(නිමල කොඩිතුවක්කු)

රටේ ආර්ථිකයේ විශාල ණය බරක් තිබියදීත් රාජ්‍ය සේවකයන්ගේ හා විශ‍්‍රාමිකයන්ගේ අගය වැඩිකිරීමට වත්මන් ආණ්ඩුවට හැකි වූ බව එක්සත් ජාතික පක්ෂයේ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹ දී පැවසීය.

වැටුප්, සේවා සහ පහසුකම් වැඩිකරමින් ජනතාවගේ ජීවන මට්ටම ශක්තිමත් කිරීමට  වත්මන් රජයට හැකි වූ බවත්  අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කියා සිටියේය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ අද (8) පැවති ජාතික විශ‍්‍රාමික දින සැමරුම් උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

විශ්‍රාමයට නවෝදයක් තේමාවෙන් මෙවර ජාතික විශ‍්‍රාමික දින සැමරුම පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේ ද කීවේය.

 ‘‘අද ජාතික විශ‍්‍රාමික දින සැමරුම් දිනයයි. ඔබ සියලුදෙනාම ආණ්ඩුවේ සේවකයන් විදියට සේවය කළා.  මමත් දේශපාලඥයෙක් විදියට කටයුතු කළා. ඒත් රටේ නීතිය අනුව ඔබ සියලු දෙනාටම යම් කිසි වයසකදී විශ‍්‍රාම යන්න තියෙනවා.

දේශපාලඥයන්ට එහෙම විශ‍්‍රාම  යාමේ වයසක් දැනට නැහැ. ඒ නිසා මමත් මහින්ද රාජපක්ෂත්, සම්බන්දන් මහතාත් තවම සේවයේ නිරත  වී සිටිනවා. මම හිතන්නේ නම්  තුනම කියපු නිසා මම මැතිවරණ නීතිය උල්ලංඝණය කරලා නැහැ.

මෙතන ඉන්න බොහෝ දෙනෙකුට  විශාල අත්දැකීම් තියෙනවා.  සමහරු හැටේ දශකයේ දී රාජ්‍ය සේවයට බැදුණා. සමහරු 70 බැදුණා. 77 වනවිට මෙතන ඉන්න  බොහෝ දෙනෙක් සේවයේ හිටියා. 77 දී පාලන  ආර්ථිකයක ඉදන්  අපිට විවෘත ආර්ථිකයකට පරිවර්තනය වෙන්න වුණා. 

ඒ පරිවර්තනයේදි විශේෂයෙන්ම  රජයේ සේවකයන් තමයි  ඒ කටයුත්ත සිදුකළේ.  සමහරු එම අවස්ථාවේම එය සිදුකළා. සමහරු මේක හොදයි ද  කියලා හිතුවා. සමහරුන්ට ටිකක් කල් ගියා.

විවෘත ආර්ථිකයක් ඇති කරහම රාජ්‍ය සේවකයන්ගේ  සංඛ්‍යාව අඩු වෙයි කියලා ඇතැම්  අයගේ විශාල බයක් තිබුණා. ඒත් අපේ අත්දැකීම  අනුව රාජ්‍ය සේවකයන්ගේ සංඛ්‍යාව  විවිධ ආණ්ඩු යටතේ වැඩිවුණා. 

මේ කාලය තුළ විවෘත ආර්ථිකයක්  ක‍්‍රියාත්මක කිරීමේදී ඔබේ අත්දැකීම් ඉවහල් වුණා.   මේ අතරතුරේදී අසූ තුනේ කෝලහාල දවසේ දී  මේවාට මුහුණ දුන්නා. හැත්ත අටේ උතුරු නැගෙනහිර  ප‍්‍රදේශ සුළි සුළඟට  මුහුණ දුන්නා. අපි මේ සියල්ලටම මුහුණ දුන්නා.

ඒ වගේම විශාල සංවර්ධනයක් රටේ ක‍්‍රියාත්මක වුණා.  මහවැලි ව්‍යාපෘතිය අවුරුදු පහකින් කරන්න.  කෝට්ටේ අලූත් අගනුවර හදන්න, නිවාස හදන්න, විදුලි බලය ලබා දෙන්න මේ අය කැප වුණා.  එදා අපේ දිසා ලේකම්වරුන්, ප‍්‍රාදේශීය ලේකම්වරුන් දිස්ත‍්‍රික්  සංවර්ධන සභා මාර්ගයෙන්  කරපු සේවය මට මතකයි.

මේ අයගේ විශාල සේවයෙන් රටේ සීඝ‍්‍ර සංවර්ධනයක්  ඇති වුණා. ඉන්පසු අපි යුද්ධයකට මුහුණ දුන්නා.  ඒ යුද්ධයත්,  උතුරේ, දකුණේ භීෂණ වාතාවරණය අනුව ඔබ සියලුදෙනාම ආණ්ඩුව ගෙන ගියා.  සමහර අයගේ  ජීවිතය නැති වුණා. ඒත් රජයේ පාලනය ගෙන ගියා.

2004 දී අපි සුනාමියට  මුහුණ දුන්නා. ඒ සුනාමියෙන් ඉදිරියට ආවා.  ජනතාවගේ ජීවිත බේරගෙන යළි ප‍්‍රතිසංස්කරණය කළා. දැන් යුද්ධය අවසන් කරලා ආර්ථික ප‍්‍රශ්න වලට මුහුණ දීලා සංහිදියාව  ඇති කළත් මේ පළපුරුද්ද ඔබ සියලු දෙනාටම තියෙනවා.

ඒ නිසා පළමුවෙන්ම  මගේ යුතුකමක් තියෙන්නේ මෙහෙම කාලයක සේවය කරපු ඔබ  සියලූ දෙනාටම අපේ ස්තූතිය ප‍්‍රකාශ කළ යුතුයි. ඔබ  සේවය  කරපු නිසා රාජ්‍ය යාන්ත‍්‍රණය යුද්ධ වලින්, සුනාමි වලින්, කෝලහල වලින් ආරක්ෂා වුණා. ඒ කාරණය  විශේෂයෙන්ම අපි මතක තබා ගත යුතුයි’’ යැයිද අග‍්‍රාමාත්‍යවරයා එහිදී පැවැසීය.