(අජිත්ලාල් ශාන්තඋදය)

රටේ ජනතාව අතරින්  දාහතර ලක්‍ෂයක් වූ රාජ්‍ය සේවකයින් රට සංවර්ධනය කිරීමේ ප‍්‍රමුඛ බලවේගය බවත්, රාජ්‍ය සේවයේ ඉන්න උගතුන්, බුද්ධිමතුන් බහුශ‍්‍රැතයින්, දේශපාලනඥයන්ගේ දොස් කියකියා නොඉඳ ඔවුන් සේවය කළයුතු පැය 8න් පැය 6ක්වත් හරියට සේවය කර දේශපාලනඥයින්ගේ කම්මැලිකම්, නොහොබිනාකම්, දූෂිතකම් ඔක්කොම පෙරළාගෙන ඉස්සරහට පැමිණ මේ රට ගොඩගතයුතු යැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (29) රත්නපුරේදී පැවසීය.

ඇහැළියගොඩ සහ තලාවිටියේ  විවෘත කිරීම් කිහිපයකින් පසුව රත්නපුර නව නගරයේ පිහිටි සබරගමු පළාත් සභා ශ‍්‍රවනාගාරයේ පැවති ‘සබරගමුව ලස්සනයි’ වැඩසටහන හඳුන්වාදීමේ උත්සවය අමතමින් කතා කළ ජනාධිපතිවරයා මෙසේ ද කීවේය.

"ආණ්ඩුකාර සබරගමුව ලස්සනයි කියනකොට මට කියන්න තියෙන්නේ රටම ලස්සනයි කියලා. මම අද උදේ ආවේ පොළොන්නරුවේ ඉඳලා. ඒ එනකොට පහුකරගෙන ආව පළාත්,  දිස්ත‍්‍රික් ගණනාවක් පහුකළා. ඒ හැම තැනම ලස්සනයි.

මේ ලස්සන රට ලෝකයේ අනික් රාජ්‍යයන්ට දෙවැනි නොවන තැනට පත් කරන්නට අපි ලොකු උත්සාහයක් ගන්නවා. අලුත්වැඩ පටන් ගන්නකොට සමහරු ගල් ගහනවා. ඔය ‘ලස්සන’ වැඩසටහන කරගෙන යනකොට බොහෝම දුෂ්කර වේවි. විරෝධතා ඒවි. ලස්සනට කැමති වගේම අකමැති අයත් ඉන්නවා. ඒක අපි තේරුම්ගත යුතුයි.

අපේ රට පළාත් නවයකින් යුතු පුංචි රටක්. ඒ වුණාට ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තියන රටක්. අද ලෝකයේ ලොකුම ලොක්කටත් අවුරුදු 500ක ඉතිහාසයක් තියෙන්නේ. අපි අවුරුදු දහස් ගණනක කතාවක් කියන රටක්. මීට අවුරුදු ලක්‍ෂ පහකට ඉහත මේ රටේ මිනිස් ජනාවාස තිබුණ බව මානව විද්‍යාඥයින් කියනවා. නමුත් ජනාවාස තිබුණ රටක්. අවුරුදු 50,000කට පෙර රත්නපුර දිස්ත‍්‍රික්කයේ බළන්ගොඩ යකඩවලින් නිෂ්පාදිත විවිධ කර්මාන්තයන් තිබුණ බවට සාධක තියනවා.

ඉන්දු ලංකා ගිවිසුමෙන් පස්සේ පළාත් සභා පනත සම්මත කරලා අපේ රටේ පළාත් නවයක් වුණා. මගේ මතකයේ හැටියට පළාත් සභා පිහිටුවලා අවුරුදු 30කට වැඩියි. ඒ නිසා පළාත් සභා පිහිටුවීමේ අරමුණ කොතෙක්දුරට ඉෂ්ට වෙලාද කියන කාරණය අපි ආපසු හැරී බැලිය යුතුයි.

