(+++ සුජිත් හේවාජුලිගේ සහ මනෝප්‍රිය ගුණසේකර)
ප්‍රශ්නගත බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර දින දෙකකට ආසන්න කාලයක් ගතවී ඇති ඇතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට ඔහු තවමත් අත්අඩංගුවට ගැනීමට හැකි වී නැත.
රවී කරුණානායක මහතා අත්අඩංගුවට ගැනීමට මේ වන විට විශේෂ පොලිස් කණ්ඩායම් හයක් යොදවා සිටින අතර එම කණ්ඩායම් කරුණානායක මහතා බත්තරමුල්ලේ රජමල්වත්තේ නිවස හා තවත් ස්ථාන කිහිපයක් ඊයේත් (8) පෙරේදා (7) පරීක්ෂා කර ඇතත් ඔහු ඒ ස්ථාන වල සිට නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප‘යට පැවසීය.
පරීක්ෂා කෙරුණු අනික් ස්ථාන වන්නේ රවී කරුණානායක මහතා නිතර යන එන තැන්ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් රවී කරුණානායක මහතාගේ බත්තරමුල්ල රජමල්වත්තේ නිවසට මුල් වරට ගොස් තිබුණේ පෙරේදා (7) උදේ 7.00 ට පමණය.
විනාඩි 45 ක් පමණ නිවසින් පිටත රැඳී සිට ඇති එම නිලධාරීන් පසුව නිවසට ඇතුළු වී පරීක්ෂා කර තිබුණත් කරුණානායක මහතා ඒ අවස්ථාවේ නිවසේ සිට නැත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් දෙවැනි දිනයටත් රජමල්වත්ත නිවසට පැමිණයේ ඊයේ 98) පෙරවරුවේය.
එහෙත් රවී කරුණානායක මහතා සිට නැති හෙයින් නිලධාරී කණ්ඩායම් විනාඩි 20 ක් පමණ එහි ගතකර හිස් අතින්ම පිටව ගොස් තිබිණැයි පොලිස් ආරංචි මාර්ග වලින් පැවසේ.
මේ අතර මහ බැංකු සිද්ධිය සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටින අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ද මෙම විමර්ශන කණ්ඩායම් කටයුතු කරගෙන යන බව පවසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනයේ සභාපති අර්ජුන් ඇලෝසියස් මහතාගේ නිවෙසක් ද කිහිපවරක්ම පරීක්ෂා කළ බව සඳහන් කරයි.
2016 වසරේ සිදුවූ මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතා ඇතුළු දස දෙනෙකු අත් අඩංගුවට ගන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් ඉකුත් 6 වැනිදා වරෙන්තු නිකුත් කරනු ලැබීය.
ඒ නීතිපති දප්පුල ද ලිවේරා මහතාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත්වරයාගෙන් කළ ඉල්ලීමක් අනූවය.
වරෙන්තු නිකුත් වී මේ වනවිටත් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී සිටින අනෙකුත් සැකකරුවන් වන්නේ හිටපු මහ බැංකු අධිපති අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනයේ සභාපති අර්ජුන් ඇලෝසියස්, එහි විධායක නිලධාරී කසුන් පළිසේන ඇතුළු පිරිසක්ය.
මේ අතර රවී කරුණානායක මහතා නීතිඥයන් මාර්ගයෙන් බාරවීමට සූදානම් වන බවට ද ඊයේ ආරංචි පැතිර යමින් තිබිණි.

COMMENTS
පුහුල් හොරා කරෙන් දැනෙයි. හොරකම් කළේ නැතිනම් මොකද උසාවියට බය ?
වැරදි නැතිනම් ඇයි බය...!!!
මෙලහකට ඇති මැදමුලනේ...... එහෙට හොයන්න යන්න.
සිරිට සහ හිටපු ආණ්ඩුවට මිනිස්සු කිව්වේ පතෝලයින් වගේ වැඩ කරන්න කියලනේ... දැන් ඉන්න අයත් ඊට අන්තයිනේ බලන් ගියාම... නගරසභා දෙනවා. ආයේ අකුලා ගන්නවා. ගිවිසුම් අහෝසි කරනවා කියලා බොරුවට ටික කාලෙකට යට ගහනවා. මේකත් එහෙමයි.
මහේන්ද්‍රන් ගාවන්නේ නැතිනම් සූත්තර පුංචා ගාව... නිකන් විකාර කියවන්න එපා.
අපේ පොලිසියට වෙන ඕනේ හොරෙක් ඉක්මණින්ම හොයාගන්න පුළුවන් වුණත් දේශපාලුවන් හැන්ගුණාම නම් හොයාගන්නම බැහැ.
මේ විශේෂ කණ්ඩායම් 6ම හොයාගෙන හිටියා... මාසයක් හොයාගන්න බැරි වුණා. ඊට පස්සේ ඇප ලැබුණා.
