චීනයේ 22වන වරටත් පැවැත්වෙන ෂැංහයි අන්තර්ජාතික සිනමා උළෙලේ (SIFF) 'ඒෂියා නිව් ටැලන්ට් අවෝඩ්' සිනමා සම්මානය සඳහා හොඳම නළුවා සහ හොඳම තිරරචනය යන සම්මාන ද්වයට ලලිත් රත්නායක විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘විෂම භාග’ (The Other Half) සිනමාපටය නිර්දේශ වී තිබේ.
ඒ අනුව එම චිත්‍රපටයේ තිර රචනය කළ ලලිත් රත්නායකත් නවක ළමා රංගන ශිල්පියකු වන පන්සිලු වික්‍රමරත්නත් මෙම සම්මාන සඳහා නිර්දේශ වී ඇත. ‘විශම භාග’ ඔවුන් දෙදෙනාගේම පළමු අධ්‍යක්ෂණය සහ රංගනය වීම විශේෂයකි.
කෘෂි රසායනයන්ගෙන් අපවිත්‍ර වූ ජල පරිහරණයෙන් වැළඳෙන මාරාන්තික වකුගඩු රෝගයෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාවේ දුෂ්කර ගම්මානයක් කේන්ද්‍ර කරගත් ‘විෂම භාග’ ශ්‍රී ලංකාවේ ප්‍රථම සමාජ සත්කාර චිත්‍රපටය ද වේ.
මෙම සිනමාපටයට ජැක්සන් ඇන්තනී, හේමසිරි ලියනගේ, කෞෂල්‍යා ප්‍රනාන්දු, ප්‍රියන්ත සිරිකුමාර, තිලක්ෂණී රත්නායක රංගනයෙන් දායක වන අතර නවක ළමා රංගන ශිල්පීන් ලෙස පන්සිලු වික්‍රමරත්න සහ පන්කජ වික්‍රමරත්න ප්‍රධාන චරිත නිරූපණය කරති.
සම්මාන ප්‍රදානෝත්සවය ජූනි 21වන දින චීනයේ හයි ෂැන් සංස්කෘතික කේන්ද්‍රයේදී පැවැත්වීමට නියමිතය.



COMMENTS
හරිම සතුටුයි. අපේ මිනිසුන්ගේ හැකියාවන්ට ලෝකයේ අවධානය යොමු වෙන එක ගැන, උණුසුම් සුභ පැතුම් ඉදිරියටම යන්න...
නිර්මාණශීලී කළා කරුවෙකු වන ලලිත් රත්නායක මිට බොහෝ කලකට පෙර මෙම කතාවම යොදාගෙන ඉතාම කලාත්මක කෙටි චිත්‍රපටයක් නිර්මාණය කළා. එය ඔහුගේ මුල්ම නිර්මාණය වෙන්නට පුළුවන්. ජෝ අබේවික්‍රම රඟපෑ " විෂම භාග " නම්වූ එම කෙටි චිත්‍රපටය 2004 සුමති සම්මානය දිනාගැනීමට සමත් උනා. පසු කලෙක ඔහු අතින් නිර්මාණය වූ "අරුංගල්, තෙත් සහ වියලි සහ තාත්තා" වැනි ටෙලිනාට්‍ය අතිශය ජනප්‍රියත්වයට මෙන්ම සම්මානයනටද පාත්‍ර වුවා. ටෙලිවිෂන් කර්මාන්තය ගැන ඔහු වරෙක " රුපවාහිනිය කියන්නේ නිරතුරු විචල්‍ය වන, ගතික විෂය ශේෂ්ත්රයක්. ඒ නිසා කාලින වශයෙන් වෙනස් වෙන නව තාක්ෂණයත් සමඟ අපිත් ඉදිරියට යායුතුයි. එය ඉතාම වැදගත් දෙයක් ලෙසයි මා දකින්නේ" යැයි පවසා ඇත. වර්තමානයේ ශ්‍රී ලංකාවේ ඉන්නා කුසලතා පරිපුර්ණ නිර්මාණ කරුවෙකු ලෙසට නොබියව හැඳින්විය යුතු ලලිත් රත්නායකගේ ප්‍රථම චිත්‍රපට නිර්මාණය සාර්ථක වේවා යැයි ඉත සිතින්ම සුභ පතමු. මෙවැන්නන් අප රටට සම්පතක්ම වන්නේය.