(සුජිත් හේවාජුලිගේ)

කොවිඩ් 19 රෝගය පාලනය කිරීමට ශ්‍රී ලංකාව අනුගමනය කළ වැඩපිළිවෙල ඉතාම සාර්ථක බවත් සංවිධානාත්මක එන්නත්කරණය  මුළු ලොවටම ආදර්ශයක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල් ටෙඩ්රෝස් ඇඩනම් ගෙබ්‍රියෙසස් මහතා පැවැසීය.

ඔහු මෙසේ පැවසුවේ  ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ලෝක සෞඛ්‍ය සංවිධාන මුලස්ථානයේදී රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සමග අද (3) පැවැත්වූ සාකච්ඡාවකදීය.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා  එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට පෞද්ගලිකවම දැක්වූ දායකත්වය සහ  සෞඛ්‍ය-ආරක්ෂක අංශ සහයෝගයෙන් අභියෝගයට මුහුණදීම ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන සාර්ථක වීමට හේතු වූ බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මෙහිදී පැවසීය.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සහ ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රවල දියුණුවට අදාල කරුණු කිහිපයක්ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

එන්නත්කරණය සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකාවේ  අත්දැකීම් බෙදා ගන්නා ලෙස අධ්‍යක්ෂක ජනරාල්වරයා  සෙසු රටවලට ආරාධනය කළේය.

මේ සාකච්ඡාවට ජිනීවා නුවර ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සී ඒ චන්ද්‍රප්‍රේම මහතාද  සහභාගී විය.