(චන්ද්‍රසේන ගමගේ)

ජාතික පාසැල් දහසේ ව්‍යාපෘතියට යෝජිතව තිබූ වීරකැටිය උඩයාල මහා විද්‍යාලය  එම ව්‍යාපෘතියෙන් ඉවත් කිරීමට විරෝධය පළකරමින් පාසැලේ දෙමාපියන් විසින් ආරම්භ කොට ඇති අඛන්ඩ සත්‍යග්‍රහය තෙවැනි දිනටත් අද  (14) දිනය පුරා පැවැත්විණි.

ඉකුත් 12 දින පාසැලේ සිසුන් පිරිසක් හා දෙමාපියන් පිරිසක් උඩයාල මංසන්ධියේදී විරෝධතාවයක්ද පැවැත්වූහ.අනතුරුව විද්‍යාලය ඉදිරිපිට අට්ටාලක් ගසා දෙමාපියන් විසින් අඛන්ඩ සත්‍ය ග්‍රහය ඉදිනම ආරම්භ කරනු ලැබීය.සත්‍යයක් ග්‍රහයට කාන්තාවන් තිදෙනෙකු හා ප්‍රදේශයේ තරුණයෙකුද ඊයේ දිනයේදී සහභාගි වී සිටියහ.

 තරුණයා දින තුනක් තිස්සේ ආහාර ප්‍රතික්ෂේප කරමින් විරෝධයේ යෙදෙන බව විරෝධතාවයට එක් වූවෝ පවසති.

විරෝධතා කරුවන් පවසන්නේ සියළු සුදුසු කම් සපුරා තිබියදී උඩයාල මහා විද්‍යාලය ජාතික පාසැල් ලේඛනයෙන් ඉවත් කොට ඇත්තේ දේශපාලන බලපෑම් මත බවයි.උඩයාල මහා විද්‍යාලය ජාතික පාසැල් දහසේ ව්‍යාපෘතියට ඇතුලත් කරන තෙක් තම විරෝධතාවය පවත්වන බව විරෝධතා කරුවෝ පවසති.

විරෝධතා කරුවන් හමුවට පැමිණි වීරකැටිය පොලිස් ස්ථානාධිපති වරයා පැවසුවේ නිරෝධායන නීති උල්ලංඝණය කරමින් විරෝධතා පවත්වනු ලැබුවොත් තමන්ට නීතිය ක්‍රියාත්මක කරන්නට සිදු වෙන බවයි.

සාමකාමීව මහජනතාව පීඩනයට ලක් නොකොට තම ඉල්ලීම් දිනා ගන්නා ලෙසට පොලිස් ස්ථානාධිපතිවරයා විරෝධතා කරුවන්ට දැන්වීය.