IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


ලෝක පිළිකා දිනය අදයි

(සජීව විජේවීර) 

පිළිකාව මේ වනවිට ප්‍රධාන බෝ නොවන රෝගයක් වන අතර ලෝකය පුරා සිදුවන මරණ හතකින් එක් මරණයක් පිළිකා හේතුවෙන් සිදුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

පිළිකා රෝග පිළිබඳ දත්ත විශ්ලේෂණය කිරීමේ දී පිළිකා වැඩි වීමේ අවදානමක් දියුණු වෙමින් පවතින රටවල හා මධ්‍යම ආර්ථික මට්ටමේ පවතින හා එම තත්ත්වයට පත්වෙමින් සිටින රටවල ඇති බව පෙනී යයි.

ලෝකය පුරා පිළිකා රෝග පිළිබඳ දත්ත සපයන ''ග්ලොබෝ කෑන්" වාර්තාවට අනුව අද වනවිට ලෝකයේ පිළිකා රෝගීන් ලක්ෂ 180 ක් ඉක්මවා ඇත. එමෙන්ම තවදුරටත් හඳුනානොගත් පිළිකා රෝගීන් ලක්ෂ 40 කට අධික පිරිසක් පිළිකා සමඟ ජීවත්වන බව ද පැවසේ.

ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 100,000 කට පිළිකා රෝගීන් 106.5ක් වාර්තාවේ. ලෝකයේ සියලුම රටවල අති විශාල ප්‍රමාණයක් මේ රෝගයෙන් පෙළෙන බැවින් සෑම වර්ෂයකම පෙබරවාරි මස 04 වැනි දිනය ''ලෝක පිළිකා දිනය" ලෙස නම් කර ඇති අතර මෙම දිනයේ දී පිළිකාවලින් වැළකී සිටීම සඳහා මහජනතාව දැනුම්වත් කිරීමේ කටයුතු ලෝකය පුරා බොහෝ රටවල සිදුකරමින් පවතී.

එසේ වුව ද අප රටේ ''ජාතික දිනය" පෙබරවාරි 04 වැනි දිනට යෙදී තිබෙන බැවින් පිළිකා දිනය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුවන බව පෙනෙන්නට නැත.

2019 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා ලෝක පිළිකා දිනයන් හි තේමාව ලෙස තෝරාගෙන ඇත්තේ ''මම සහ මම කැමැත්තෙමි" යන්නයි.

පිළිකා සම්බන්ධයෙන් කිසිවක් කළ නොහැකි බවට වන සෘණාත්මක ආකල්පයට හා මාරාන්තික බවට ඇති විශ්වාසයට එරෙහි වීමට උත්සාහ කිරීමට සහ පෞද්ගලිකවම තම ක්‍රියාවන් පිළිකාවට එරෙහි ඵලදායි විය හැකි ආකාරයෙන් ප්‍රවර්ධනය කිරීම සඳහා මෙලෙස ''මම සහ මම කැමැත්තෙමි" යන තේමාව යොදාගෙන ඇත.

ඒ අනුව ලෝක පුරවැසියන් සියලු දෙනාම පිළිකාවෙන් වැළකී සිටීමටත් එය කලින් හඳුනාගෙන ඉක්මණින් සුවකර ගැනීමට හෝ මර්ධනය කරගැනීමට හෝ කටයුතු කිරීමට උනන්දුවිය යුතුය.

ඇතැම් පිළිකා වර්ග වැලඳීම අපට වළක්වාගත හැකි අතර කලින් හඳුනාගත හොත් එය වර්ධනය වීම වළක්වාගෙන සම්පූර්ණ ජීවිත කාලයම නිරෝගී ලෙස ගත කිරීමේ හැකියාව ද පවති.

ඒ අනුව පිළිකා වර්ග පහක් වැලඳීම සම්පූර්ණයෙන් අපට වළක්වා ගත හැකිය. මේ පිළිකා වර්ග පහෙන් හතරක් බහුලව වැලඳෙන්නේ පිරිමි පක්ෂයටයි.

පුරුෂ පක්ෂයට බහුලව වැලඳෙන වළක්වාගත හැකි පිළිකා වර්ග හතර වනුයේ මුඛ පිළිකාව, පෙණහලු පිළිකාව, ගලනාළ පිළිකාව, මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකාවයි.

එම පිළිකා අපේ ජීවන රටාව හා චර්යා රටාවට ඍජු ලෙස බද්ධ වී තිබෙන බැවින් චර්යාවේ හා ජීවන රටාවේ කරනු ලබන සුළු වෙනසකින් ඔබට ජීවිත කාලයම පිළිකාවලින් තොරව නිරෝගී දිවි පෙවතක් ගතකිරීමට හැකියාව ලැබෙයි.

