IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


විදේශිකයෝ 2000කට වැඩි පිරිසක් වූහාන්හි තවමත් සිරවෙලා

මාරාන්තික කොරෝනා වයිරසය හේතුවෙන් විදේශිකයන් දෙදහස් ගණනක් ද ඇතුළුව මිලියන ගණනක ජනතාව මේ වනවිට වූහාන් නගරයේ සිරවී සිටිති.

සාර්ස් වර්ගයට සමාන වයිරසයක් වන මෙම නව කොරෝනා වයිරසය හේතුවෙන් මියගිය ගණන මේ වනවිට 213 ඉක්මවා ගොස් තිබේ. 2002-2003 කාලයේ ලොව පුරා ව්‍යාප්ත වූ මාරාන්තික සාර්ස් වයිරසය ආසාදනය වූ පිරිසද ඉක්මවා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. 

නව කොරෝනා වයිරසය 10,000කට පමණ ව්‍යාප්ත වී ඇතැයි චීන ජාතික සෞඛ්‍ය කොමිසම අද (31) නිවේදනය කළේය. චීනයෙන් පිටත මැකාවූ සහ හොංකොං වෙතින් කොරෝනා ආසාදනය වූ සිදුවීම් 80ක් වාර්තා වී ඇතැයි ද එම කොමිසම සඳහන් කළේය. 

මෙම වයිරසය ව්‍යාප්ත වීම ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. මේ වනවිට එම නගරයේ විදේශිකයන් දහස් ගණනක් සිරවී සිටින අතර ඔවුන් මුදාගැනීම සඳහා එම රටවල් යුහුසුළුව ක්‍රියාකරමින් සිටිති.

ඕස්ට්‍රේලියාව

වූහාන් හි සිට ඕස්ට්‍රේලියානු ජාතිකයන් සියලු දෙනා මුදාගැනීම සඳහා සැලසුම් සකස් කරමින් සිටින බව එරට විදේශ අමාත්‍යාංශය අඟහරුවාදා නිවේදනය කළේය. ඉන් බොහෝදෙනා ද්විත්ව පුරවැසියන් බව ද වාර්තා විය. මුදාගන්නැයි ඉල්ලමින් ඔස්ට්‍රේලියානු ජාතිකයන් 400කගෙන් පමණ දුරකතන ලැබුණු බව ද චීන බලධාරිහු පැවැසූහ.

ඕස්ට්‍රේලියානු කොන්සියුලර් කාර්යාලයක් වූහාන්වල නොමැති අතර වූහාන්වලින් සිය වැසියන් මුදාගැනීම සඳහා චීන බලධාරීන් සමඟ රජය සාකච්ඡා පවත්වන බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා පැවැසීය.

නිලධාරීන් ඇමෙරිකා එක්සත් ජනපද සහ බ්‍රිතාන්‍ය සමඟ ද සාකච්ඡා පවත්වන බවත් නවසීලන්තය සමඟ ද සමීපව කටයුතු කරමින් ඒකාබද්ධ මුදාගැනීමේ ක්‍රියාමාර්ගයක් කෙරෙහි අවධානය යොමු කර ඇති බවත් හෙතෙම කීය.

බංග්ලාදේශය

බංග්ලාදේශ ජාතිකයෝ 361 දෙනෙක් වූහාන්වල සිරවී සිටිති. ඔවුන් මුදාගැනීම සඳහා ‘බිමාන් බංග්ලාදේශ් එයාර්ලයින්ස්’ අයත් විශේෂ ගුවන් යානයක් චීනයට යවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු වන මයිදුල් ඉස්ලාම් පැවැසීය. අනෙක් බොහෝ රටවල් මෙන්ම බංග්ලාදේශය නැවත ගෙන්වා ගන්නා පිරිස දවස් 14 නිරෝධායනයට ලක් කිරීමට තීරණය කර ඇත. 

