( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
කුරුණෑගල නගර මධ්‍යයේ පවතින ඓතිහාසික බුවනෙකබා රාජ සභා මණ්ඩපය කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ  නියෝගයක් නිකුත් කරන ලෙසත් , තමාට එරෙහිව නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක වීම බලරහිත කරන්නැයි ඉල්ලා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ සහ නාගරික ඉංජිනේරු චමින්ද බණ්ඩාර අධිකාරි යන මහත්වරුන් අභියාචනාධිකරණය හමුවේ අද  (11) රිට් පෙත්සම් දෙකක් ගොනු කළහ.

තමා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබා ගෙන ඇති බව ජනමාධ්‍ය මඟින් දැනගන්නට ලැබුණු බවත් , එය නීතීයට පටහැනි බැවින් එම වරෙන්තු බලරහිත කරන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මෙම රිට් පෙත්සම් ගොනු කරනු ලැබ ඇත.

පෙත්සම් හි වගඋත්තරකරුවන් ලෙස කුරුණෑගල පොලිස් ස්ථානාධිපති කපිල අධිකාරි , රංජිත් කුලතුංග , වැඩබලන පොලිස්පති , පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ඇතුක්‍ පිරිසක් නම් කරනු ලැබ සිටිති.