මුඛ පිළිකාව

වර්තමානයේ ද මෙරට ජනගහනයෙන් සැළකිය යුතු ප්‍රමාණයක් බුලත්විට කති. ඒ අතරින් වැඩි පිරිස පිරිමි පක්ෂයි. බුලත් විටේ තිබෙන පුවක් සහ දුම්කොළ පිළිකා කාරක වේ. එබැවින් කාලාන්තරයක් පුරා බුලත්විට සැපීමෙන් මුඛ පිළිකාව වැලඳීමට බෙහෙවින් ඉඩ ඇත.

මත්පැන් සහ දුම්පානය ද මුඛ පිළිකාවලට තවත් හේතුවක් වේ. නමුත් එය බුලත්විට තරම් භයානක නැත. මේ බුලත්විට හේතුවෙන් වසරකට මුඛ පිළිකා රෝගීන් අලුතින් 2000 ක් වාර්තා වේ.

සියලුම ඇබ්බැහිවීම් පරදා මිනිසාගේ ජීවිතයට මරණ වරෙන්තු ගෙන දෙන්නේ දුම්වැටියයි. සක්‍රීය හෝ අක්‍රීය දුම්පානයෙන් පෙණහලු පිළිකා ඇති වීමේ දැඩි අවදානමක් පවතී. තමා දුම්පානය කිරීම සක්‍රීය දුම්පානය ලෙසත්, යම්කිසි පුද්ගලයකු දුම්පානය කිරීමේදි ඒ අසළ සිටින පුද්ගලයා ගොදුරුවන්නේ අක්‍රීය දුම්පානයටත්  ලෙසත් පැවසේ. දුම්පානයට තිත තැබීමෙන් පෙණහළු පිළිකාව වළක්වා ගැනීමට හැකි වනු ඇත.

ප්ලාස්ටික් / පොලිතීන් දහනය

ප්ලාස්ටික් සහ පොලිතීන් දහනය පෙණහලු පිළිකාවලට අත වනන තවත් සාධකයකි. ප්ලාස්ටික් පොලිතින් දහනයේදී නිකුත් වන විෂ දුමාරය පිළිකා කාරකයකි. මේ දුමට දිගු කාලයක් නිරාවරණය වීමෙන් පෙණහළු පිළිකා ඇති වේ.

ඒ හේතුව නිසා රජය විසින් පොලිතින් - ප්ලාස්ටික් දහනය තහනම් කර ඇත. පෙට්‍රල් ඩීසල් දහනය නිසා හටගන්නා විෂ වායුව ද නුසුදුසුය. රථවාහන ආශ්‍රිත රැකියාවල නියුක්තිකයන් ගරාජ්වල සේවය කරන්නන් මෙන්ම මුළුතැන්ගෙයි දර ලිප් භාවිතයෙන් ආහාර පිසින ගෘහිණියට ද පෙණහලු පිළිකා අවදානම පවතින බව සෞඛ්‍ය අංශය සිදුකරන ලද සමීක්ෂණවලින් වාර්තා වී ඇත.

ගලනාළ පිළිකා

වසරකට ගලනාළ පිළිකා රෝගීන් 1200 ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වේ. බුලත්විට, මධ්‍යසාරය, දුම්පානය මේ ඇබ්බැහිවීම් තුනම ගලනාළ පිළිකාවලට හේතු වන බැවින් එයින් වැළකී සිටීමෙන් ගලනාළ පිළිකාවෙන් ආරක්ෂා විය හැකිය.

මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා

අපගේ අක්‍රමවත් ආහාර රටාව මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකාවට ප්‍රධාන හේතුවකි. වත්මන් සමාජය බෙහෙවින් පරිභෝජනය කරන ක්ෂණික ආහාර (Junk Food) හේතු වේ. විශේෂයෙන් බාගෙට පිසින ලද (pre cook) සොසේජර්ස්, මීට් බෝල්ස්, හැම් බේකන්, මස්, ඌරුමස් ආදියත් පේස්ට්‍රි, සබ්මැරින්, හොට් ඩෝග්ස්, කොත්තු, ෆයිඩ් රයිස් ආදිය නිතර ආහාරයට ගන්නා අය මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා වැලඳීමේ අවදානම තිබෙන පිරිසයි. වසරකට මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා රෝගීන් 1200ක් වාර්තා වේ.

දිනකට ලීටර් 2 1/2 - 3 අතර ප්‍රමාණයක් ජලය පානය කරන, කෙඳි සහිත ආහාර, පලා වර්ග, එළවළු වර්ග, නැවුම් පලතුරු ආදියත් රතුහාලේ බත් ආදිය ආහාරයට ගන්නා අයට බොහෝ සෙයින් මහා ආන්ත්‍රික පිළිකා අවදානමින් මිදිය හැකියාව ලැබේ.

