(අජන්ත කුමාර අගලකඩ)

සංවර්ධන කමිටුවල සභාපතිවරුන් ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂ දෙකක මාසික දීමනාවක් ගෙවීමට අනුමැතිය ඉල්ලා ඉදිරිපත් කළ යෝජනාව අද (17) පැවැති කැබිනට් රැස්වීමේදී දෙවන වරටත් ප්‍රතික්ෂේප වී ඇත.

පළාත් පාලන පළාත් සභා සහ ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන  මහතා විසින් මීට අදාළ කැබිනට් සංදේශය ඉදිරිපත් කරන ලද අතර ජනාධිපතිවරයා එම යෝජනාවට දැඩි විරෝධය පළකිරීම හේතුවෙන් එය දෙවන වරටත් ප්‍රතික්ෂේප වූ බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

වැටුප් වැඩිවීම් ඉල්ලා විවිධ ක්ෂේත්‍ර වලින්  වෘත්තිය සටන් යන අවස්ථාවක මන්ත්‍රීවරුන් පිරිසකට මෙවැනි දීමනාවක් ගෙවීම අසාධාරණ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි ද එම ආරංචි මාර්ග කියයි.

ඒ අනුව අදාළ යෝජනාවට අනුමැතිය දීම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ බවද රජයේ ආරංචි මාර්ග වලින් පැවැසේ.

මෙම යෝජනාව පසුගිය සතියේ පැවැති කැබිනට් රැස්වීමටද ඇමැති වජිර අබේවර්ධන මහතා විසින් ඉදිරිපත් කරනු ලැබ තිබූ අතර ජනාධිපතිවරයාගේ විරෝධය හේතුවෙන් එම යෝජනාව ද ප්‍රතික්ෂේප වී තිබේ.