අපරාදේ කියන්න බැහැ අපේ මේ මහජන ආරක්ෂාවට තිබෙන දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරීන් අති දක්ෂයන්. එහෙම නැත්නම් රවී ග්‍රහයාට BMW හැදිලද, කොරෝනා හැදිලද දන්නේ නැහැ. අත්අඩංගුවට ගන්න ළඟට යන්න ඕනෑනේ.., ළඟට ගියොත් ලෙඩ හැදෙනවා..
අයියෝ, බයේ හැංගෙන්න එපා... අපේ ජනාධිපතිගෙන් උපදෙස් ගන්න. ඒ මනුස්සයා කීපාරක් නඩුවලින් බේරි බේරි හිටියද?
වත්තක අඹයක් කැඩුවොත් මෙලහකට කුදලාගෙන ගිහින් අඬුකඩලා! අනේ මෙහෙමත් රටක්...!!!
රවී රකින්නේ මේ ආණ්ඩුව. රනිල් රකින්නෙත් ආණ්ඩුව. මේ නිසාම රවී හැංගිලා ඇත්තේ රවීට රැකවරණය දෙන්නේ රජයේ ප්‍රබලයින්මයි. අත්අඩංගුවට ගන්න නීතිපති උපදෙස් දුන්නේ මැතිවරණයක් ප්‍රකාශ කලාට පස්සේ. ඇයි ඒක කලින් නොකළේ? මේවා ඡන්දෙදි මිනිස්සු ගොන්නුන්ට අන්දන්න කරන රගපෑම්. දේශපාලන ඩීල්.
රවී නීච වෙලා. රනිල් (රාහු ) සජිත්ව ගිලලා.
ඒ කියන්නේ ඒ ගේ හැර තවත් ගෙවල් ඇති...
සිතාසි නිකුත් කරන්න කලින් පත්තර කාරයින්ට කියන්න අද 2.30ට සිතාසි නිකුත් කරන්න යනවා කියා. ඉතින් හොරුන්ට හැංගෙන්න කියන කලින්ම කියන නිසා හැංගෙන්න ලෙහෙසියි...
රවී විතරක් නෙමෙයි රනිල් ලොක්කවත් ඇතුඅළට ගන්න. මහබැංකු හොරකමට මේ දෙන්නම සම්බන්ධයි.
රවී ශුවර් එකට ඉන්නේ මර්වින් සිල්වා දන්න තැනක වෙන්න බැරිද?
හැංගිලා නෙමයි. මගුල් ගෙදරක ගිහිල්ලා.
ඔව්වා නිකන් අපි, ජනතාවට දාන ඡන්ද ගුණ්ඩු.. අද වෙනකන් කිසිම රජයක්, කිසිම හොරෙක් ත්‍රස්තවාදියෙක් අල්ලලා.. සිරගත කරලා නැහැ. එ්කට හේතුව තමයි. මේ හැමෝගේම කිල්ලෝටවල හුණු..! මේකත් ඔය අහසින් වැටුණු මැණික් මල්ල වගේ කතාවක්...!
ඕක තමයි දිට්ඨධම්මවේදනීය කර්මය කියන්නේ...
යහපාලන ඇමතිවරුන්ගේ තරම.... හොරකම් කළේ නැත්නම් මොකටද හැංඟෙන්නේ?. පාස්කු ප්‍රහාරය ගැන තිබුන කොමිසමේත් හිටිය නේද මේ හැඩය.. යහපාලන ආණ්ඩුව කොපමණ සැහැල්ලුවටද අරගෙන තිබුනේ නීතිය හා ආරක්ෂාව. නැත්නම් මේවගේ හොරෙක්ව පත්කරයිද ?
ඕවා මොනාද? පොලීසියට හොයාගන්න බැරි කෙනෙක් බිග් මැච් එකටත් ගිහිල්ලා හිටියේ ආරක්ෂක ලේකම් එක්ක.
මහජන මුදල් නාස්ති නොකරනු... කණ්ඩායම් 6ක්..
අත්අඩංගුවට ගන්න එනවා කියලා පුවත්වලටත් කියලා ප්‍රසිද්ධ කරලා, ඊට පස්සේ අල්ලන්න යනවා. අපිව ගොනාට අන්දවන්න කරන්නේ... වැඩිම වුණොත් මෙයා පොලීසියට බාර වෙයි. එතකොටම හොඳටම අසනීප වෙනවා. හොස්පිටල් යනවා. ටික දවසකින් ඇප දෙනවා. ලෙඩ හොඳ වෙනවා. එතැනින් පස්සේ කාටවත් මතක නෑ. එතැනින් ඩ්‍රාමා එක ඉවරයි..
මේ මහත් -හොරු.
රාජිතගේ නාඩගම නැවත වරක් වෙන නමකින්.
පොල් ගෙඩි කිහිපයක් හොරකම් කරලා තිබුණා නම් ඉතින් මේ වෙද්දී හොයාගෙන...
