(නිමල කොඩිතුවක්කු)
රුපියල් බිලියන 11කට අධික මුදලක් රජයට අහිමි කරමින් සිදු කරන ලද බව කියන සීනි වංචාව සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලමින් සමගි තරුණ බලවේගය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත අද (1) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
සමගි තරුණ බලවේගය වෙනුවෙන් එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක, ප්රචාරක ලේකම් රසික ජයකොඩි, ජාතික සංවිධායක චමිත් විජේසුන්දර සහ නීතිඥ මාධව ජයවර්ධන යන මහත්වරුන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබීය.
මෙම පැමිණිල්ල ගොනු කිරීමෙන් පසුව මාධ්‍ය වෙත කරුණු දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා මෙසේ පැවසීය.
"සීනී ආනයනනික බද්ද කිලෝවකට රුපියල් 50කින් අඩු කිරීමත් සමගම එක්තරා පුද්ගලික සමාගමක් විසින් සීනි මෙට්‍රික් ටොන් 73000ක් මෙරටට ආනයනය කිරීමත් සමග විශාල අලාභයක් රටට සිදුවී තිබෙනවා. මේ විදියට ශත 25 බද්දට සීනි මෙට්‍රික් ටොන් 73000ක් ගෙන්වූවත් වෙළඳපොළේ සීනි මිල අඩු වුණේ නෑ. ආණ්ඩුව රුපියල් 85ක පාලන මිලක් ගැසට් කළාට වෙළඳපොළේ කිසිම තැනක රුපියල් 85ට සීනි තිබුණේ නෑ.
සතොස ආයතනය රුපියල් 110 සිට 120 දක්වා මිල ගණන්වලට සීනි මිලට ගෙන රුපියල් 85ට පාරිභෝගිකයන්ට දුන්නා. මේ හරහා සතොස ආයතනය විශාල පාඩුවක් සිදුකරගත්තා. අනෙක් අතින් සතොස සීනි මිල දී ගැනීම සහ වෙළෙඳපොළේ වැඩි මිලට සීනි අලෙවි වීම හරහා මේ සීනි ගෙන්වූ සමාගම ලබා ගෙන තියන ලාභය ඉතා විශාලයි.
මේ වන විට ලංකාවට එමින් තිබෙන සීනි තොගයත් සමග සීනි මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් පමණ මේ කෙටි කාල සීමාව තුළ ලංකාවට ගෙන්වා තිබෙනවා. ඉතිහාසයේ කවදාකවත් ඒ තරම් විශාල සීනි ප්‍රමාණයක් මේ තරම් කෙටි කාලයක දී ගෙන්වලා නෑ. මේ හරහා සෘජුව සහ වක්‍රව රජයට අහිමි වෙලා තියන ආදායම රුපියල් බිලියන 11ක් පමණ වන බව ගණනය කරන්න පුළුවන්.
මේ සීනි ආනයනය කළ විල්මා සමාගම සහ සතොස හිටපු සභාපති නුෂාඩ් පෙරේරා අතර තිබුණු සම්බන්ධය මොකද්ද කියලා හොයන්න වුණේ. සතොස ආයතනයට වැඩිමිලට සීනි අරන් අඩු මිලට අලෙවි කළේ මොන පදනම මත ද කියලා හොයලා බලන්න ඕනෙ. මේ විදියට කෙටි කලක් විශාල වශයෙන් සීනි ආනයනය කළේ ඇයි කියලා හොයලා බලන්න ඕනෙ. මේ වගකීමෙන් පැනලා යන්න ආණ්ඩුවට බෑ.
ඒ නිසයි අපි ඒ ගැන අල්ලස් කොමිසමට අද පැමිණිලි කළේ. ඒ වගේම අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා මේ ගැන ජනාධිපති කොමිසමකුත් පත් කරන්න කියලා. මේ හරහා සිදුවුණු පාඩුව බැඳුම්කරෙන් සිදුවුණු පාඩුවට සමානයි. අඩුම ගාණේ සිරිසේන ජනාධිපතිතුමාට පුළුවන්කම තිබ්බා යහපාලන ආණ්ඩුව යටතේ සිදුවුණු බැඳුම්කර වංචාව ගැන හොයන්න කොමිසමක් හරි දාන්න. ඒ නිසයි අපි කියන්නේ මේ සීනි ගනුදෙනුව ගැනත් ජනාධිපති කොමිසමක් පත් කළ යුතුයි කියලා" යැයි ඔහු පැවසීය.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.