(අජන්ත කුමාර අගලකඩ)

 
කැබිනට් ඇමැතිවරුන්, විපක්ෂ නායක, හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් සහ ඊට සමාන තනතුරු දරන මන්ත්‍රීවරුන්ට රජයෙන් දී ඇති නිල වාහන මැතිවරණයේදී සිය දේශපාලන කටයුතු සඳහා යොදාගන්නේ නම්, ඒ සඳහා එක් වාහනයකට රුපියල් ලක්ෂය බැගින් මාසික ගාස්තුවක් අයකරගැනීමට රජය තීරණය කර ඇත.
 
ඒ සඳහා ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයකට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී තිබේ.
 
එම කොන්දේසියට යටත්ව අගමැතිවරයාට, කතානායකවරයාට, හිටපු කතානායකවරයාට, හිටපු රාජ්‍ය ඇමැතිවරුන්ට හා ඒ හා සමාන තනතුරක් දරන මන්ත්‍රීවරුන්ට සිය තනතුරට හිමි නිල වාහන ඡන්ද කටයුතු සඳහා භාවිත කිරීමේ අවස්ථාව හිමිවනු ඇත.
 
මේ අතර, දේශපාලන කටයුතු සඳහා ගුවන්යානා හෝ හෙලිකොප්ටර් භාවිත කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් වන සියලු වියදම්ද ඔවුන් විසින් පෞද්ගලිකව දැරිය  යුතු වේ.
 
අගමැති, කතානායක, අගමැතිවරුන් හෝ විපක්ෂ නායක තම පක්ෂයේ හෝ තමාගේ අපේක්ෂකවරුන් ප්‍රවර්ධනය සඳහා රජයේ නිල නිවාස යොදා ගන්නේ නම්, ඒ සඳහා ද රුපියල් ලක්ෂයකට මාසික ගාස්තුවක් රජයට ගෙවිය යුතු බවටද අමාත්‍ය මණ්ඩලයේ නියම කර ඇත.