මේක හරියට පුංචි කාලේ හොරා පොලිස් සෙල්ලම් වගේ. ඒ ගොල්ලෝ මේ ගොල්ලන්ව අත්අඩංගුවට ගන්නවා. මේ ගොල්ලෝ එ් ගොල්ලන්ව අත්අඩංගුවට ගන්නවා. පසුව එක්කෝ නඩුව අස්කරගන්නවා. නැත්නම් නිදොස්කොට නිදහස් වෙනවා. වැරදිකරුවන් වෙලා දඬුවම් ලැබුණු කවුරුත් නැහැ. මේ නාට්‍ය දිහා බලන්න හැංගිලා ඉන්නවා. උසාවියට බාරවෙනවා. එතැනින් රෝහල්ගත වෙනවා. ක්ෂණික ඇප ලැබනවා...
කොහොමද ඉතින් අර්ජුන් මහේන්ද්‍රන්ව අල්ලන්නේ? අපේ රටේ ඉන්න කෙනෙක්ව අල්ලන්න බැරිනම්... මේවා රට්ටු හිනස්සන දේවල් නේද? මිනිස්සුන්ට දැන් මේවා දැකලා ඇතිවෙලා...
රවීව අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කළ අයගෙන් අහන්න.
කාලෙන් කාලෙට එක එක නාඩගම්. යහපාලනේ තිබ්බ කාලෙත් ඔය වගේ නාඩගම් නැටුවේ... එක හොරෙක්වත් ඇල්ලුවද? මේවත් ඡන්ද කාලේ මිනිස්සුන්ට විනෝද කරන සිඟිති නාඩගම්... ඕවට අහුවෙන අය ලංකාවේ මිලියන ගණන් ඉන්න නිසා... හැබැයි හොරාකන්නන් ඔක්කොම හොරාකන්නේ එකට... ඒවා බෙදාගන්නේ සමසේ... ඉතින් කවදාවත් ඕවා උසාවියක ඔප්පු කරන්නේ නම් නෑ. ටිකක් මිනිස්සුන්ට අාතල් දෙන්න ටික දවසකට බන්ධනාගාර රෝහලට යැව්වොත් මිසක්...
මේ බැඳුම්කර වංචාවේ මහා මොලකරු වන රනිල් හාමුව මගඇරලා පොඩි හාල්මැස්සන්ව අල්ලන්නේ රාජපක්ෂ රනිල් නිසා නේද?
ජනතාව නීතිය අතට ගත යුතුය. මේ වගේ අපරාධ කාරයින් අල්ලා ගත යුතු නම් මාධ්‍ය සංදර්ශන නවතා අවශ්‍ය දේ ක්‍රියාත්මක කළ යුතුයි. රනිල්වද අත්අඩංගුවට ගත යුතුයි.
වරෙන්තු තුන හතර නිකුත් කරපු අය මේ කාලේ බිග්මැච් වලට එනවා. එයාගේ ඉස්කෝලේ බිග්මැච් එක දවසට පඳුරකට මුවාවෙලා හිටියොත් අල්ලගන්න පුළුවන් ශුවර්...
ඕක තමයි ලංකාවේ නීතිය, අනේ වැඳලා කියන්නේ එල්ලුම් ගහ ගේන්නම ඕනෑ. එතකොට ඔය අඹ කඩන, පොල්කඩන මනුස්සයින් ටිකවත් සන්තෝෂ වේවි.. දන්නවනේ එල්ලුම් ගහට කෙලින්ම නගින්න හැකි බව... ඔය ඉස්පිරිතාලවල, කුස්සිවල, කෝල් එනකන් රස්තියාදු වෙන්න ඕන නැතිබව... අනේ පවු අර අසරණ මිත්‍රයා පෙර කරපු පවකට වන්දි ගෙවනවා. ඔහු අඹ කඩන, පොල්කඩන කණ්ඩායම සමග ගේම් ගහපු කෙනෙක්. පුදුමේ තමයි මේ හැංගිච්ච හැංගිල්ලට ජාත්‍යන්තර සම්මානයක් දෙන්නේ නැතිඑක...
ඕකත් හරියට අර "විනෝද සමය" වැඩ සටහනේ තිබුණු ආණ්ඩුවේ කන්තෝරුවේ වැඩ පරීක්ෂා කරන්න යවන "කඩා පනින හමුදාවේ" කතාව වගෙයි. එම වැඩසටහනේ කිව්වේ " කඩා පනින හමුදාව එන්න කලින් වෙනත් කඩා පනින හමුදාවක් කඩා පැනලා ඒ ආරංචිය දන්වනවා" කියලයි. එ් කතාව වගේ අත්අඩංගුවට ගන්න බව කලින් ප්‍රසිද්ධ කරලා අල්ලන්න ගියාම ගෙදර හිටියා නම් තමයි පුදුමේ. මේ ගැන මෙන්න මෙහෙම කතාවක් අන්තර්ජාලයේ තියෙනවා දැක්කා. උපුටාගැනීම "ගතවූ පැය 72ක් තුළ රවී උච්ඡ වී ජාතික ආරක්ෂාව 100%කින් තහවුරු කළ බවට පම්පෝරි ගසමින් සිටි ආණ්ඩුව නීච වී ඇති බවක් පෙන්නුම් කරයි" උපුටාගැනීම අවසන්...