(ඩයනා උදයංගනී)

දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල පවතින වැසි තත්වය හෙට (9) සහ අනිද්දා (10) දිනවල දී වැඩිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශවල තද සුළං ද හමායන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව එම ප්‍රකාශකයා කීවේය.

ඌව සහ නැගෙනහිර පළාත්වලත්, මුලතිව් දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියා කරන්නැයි ජනතාවට දැනුම්දීමක් කරන බව ද ඔහු පැවසීය.