(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මාලඹේ  ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය ( ස්ලිට්)  පිළිබඳ  කෝප් වාර්තාව මෙන්ම විගණන  වාර්තාව සම්පූර්ණයෙන්ම වැරදි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී එස් බී දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (1)  පැවැසීය.

ඔහු මෙසේ පැවසුවේ අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කීපයක වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක  සභා අවස්ථාවේ විවාදයේදීය.

පටන් ගත්දා සිටම   මෙම ආයතනය දියුණු කිරීමට  එවකට  වෙළෙඳ ඇමැතිවරයා  ලොකු මහන්සියක් ගත් බවත් චන්ද්‍රිකා කුමාරණතුංග හිටපු ජනාධිපතිවරියද මෙයට උදව් කළ බවත්
මන්ත්‍රීවරයා කීවේය.
මෙය හොඳ පෞද්ගලික ආයතනයක් බවද අද ලංකාවේ  දෙවෙනියට වැඩිම ශිෂ්‍යයන් සිටින පාසල  මෙය බවද  ඔහු පැවසුවේය.

විදේශීය ශිෂ්‍යයන් හයසියයක් මෙහි ඉගෙන ගන්නා බවද  එස් බී දිසානායක මහතා පැවසීය.මේ ආයතනය කිසිදිනක රජය යටතේ නොතිබූ බවත් මහපොළ අරමුදලින් කිසියම් ආධාරයක් පමණක්  එයට ලබාදුන් බවත්  ඔහු කිවේය.

එම මුදල ආපසු රජයට ගෙවූ බව පැවසූ මන්ත්‍රීවරයා  මහපොළ ඉඩමට අදටත් කුලී ගෙවන බවද සඳහන් කළේ‍ය.මෙම ආයතනයට අත නොතියන  ලෙස තමා ඉල්ලා සිටින බවත් උසස් අධ්‍යාපනයෙන් මෙරටට විදේශ විනිමය
ගෙන ආ හැකි බවත්  ඔහු පැවසුවේය. විදේශ දරුවන් මෙරටට ගෙන ඒමට මීට වඩා උනන්දු විය යුතු  යැයිද  මහතීර් මොහොමඩ්ලා  ඩෙන් සියාවෝ පින්ලා කටයුතු කළේ ඒ විදියට යැයිද  හෙතෙම සඳහන් කළේය.

මේ කාරණය ගැන තමා අධ්‍යාපන ඇමැතිවරයාගේද අධ්‍යාපන රාජ්‍ය ඇමැතිවරයාගේද අවධානය යොමු කරවන බව එස් බී දිසානායක මහතා මෙහිදී වැඩිදුරටත් පැවැසීය.