(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)
පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම යාමේ වයස 60 දක්වා දීර්ඝ කිරීම සම්බන්ධයෙන්වූ   පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අනිද්දා(11)විවාදයට ගැනීමට නියමිතය.

මෙම පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කම්කරු කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය  ඊයේ(9) ලැබිණ.

කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව  අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්  පාර්ලිමේන්තුවේදී අද(9)   රැස්විය.

එසේම කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පතටද  කාරක සභාවේ අනුමැතිය මෙහිදී  ලැබිණ.

මෙම පනත් කෙටුම්පත මගින් පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීම අරමුණු කර  ඇත. මෙතෙක් පෞද්ගලික අංශයේ සේවය කරන බොහෝ සේවකයින්ගේ විශ්‍රාම ගැනීමේ අවම වයස් සීමාවක් නියමකර නොතිබුණ. බොහෝ විට පෞද්ගලික අංශයේ සේවකයන් විශ්‍රාම ගැන්වීම සඳහා පාදක කර ගනු ලැබුවේ සේව්‍ය, සේවක දෙපාර්ශ්වය අතර ඇති කරගන්නා ගිවිසුමේ සඳහන් කොන්දේසීන්ය.

මෙම උපදේශක කාරක සභා රැස්වීමට  රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න,  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන  ඩබ්ලිව් ඩී ජේ  සෙනෙවිරත්න, වඩිවේල් සුරේශ්, අශෝක ප්‍රියන්ත සහ වී. රාධක්‍රිෂ්ණන් යන මහත්වරුද සහභාගී වූහ.