(ජයන්ත සමරකෝන්)

බූස්ස විශේෂිත බන්ධනාගාරයේ රඳවා සිටින ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවකු වන 'වෙලේ සුදා' නැමැත්තාගෙන් සිය විවාහ මංගලෝත්සවය සඳහා මත්පැන් බෝතල් තොගයක් ලබාගත් බව කියන එම බන්ධනාගාරයේ ජේලර්වරයකු සම්බන්ධයෙන් බන්ධනාගාර මූලස්ථානය වාර්තාවක් කැඳවා ඇතැයි එහි ප්‍රකාශකයෙක් ලංකාදීපයට අද(11) පැවසීය.

අම්බලන්ගොඩ පදිංචිකරුවකු වන මෙම ජේලර්වරයා 'වෙලේ සුදා' නමැත්තාගෙන් විස්කි බෝතල් 100ක් පමණ ලබාගෙන ඇති බවට ලැබුණු තොරතුරක් මත මෙම පරීක්ෂණය ආරම්භ කර ඇතැයි පැවසේ.

මේ පිළිබඳව බූස්ස අධිකාරීවරයා විසින් පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශය මගින් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි දැනගන්නට තිබේ.

මරණ දඬුවම නියම වී සිටින 'වෙලේ සුදා' නැමැත්තා වැලිකඩ සිට බූස්ස බන්ධනාගාරය වෙත මාරුකරනු ලැබුවේ මීට මාස 3කට පෙරය.