(ටී.කේ.ජී.කපිල )

රුපියල් මිලියන 42 ක් වටිනා විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යාමට තැත් කළ , විදේශ මුදල් ජාවාරම්කරුවන් පස් දෙනෙකු , කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී   අද (20)   රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය .

මෙම ජාවාරම්කරුවන් පස් දෙනාම කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් අතර කාන්තාවන් තිදෙනකු සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු ද සිටිති .

මෙම විදේශ මුදල් අතර ඇමෙරිකානු ඩොලර් 22,300 ක් යූරෝ 63,500 ක් , සෞදි රියාල් 292,000 ක් , ස්ටර්ලිං පවුම් 8,725 ක් සහ ඩිරාම් 75,000 ක් ද   තිබූ බව  රේගුව කියයි.

මොවුන් පිළිබඳව ඇති වූ සැකය මත , ඔවුන් විසින් රැගෙන විත් තිබූ ගමන් මලු දැඩි සුපරීක්ෂාවට ලක් කිරීමේදී , ඒවා තුළ ඉතා සූක්ෂම ආකාරයට මෙම විදේශ මුදල් සගවා තිබියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත් අඩංගුවට ගෙන තිබුණි.

මෙසේ අත් අඩංගුවට ගත් විදේශ මුදල් තොගය සහ ඒවා නීතිවිරෝධී ලෙස රැගෙන ආ ජාවාරම්කරුවන් පිළිබඳව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ .