(ඩයනා උදයංගනී)

සීදුව ප්‍රදේශයේ ගොඩනැගිල්ලක යුද හමුදාව විසින් ඉදිකළ කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) පස්වරුවේ නිරීක්ෂණයට කළේය.

බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් ලබාදුන් ගොඩනැඟිල්ලක ඉදිකෙරුණු මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය වාට්ටු 03කින් සමන්විත අතර එහි රෝගීන් 1,200කට එක්වර ප්‍රතිකාර ලැබීමේ පහසුකම් පවතී. නවීන තාක්ෂණ මෙවලම් ඇතුළු නේවාසික රෝගීන්ගේ මානසික ඒකග්‍රතාව සුරැකෙන පහසුකම් රැසක් සහිතව මෙම මධ්‍යස්ථානය ඉදිකර ඇත.

යුද හමුදාව සහ යුද හමුදා සේවා වනිතා ඒකකය එක්ව දින 10ක් වැනි කෙටි කාලයකදී මෙහි ඉදිකිරීම් නිම කිරීම විශේෂත්වයක් වන අතර රණවිරු ඇපරල් කර්මාන්තශාලාවේ ආබාධිත රණවිරුවන් පැය 24ක් වැනි කෙටි කාලයකදී ඊට අවශ්‍ය ඇඳ ඇතිරිලි කට්ටල 2000ක් මසා නිම කර ඇත.

ප්‍රායෝගිකව නිවෙස්වල තබා ප්‍රතිකාර දිය නොහැකි, එහෙත් බරපතල රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාධිතයන්ට මෙහිදී ප්‍රතිකාර ලබාදීමට නියමිතය.

රෝහල්වල ඇතිවිය හැකි තදබදය වළක්වා ගැනීම සහ වෛද්‍ය කාර්ය මණ්ඩලවලට අසාධ්‍ය රෝගීන් වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කිරීමට අවස්ථාව සැලසීම මෙවැනි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ අරමුණ වී ඇත.

බෝ නොවන රෝග හේතුවෙන් දීර්ඝකාලීනව ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාධිතයන්ට අවශ්‍ය ඖෂධ ඇතුළු වෛද්‍ය සේවා සැපයීම ද මෙහිදී සිදුකෙරෙන අතර සෞඛ්‍ය අමාත්‍යාංශය සහ යුද හමුදා වෛද්‍ය බලකාය එක්ව එම කටයුතු සිදුකරයි.

ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න, සෞඛ්‍ය ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සංජීව මුණසිංහ, සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් අසේල ගුණවර්ධන, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.