අපේ පළාත් නවයෙ ඇතැම්විට උප සංස්කෘතීන් නවයක් තියනවා. රටක් ලෙස ගත්තහම මහා සංස්කෘතියකට අපි හිමිකම් කියනවා. භාෂාව පළාතෙන් පළාතට, දිස්ත‍්‍රික්කයෙන් දිස්ත‍්‍රික්කයට වෙනස්. මිනිසකුගේ උසින්, මිටින්, පැහැයෙන්, වර්ණයෙන්, මිනිසෙක් පිළිබඳ තීන්දු ගන්න බෑ. රටක් ගත්තාම රටක භූමි ප‍්‍රමාණයෙන් රට ගැන තීන්දු ගන්න බෑ. අපේ රට භූමියෙන් පුංචි වුණා කියලා ලෝකයේ භූමියෙන් විශාලයි කියන මහා ලොක් ප‍්‍රබලයින්ට අපි දෙවැනි වෙන්නේ නෑ.

අපි මේ උත්සාහ කරන්නේ රටක් ඉස්සරහට ගෙනියන්න. මිනිස් සමාජයක් යහපත්ව ගොඩනගනවිට භෞතික වශයෙන් දකිනවා වගේම ආධ්‍යාත්මික වශයෙනුත් ඒක ගොඩනැගෙන්න  ඕනෑ. පන්සලේ හාමුරුවෝ පැය අටක් නෙවෙයි මුළුකාලයම දැහැමි සමාජයක් ගොඩනගන්න ඇප කැප වෙනවා. අපේ රටේ ජනාධිපති, අගමැති, පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත්පාලන අයතන ගත්තාම මහජන නියෝජිතයෝ 7,000කට වැඩිය ඉන්නවා.

අපි අස්ථිරයක් කියලා හිතනවා නම් ජීවිතය, තනතුර, පදවිය අස්ථිරයක් කියලා හිතනවනම් ජීවත්ව ඉන්න කාල සීමාව තුළ යමක් කළ යුතුයි කියලා අදහසක් තියනවා. බෞද්ධ දර්ශනයත් එක්ක ජීවත්වන අපි වැඩපිළිවෙළක් කරන විට ඒක හිටගට ගන්න. අතට ගන්න. ඔළුවට ගන්න. තවත් කඩදාසියක් බවට පත් නොකරන්න. ඒ මම වෙනුවෙන් නෙවෙයි රට වෙනුවෙන්. ඔබ වෙනුවෙන්. ඔබේ දරුවන් වෙනුවෙන් සහ හෙට උපදින දරුවන් වෙනුවෙන්. අපි අපේ බලාපොරොත්තු ඉටුකරගන්නනම් සාමූහිකව ක‍්‍රියා කළ යුතුයි.

දේශපාලනයේ, රාජ්‍ය සේවයේ තනි තනිව හිතනවා. තනිතනිව වැඩකරන්න හිතනවා. තනිතනිව වැඩකරන්න යනවා. තනිතනිව හිතලා, ක‍්‍රියාකරලා ජයග‍්‍රහණය ලබන්න බෑ. හැමවෙලේම සාමුහිකත්වය තමයි වැදගත් වෙන්නේ. සාමූහිකත්වය සහ පොදු බව තුළයි ජයග‍්‍රහණ ලබාගන්න පුළුවන් වෙන්නේ. රටක් වශයෙන ඉදිරියට යනවිට යහපත් දේට ශක්තියක් සහ කැපවීමක් දෙන්න  ඕනෑ"

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන දුනේෂ් ගන්කන්ද, ඒ.ඒ. විජේතුංග, සාරතී මිත‍්‍රපාල යන මහත්වරුද, ශ‍්‍රීලංකා නිදහස් පක්‍ෂයේ රත්නපුර දිස්ත‍්‍රික් ආසන සංවිධායකවරුද, රත්නපුර සහ කෑගල්ල දිසා ලේකම්වරුද, සබරගමු පළාත් සභාවේ අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නගරයේ පාසල්වල තදබදය අවම කිරීම සඳහා තලාවිටිය විමලසාර විද්‍යාලයේ වැඩිදියුණු කළ පහසුකම් ද සිසු අයිතියට පැවරීම ජනාධිපතිවරයා අතින් සිදුවිය.