ravi Tuesday, 07 January 2020 08:26 AM

හිටපු ජනාධිපති කිසි තැනක වැරදි විදිහට හැසිරිලා නැති බව අපි දනිමු. හැබැයි එතුමා වැරදිකාරයෝ විවේචනයට ලක්කරපු නිසා............අද එතුමාට උසාවි යන්න සිදුවීම ගැන අපි ඉතා ආඩම්බර වෙමු.

:       105       2

රවින්Tuesday, 07 January 2020 09:49 AM

හැසිරීම ගැන බලන්න හැංගිලා හිටියද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 343 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site