ඉන්දියාව

ඉන්දීය ජාතිකයන් මුදාගැනීම සඳහා විශේෂ ගුවන් යානා දෙකක් වූහාන් වෙත යැවීමට චීන රජයෙන් අවසර ඉල්ලූ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ බදාදා සඳහන් කළේය. එමෙන්ම බීජිංහි ඉන්දීය තානාපති කාර්යාලය හුබෙයි පළාතේ සහ වූහාන්වල චීන බලධාරීන් සමඟ සාකච්ඡා කරන බව ද එම අමාත්‍යාංශය නිවේදනය සඳහන් කළේය.

කරන ඉල්ලීම්වලට අවසර ලැබුණු බවත් ‘එයාර් ඉන්දියා’ ගුවන් සේවයට අයත් බෝයිං 747 ගුවන් යානයක් අද (31) වූහාන් වෙත පිටත වූ බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඉන්දුනීසියාව

ඉන්දුනීසියානු ජාතිකයන් 230කට වැඩි පිරිසක් චීනයේ සිටින බවත් 100කට වැඩි පිරිසක් වූහාන්වල සිටින බවත් ඉන්දුනීසියානු බලධාරීහු කීහ. ඉතිරි පිරිස හුබෙයි පළාතේ විවිධ ප්‍රදේශවල සිටින බව ඔවුහු කීහ. තවමත් මුදාගැනීමේ සැලැස්මක් ගැන තීරණය කර නැතැයි එරට විදේශ කටයුතු අමාත්‍යාංශය අඟහරුවාදා සඳහන් කළේය.

ජපානය 

වූහාන් නගරයෙන් තම ජාතිකයන් මුදාගත් පළමු රටවල් අතරට ජපානය එක්විය. සිකුරාදා වනවිට විශේෂ ගුවන් යානා තුනක් යවමින් ජපන් ජාතිකයන් 550 දෙනකු නැවත සිය රටට ගෙන්වා ගැනීමට ජපානය සමත්විය. ජපානයට ගෙන්වාගත් පිරිසෙන් 40කට ආසන්න පිරිසක් රෝහල් ගත කර ඇතැයි ද වාර්තා විය. ගෙන්වාගත් බොහෝ දෙනා මේ වනවිට රජයට අයත් රෝහල්වලට ඇතුළත් කර ඇති සති දෙකකට පසු ඔවුන් මුදාහරින බව පැවසේ. ගෙන්වා ගත් ඇතැම් අයට නිවස්වලට යෑමට ඉඩ ලබා දී තිබෙන නමුත් සති දෙකකට ආසන්න කාලයක් නිවෙස්වලට වී සිටින්නැයි ද ජපන් රජය ඔවුන්ගෙන් ඉල්ලීමක් කර ඇත. 

මැලේසියාව

මැලේසියානු ජාතිකයන් 78 දෙනකු වූහාන් නගරයේ සිර වී සිටින අතර ඔවුන් මුදාගැනීම සඳහා ගුවන් යානයක් යැවීමට පියවර ගන්නා බව එරට අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඞ් පැවැසීය.

පිලිපීනය

වූහාන් වෙත විශේෂ ගුවන් යානයක් යවා පිලිපීන ජාතිකයන් මුදා ගන්නා බව එරට විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළ අතර වූහාන්වල සිටින පිරිසට ෂැංහයි කොන්සියුලර් කාර්යාලයෙන් තොරතුරු ලබාගන්නැයි ද දැනුම් දී ඇත.

පිලිපීන ජාතිකයන් 150 දෙනකුට ආසන්න පිරිසක් වූහාන්වල සිටින අතර තවත් 150කට ආසන්න පිරිසක් හුබෙයි පළාතේ විවිධ ස්ථානවල සිරවී සිටිති.

