(ක.ග.කරුණාරත්න)

ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දියබෙදුම,පහේ කණුව ගම්මානයට කඩා වැදුණු වල් අලි රංචුවක්  නිවෙසකට සහ ගෙවතු වගාවලට හානි සිදුකර ඇතැයි ගම්වාසීහු අද පැවැසූහ.

පෙරදින රාත්‍රියේ ගමට පැමිණි මෙම අලි නිවෙසක ඉදිරිපස කොටස මුළුමනින් කඩා බිඳ දමා තිබෙන අතර පල දරමින් තිබෙන කෙසෙල් වගාවත් අස්වනු නෙලීමට ආසන්න තත්වයේ පවතින ලොකු ළුෑණු වගාවක්ද අලින්  පාගා පොඩිකර දමා තිබේ.

නිවෙස්වල ගබඩාකර තිබෙන වී අස්වනු ආහාරයට ගැනීමට මහත් ගිජුකමක් දක්වන මෙම අලි එසේ පැමිණ නිවෙස්වලට හානි සිදුකරන බව එම ජනතාව කියා සිටියහ.

මින්නේරිය ගිරිතලේ ස්වභාව රක්‍ෂිතයේ සහ මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වෙසෙන වන අලි මෙසේ රාත්‍රී කාලයට ආහාර සොයා ගම්මානවලට පැමිණෙන බවත් බොහෝ අවස්ථාවල පසුදා පහන්වන තෙක්ම ගම්මානය තුල සැරිසරන බවද ඔවුහු පෙන්වා දුන්හ.

මේ දිනවල දිනපතාම පාහේ රාත්‍රී කාලයේ මෙම අලි හිරිහැර තිබෙන බවත් එම පීඩාවන් වළක්වාලීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද ගම්වාසීහු වැඩිදුරටත් පැවැසූහ.