(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් පසු ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අමුත්තන් සඳහා ලබාදුන් තේ පැන් සංග්‍රහය සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් වර්ජනය කර ඇත.

මෙම තේ පැන් සංග්‍රහය ඊයේ පෙරවරුවේ පැවැත්වුණේ පාර්ලිමේන්තු භෝජනාගාරයේදීය. තේ පැන් සංග්‍රහය වර්ජනය කළ සෙසු දේශපාලන පක්ෂ වන්නේ ජනතා විමුක්ති පෙරමුණ සහ  දෙමළ ජාතික සන්ධානයයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ  රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මඟින් ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් යෝජනා කිසිවක් ඉදිරිපත් නොකෙරුණ හෙයින් ජනතාවගේ පැත්තෙන් සිතා එම තේ පැන් සංග්‍රහය වර්ජනය කළ බවයි.

එම ප්‍රතිපත්ති ප්‍රකාශනය හුදු ප්‍රකාශනයක් පමණක්වූ බවද හෙතෙම සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අප ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී  ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගෙන් කළ විමසුමකදී ඇය සඳහන් කළේ තම පක්ෂය එම තේ පැන් සංග්‍රහයට සහභාගී නොවීමට තීරණය කළ බවයි.

උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට කිසිදු විසඳුමක් එම ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ඉදිරිපත්  නොකෙරුණු හෙයින් තේ පැන් සංග්‍රහය වර්ජනය කළ බව දෙමළ ජාතික සන්ධානයේ මඩකළපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෝවින්දන් කරුණාකරන් මහතා  ප්‍රකාශ කළේය.