කාන්තාවන්ට වැලඳිය හැකි පිළිකා

කාන්තාවන්ට වැලඳිය හැකි පිළිකා අතර ප්‍රධාන තැනක් උසුලන්නේ පියයුරු පිළිකාවය. දෙවැනි ස්ථානය ගැබ්ගෙල පිළිකාවද, තෙවැනි ස්ථානය තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකාව ද සතරවැනි ස්ථානය ඩිම්බ කෝෂ පිළිකාවද වේ.

පියයුරු පිළිකාව

මෙය කාන්තාවන්ට බහුලව වැලඳෙන පිළිකාවයි. පියයුරු පිළිකාව වළක්වාගත නොහැකිය. එසේ වුව ද  කලින් හඳුනා ගැනීමෙන් සුව කළ හැක.

විශේෂයෙන් වයස අවුරුදු 20 සිට පියයුර වෙනස්වීම්වලට භාජනය විය හැකි බැවින් අවුරුදු 20 පටන් කණ්ණාඩිය ඉදිරියට ගොස් ස්වයං පියයුරු පරීක්ෂාවේ යෙදීමෙන් පියයුරුවල සිදුවන වෙනස්කම් හඳුනාගත හැකිය. තවද ලංකාව පුරා සියලු රජයේ රෝහල්වල තිබෙන සුවනාරි සායනයකට ගොස් නොමිලේ පියයුරු පරික්ෂා කර ගත හැක. සියලු නගර සහ ග්‍රාමීය කොට්ඨාසවල තිබෙන සෞඛ්‍ය නිලධාරි කාර්යාලවලද පියයුරු පරීක්ෂණය නොමිලේ සිදුකෙරේ.

ගැබ්ගෙල පිළිකා

අනාරක්ෂිත ලිංගික හැසිරීම් සහ බහු පුරුෂ සේවනය නිසා ගැබ්ගෙල පිළිකාව ඇතිවිය හැකිය. අනාරක්ෂිත ලිංගික සබඳතා නිසා හියුමන් පැපිලෝමා වෛරසය (HPV) දිගු කාලයක් ගැබ්ගෙල රැඳී පැවතීම නිසා මෙම තත්ත්වය උදාවේ. ගැබ්ගෙල පිළිකාව යනු වළක්වාගත හැකි පිළිකාවක් බැවින් අනාරක්ෂිත ලිංගික හැසිරීම්වලින් වැළකී විශ්වාසවන්ත පුද්ගලයකු සමඟ පමණක් ලිංගික කාර්යයේ යෙදීම මෙය වළක්වා ගැනීමට හොඳම පියවරකි.

පැප් පරීක්ෂණයෙන් ගැබ්ගෙල පිළිකා හඳුනාගත හැකිය. අවු 35 - 45 දක්වා ලිංගික සක්‍රීය කාන්තාවන්ට පැප් පරීක්ෂණය සිදු කිරීමට අවශ්‍ය වේ.

ගැබ්ගෙල පිළිකාවෙන් කාන්තා පරපුර ආරක්ෂාකරගැනීම සඳහා පාසල් මට්ටමින් වයස අවු 12 දී HPV එන්නත ගැහැණු දරුවන්ට ලබාදේ. රෝහල්වල සුව නාරි සායනවල සහ සෞඛ්‍ය නිලධාරි කාර්යාලවල පැප් පරීක්ෂණය නොමිලේ සිදු කෙරේ.

තයිරොයිඩ් පිළිකා

කටහඩේ වෙනසක්, ගිලී‍මේ අපහසුතාවයක්, කටහඬ ගොරෝසු වීම, ආහාර ගිලීමට අපහසු වීම, ජලය පානය කිරීමට අපහසුවීම රෝග ලක්ෂණ ලෙස පෙන්නුම් කෙරෙන තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකාව කාන්තාවන්ට වැලඳෙන පිළිකාවකි. සැත්කමක් මඟින් තයිරොයිඩ් ග්‍රන්ථය ඉවත් කර අදාළ ප්‍රතිකාර වෙත යොමු වීමෙන් සුවය ලබාගත හැකිය.

වළක්වාගත හැකි පිළිකාවලින් වැළකී සිටීමටත්, පිළිකා කල්තියා හඳුනාගෙන එය මර්ධනය කිරීමට හා සුවකර ගැනීමටත් කටයුතු කිරීමට ''මම හා මම කැමැත්තෙමි"

මේ කරුණ තරයේ සිත්හි තබාගෙන පිළිකාවෙන් තොර ලෝකයක් ගොඩනගන්නට අපි සැවොම වෙහෙසෙමු. 

 



අදහස් (1)

ලෝක පිළිකා දිනය අදයි

eresh S kumara Wednesday, 05 February 2020 05:03 AM

ඉතා වටිනා ලිපියක්. ස්තුතියි.

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 879 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 985 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 393 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site