(පද්මා කුමාරී කන්කානම්ගේ)

කල්පිටිය සයුරේ පිහිටි වැළි පර සමුද්‍ර අභය භූමිය (බාර් පරය හෙවත් ගල් මල් උයන) තුළ ධීවර කටයුතුවල නිරතවූ යාත්‍රා දෙකක් සැක කරුවන් දස දෙනෙකු දැල් ආම්පන්න ද සමගින් අද (17) පස්වරුවේ වණ ජීවී දෙපාර්තුමේන්තුවේ කල්පිටිය නිළධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. අත්අඩංගුවට පත් දැල මීටර 300 ක පමණ දිගින් යුතු රුපියල් ලක්ෂ 6 ක පමණ වටිනා දැලකි.

සමුද්‍ර අභය භූමියේ ධීවර කටයුතුවල නිරතවූ තවත් යාත්‍රා අටක් මෙහෙයුම අතර පලා ගොස් ඇතැයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ වණ ජීවී දෙපාර්තුමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අඩවි ආරක්ෂක මංජුල කුමාර මොරතැන්න මහතා පවසයි. පලා ගිය යාත්‍රා හදුනා ගෙන ඇති අතර ඒවා අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදු කරණ බැව් ඒ මහතා පැවසුවේ ය.

සංචාරක ආකර්ශණය දිනා ගත් මෙම වැළි පර උයන හික්කඩුවේ ගල් මල් උයනට පමනක් දෙවෙනි විය. වණ ජීවී දෙපාර්තුමේන්තුව විසින් 1992 අප්‍රියෙල් 2 විශේස ගැසට් නිවේදනයක් මගින් මෙම වැළි පර උයන සමුද්‍ර අහය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

සත්තව වාසස්ථානවලට බරපතළ හානි සිදු වන නිසා, වණ ජීවී පනතට අනුව සමුද්‍ර අභය භූමිය තුළ ධීවර කටයුතුවල නිරත වීම සපුරා තහනම් ය..

ජේෂඨ අඩවි ආරක්ෂක මංජුල කුමාර මොරතැන්න මහතා මෙසේ ද පැවසුවේ ය.

"පසු ගිය කාලය තුළ එල්නිනෝ සංසිද්ධිය ඇතුලු සවභාවික හේතු නිසාත් මිනිස් ක්‍රියාකාරකම් නිසාත් මේ බාර් පරය මිය ගියා. ඒක සංචාරක කර්මාන්තයටත් මරු පහරක් වුනා. පසු ගිය වසරේ වණ ජීවී දෙපාර්තුමේන්තුව, නාවුක හමුදා සහායත් සමගින් බාර් පරයේ ගල් මල් යළි රෝපණයක් සිදු කළා. එම වැඩෙමින් තිබෙන ළදරු පරයන් මෙම ධීවර දැල් නිසා විනාශ වෙනවා"

මෙම මෙහෙයුම වණ ජීවී ජේෂ්ඨ අඩවි ආරක්ෂක මංජුල කුමාර මොරතැන්න මහතාගේ අධීක්ෂණයෙන් වන සත්ත්ව නියාමකවරුන් වන කේ කේතර නාදන්,ප්‍රසාද් කරුණාරත්න, ක්ෂෙස්ත්‍ර සහායකවරුන්වන නාරද කලු ආරච්චි, සුජිත් උපාලි යන නිළධාරීන්ගේ සහහාගීත්වයෙන් සිදු විය.

අත් අඩංගුවට ගත් දැල්, යාත්‍රා  සහ සැක කරුවන් පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරි පත් කිරීමට නියමිතය.