සිංගප්පූරුව

වූහාන්වලින් සිංගප්පූරු ජාතිකයන් 92 දෙනකු පිටත් වූ බව සිංගප්පූරු විදේශ අමාත්‍යාංශය බ්‍රහස්පතින්දා නිවේදනය කළේය. සිංගප්පූරුවේ ලාභදායී ගු-වන් සේවයක් වන ‘ස්කූට්’ ගුවන් සේවය මගින් සිංගප්පූරු ජාතිකයන් ගෙන්වා ගත් බව එරටින් දැනගන්නට ලැබිණි.

ශ්‍රී ලංකාව

ශ්‍රී ලාංකිකයන් 860 දෙනකු චීනයේ සිටින බව විදේශ සබඳතා අමාත්‍යාංශය නිවේදනය කළේය. වූහාන් නගරයේ ශ්‍රී ලාංකිකයන් 32 කු සිර වී සිටින බවත් ඔවුන් මුදාගැනීමට පියවර ගන්නා බවත් විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළේය. 

දකුණු කොරියාව

දකුණු කොරියානු ජාතිකයන් 368 දෙනකු රැගෙන වූහාන් නගරයෙන් පිටත් වූ විශේෂ ගුවන් යානයක් අද (31) සෝල් නුවරට ළඟා විය. ඉන් 18 දෙනකු කොරෝනා වයිරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කළ නිසා රෝහල් ගත කළේ යැයි එරට බලධාරීහු ප්‍රකාශ කළහ. 

තායිලන්තය 

තායිලන්ත ජාතිකයන් මුදාගැනීම සඳහා චීනය ඉඩා සලසා දෙමින් සිටින බව එරට අග්‍රාමාත්‍ය ප්‍රායුත් චාන් ඕ චා බදාදා පැවැසීය. තායිලන්ත ජාතිකයන් 65 දෙනකු වූහාන්වල සිරවී සිටින්නේ යැයි ද හෙතෙම කීය. 

ඇමෙරිකා එක්සත් ජනපදය 

වූහාන්වලින් සිය ජාතිකයන් මුදාගැනීමට සමත්වූ පළමු රටවල් දෙක අතරට ඇමෙරිකාව එක්විය. අනෙක් රට ජපානයයි. වූහාන්වල සිර වී සිටි ඇමෙරිකානු ජාතිකයන් 240 දෙනකු රැගත් විශේෂ ගුවන් යානය බදාදා එම නගරයෙන් ඇමෙරිකාව බලා පිටත් විය. 


ඒ.එෆ්.පී. 

055



අදහස් (3)

විදේශිකයෝ 2000කට වැඩි පිරිසක් වූහාන්හි තවමත් සිරවෙලා

විජිත් Friday, 31 January 2020 11:23 AM

මෙතනදීත් බලවත් ජාතීන් සිය බලවත් බව විදහාපාමින් සිය රට වැසියන්ව මුදාගත්තා. අපේ රට වගේ "නැට්ටෝ" අන්තිමට... අපි අපිටම කියාගන්නවා.. චීනා අපේ මිත්‍රයා කියලා. නමුත් මේ වගේ අවස්ථාවකදී ඒ රාජ්‍ය තාන්ත්‍රිකබව බල්ලට දාලා.. බලවත් යයි කියන රටවල් හමුවේ චීනා නැට්ට වනලා හිස සඟවා ගන්නවා.

:       55       137

sudesh Friday, 31 January 2020 03:10 PM

බලවත්, ධනවත් රටවල් ටික ඉස්සෙල්ලම චීනාට බලය පෙන්වලා තමන්ගේ කට්ටිය ගත්තා. දුප්පත් නැති බැරි රටවල්වලට ලබන සුමානේ විතර එන්න කියයි.

:       0       31

vijitha Saturday, 01 February 2020 01:17 AM

ලංකාවත් බලවත් රටක් තමා. අපේ රටේ බලවත් ධනවත් වීරයෙකුගේ දුව ඉස්සෙල්ලම ගෙන්න ගත්තේ එයා අපිට ආඩම්බරයට ක්‍රියාවක් නොවේද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 24916 26

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18144 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10859 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 580 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 172 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 835 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site