(චමිල් රූපසිංහ)

හොරව්පතාන ප්‍රදේශයේදී සාමණේර භික්ෂූන් වහන්සේ දෙනමකට ගිහි පුද්ගලයෙකු අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය මෙරට භික්ෂූන් වහන්සේගේ හා බෞද්ධ ජනතාවගේ සිත් සසළ කරවන සුළු එකක් බවත් එවන් සිදුවීම් නැවත සිදු නොවීම පිණිස ගත යුතු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියන් පොලිස්පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්  කර තිබේ.

සිද්ධිය අනාවරණය වූ විගස පොලිසිය ක්‍රියාත්මක වී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන බව දැන ගන්නට ලැබුණු බවත් එකී සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ සිදුකරන ලෙසත් අදාළ ලිපිය මගින් මහනාහිමියන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත.

එම ලිපියේ තවදුරටත් මෙසේද සඳහන් වෙයි.

ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරම්භයේ සිට මේ දකවා ඊට අනන්‍යය වූ ශාසනික සම්ප්‍රදායන්ගෙන් යුක්තව පැවත එන්නේය.ඒ අනුව ධර්ම විනයත් භික්ෂු ප්‍රතිපදාවත් සුරක්ෂිත කිරීමට අවශ්‍යය මාර්ගෝපදේශයන් හා විනය ප්‍රඥප්තීන් ධර්මය හා විනය තුළ සංග්‍රහවී ඇත.

එහිදී භික්ෂූන් වහන්සේගේ ශාසනික කාර්යභාරය හා උන්වහන්සේගේ භික්ෂු ප්‍රතිපදාව ශාසනික සම්ප්‍රදාය තුළ සුවිශේෂ එකක් වේ.එනිසා බුදුන් වහන්සේ විසින් භික්ෂු සමාජයෙහි පැවැත්ම ආරක්ෂා කිරීමට අවශ්‍යය සියලුම ධර්මානුකූල හා විනයානුකූල පියවර ගෙන ඇත.

ඒ අනුව භික්ෂු සමාජය ශිෂ්‍යානු ශිෂ්‍ය සම්ප්‍රදායානුකූලව ගුරු සිසු සම්ප්‍රදායට අනුගතව අතීතයේ සිට වර්තමානය දක්වා අඛන්ඩව පැවැත එනු ලබයි.එසේම නවක සාමණේරවරුන්ගේ ශාසනික ජීවිතයෙහි වගකීම හා ධර්මය හා විනය අධ්‍යනය කරවමින් ශාසනයෙහි පැවැත්මට අවශ්‍යය සියලු ක්‍රියාමාර්ග වල වගකීම රදා ඇත්තේ වැඩිහිටි භික්ෂුන් වහන්සේලා වෙතය.

අතීතයේ සිට රාජ මහා මාත්‍යාදීන්ගේ සිට සියලු ගිහි සමාජයෙහි සමාජිකයින්ගේ වගකීම වූයේ භික්ෂුන් වහන්සේගේ ශාසනික ජීවිතය සුරක්ෂිත කිරීමට අවශ්‍ය ප්‍රත්‍ය පහසුකම් නිසි පරිදි සපයා දීමයි.ඊට සමගාමීව ගිහි පිංවත්හු සිය ජීවිතයේ අධ්‍යාත්මික දියුණුව සලසා ගනිමින් කෙමෙන් කෙමෙන් විමුක්ති මාර්ගයෙහි මස්තකයට ගමන් කළහ.

ඒ හැර භික්ෂු ජීවිතයට හානි පැමිණීම හෝ ශාසනික ප්‍රතිපදාව අඩපණ කිරීම ගිහියාගේ කාර්යභාරය නොවීය.

සාමණේර භික්ෂූන් වහන්සේලාගේ යම් දෝෂයක් වේ නම් උන්වහන්සේලා නිවැරදි ශාසනික  ජීවිතයට අනුකූලව ශික්ෂණය ලබාදීමේ වගකීම ඇත්තේ භික්ෂූන් වහන්සේට මිස ගිහියන්ට නොවේ.

ගිහි පිංවතුන්ගේ වගකීම වන්නේ යම් භික්ෂුවක් වැරැද්දක් සිදු කරයි නම් එය වැඩිහිටි භික්ෂුන්වහන්සේ නමකට දැනුම් දීමයි.ඒ අනුව විහාරාධිපතීන් වහන්සේලා පළාත් නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා අධිකරණ ස්වාමින්ද්‍රයන් වහන්සේලා හා සංඝ සභාව ඊට නිසි විනයානුකූල ක්‍රියාමාර්ග ගනු ලබති.

සාමණේර වහන්සේලා යනු ළමා වයසේ පසුවන දරුවන්ය.එබදු පිරිසකගෙන් වැරැද්දක් සිදුවීමට අවකාශය වැඩිය.අතීතයෙත් වර්තමානයෙත් නොදැනුවත්කම් මත ළමා මානසිකත්වය මත වැරැද්දට යොමුවූ අවස්ථාවන් ශාසන ඉතිහාසයේ දක්නට ලැබේ.

එබඳු අවස්ථාවලදී වැඩිහිටි භික්ෂුන් වහන්සේ විසින් නිසි ශාසනික ක්‍රියාමාර්ග ගනු ලබන අතර එහිදී එකී තත්ත්වයන් සමනය කරමින් සාමණේරයන් වහන්සේලා සුරක්ෂිත කළහ.