(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

වනාතවිල්ලුව කුරටියාමොට්ට ප්‍රදේශයේ සිමෙන්ති සංස්ථාවට අයත් භූමියක සිදු වූ වන සංහාරය පිළිබඳව සොයා බැලීම සඳහා වනජීවි ඇමැති පැමිණි රැස්වීමට සහභාගී වීම තහනම් වීම හේතුවෙන් රැස්වීම පැවති  වනාතවිල්ලුව පොලිසිය ඉදිරියට වී සිටීමට මාධ්‍යවේදීන්ට සිදුවිය.
 
මෙම වන සංහාරය පිළිබදව මාධ්‍ය දිගින් දිගටම හෙළිදරව් කිරීමෙන් පසු ඒ පිළිබඳව සොයා බැලීමට වනජීවි හා වන සංරක්ෂණ ඇමති සී.බි.රත්නායක මහතා ඇතුළු නිලධාරින් රැසක ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම වනාතවිල්ලුව පොලිසියේ දී පැවැත්විණි. රැස්වීම පළමුව වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවිධානය කර තිබුනද එය හදිසියේ පොලිස්ථානට රැගෙන ගොස් තිබුණි.
 
රැස්වීම සඳහා වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්, වනජීවි අධ්‍යක්ෂ ජනරාල්, පරිසර අමාත්‍යංශය, මධ්‍යම පරිසර අධිකාරිය, සිමෙන්ති සංස්ථාව, ප්‍රාදේශීය ලේකම්, පුත්තලම නියෝජ්‍ය පොලිස්පති, පුත්තලම පොලිස් අධිකාරි  වනාතවිල්ලුව පොලිස්ථානාධිපති, වනාවිල්ලුව ප්‍රාදේශීය සභාපති ඇතුළු පිරිසක් එක්වසිටියහ.
 
මාධ්‍ය වේදීන් පැමිණි අවස්ථාවේදී පොලිසියේ දොරටු වසා දමා තිබූ අතර, පසුව ප්‍රධාන දොරටුව විවෘත කළද, රැස්වීම ආවරණය කිරීමට ඔවුන්ට අවස්ථාව නොලැබිණි.
 
මේ පිළිබඳව සී.බි.රත්නායක ඇමතිවරයාගෙන් මාධ්‍යවේදීන් කළ විමසීමේදී, ඒ මහතා පවසා සිටියේ මාධ්‍යයට ගරු කරන නමුත් රැස්වීමේ ඇතැම් කරුණු මාධ්‍යයට ලබාදිය නොහැකි බවයි.