(යොහාන් භාසුර)

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී ලබන ඔක්තෝබර් මස පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අතිරේක ක්‍රීඩකයන් පහක් සහ අතිරේක පුහුණුකරුවකු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වියදමින් සහභාගි කරවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ‘ලංකාදීප’යට පැවසීය.

ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන නිල සංචිතයේ ක්‍රීඩකයන් 19 දෙනාට අමතරව තවත් ක්‍රීඩකයන් පස්දෙනකු සූදානම් කර තබන ලෙස තේරීම් කමිටුව ඉල්ලා සිටි බවත් ඒ අනුව මෙම ක්‍රීඩකයන් පස්දෙනා සහ පුහුණුකරු වෙනම කණ්ඩායමක් ලෙස සහභාගි කරන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

‘කොවිඩ්’ තත්වය අනුව එම තීරණය වඩාත් හොඳ තීරණයක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිගත් බවත් ඒ අනුව මෙම හය දෙනා සූදානම් කරන බවත් සභාපතිවරයා වැඩි දුරටත් කීය.

මෙම තීරණයත් සමඟ එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 24 ක් සහභාගි වීමට නියමිත අතර ප්‍රධාන සංචිතයේ සිටින අතිරේක ක්‍රීඩකයන් සිවුදෙනා සමඟ අතිරේක ක්‍රීඩකයන් නවදෙනා තරගවලට සහභාගි වීමට නම් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) තාක්‍ෂණික කමිටුවේ අවසර ලැබිය යුතුය.

ශ්‍රී ලංකා පිල ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට පෙර ලබන ඕමානයට එරෙහිව ඔක්තෝබර් මස 7 සහ 9 දෙදින විස්සයි20 තරග දෙකකට සහභාගි වීමට නියමිත අතර ඉන් අනතුරුව ඔක්තෝබර් 12 සහ 14 දෙදින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ පුහුණු තරග දෙකකට ශ්‍රී ලංකාව සහභාගි වීමට නියමිතය.

ශ්‍රී ලංකා පිල ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ පළමු තරගයට නැමීබියාවට එරෙහිව අබුඩාබි ක්‍රීඩාංගණයේදී ඔක්තෝබර් මස 18 වැනිදා සහභාගි වීමට නියමිතව තිබේ.