(මහේෂ් කීර්තිරත්න)

කොවිඩ්-19 වසංගත අවදානම්  තත්වය හමුවේ මෙවර සාමාන්‍යපෙළ විභාග රාජකාරිවල නිරත වන 46,000ක් පමණ ගුරුවරුන්, විදුහල්පතිවරුන් ඇතුලු අනෙකුත් කාර්ය මණ්ඩල සඳහා එන්නත ලබාදීමට වහා මැදිහත් වන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රමුඛ බලධාරින්ගෙන් ඉල්ලා සිටින බව ලංකා ගුරු සේවා සංගමයේ මධ්‍යම පළාත් ලේකම් ගමගෙදර දිසානායක මහතා අද (24)දා පැවසීය.
 
මාතලේ දි මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම කියාසිටියේ දිවයිනේ මධ්‍යස්ථාන 4513 කදි ලබන මාසයේ 01 දින සිට ආරම්භ කිරීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගයේ රාජකාරි සඳහා නිරත වන නිලධාරින්ට කොවිඩ් එන්නත ලබා දිය යුතු බවය.
 
“රට තුළ මෙම වසංගත තත්වය ආරම්භයත් සමග 430,000ක් වන දරුවන් හා 300,000ක් වන ගුරුවරුන්, විදුහල්පතිවරුන් හා අනෙකුත් කාර්ය මණ්ඩලවල ආරක්ෂාව හා අවදානම පළිබදව දැඩි අවධානය යොමු කරමින් පාසල් වසා දැමීමට තීරණය කළා. නමුත් දිනපකා මරණ වාර්තාවීමත් රෝගීන් වාර්තා වීමත් තුළ සිසුන් 600,000කට වැඩි පිරිසක් එකවර පෙනීසිටින මෙම විභාගයේදි ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධව අධ්‍යාපන බලධාරින් අවධානය යොමුනොකිරීම කනගාටුවට කරුණක්” බවද දිසානායක මහතා කීය.

කොවිඩ්-19 වසංගත තත්වය හමුවේ ජාතික එන්නත් කිරීමේ වැඩපිළිවෙළෙහි අවශ්‍යතාවය දැඩිව අවධාරණය කරන බවත්, මේ මොහොතේ ප්‍රමුඛව හා කඩිනම් වැඩපිළිවෙළක් ලෙස විභාග රාජකාරි සඳහා නිරතවීමට නියමිතව සිටින ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ඇතුලු අනෙකුත් කාර්ය මණ්ඩල  එන්නත් කිරීමට මේ දින කිහිපයේදි හෝ පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින බවද දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.