(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

රක්ෂිත නොවන වෙනත් වනාන්තර දිස්ත්‍රික් ලේකම්වරුන් ගේ පාලනයට යටත් කරමින් නිකුත් කර ඇති චක්‍රලේඛය අහෝසි කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂවරයා ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් වැඩි දුර කරුණු සලකා බැලීම සැප්තැම්බර් මස 24වැනිදා සිදු කිරීමට අභියාචනාධිකරණය අද දින නියම කළේය.

අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන මොහොමඩ් ලෆාර් තාහිඩ් සහ එස්. යූ.බී.කරල්ලියද්ද යන මහත්වරුන් හමුවේ මෙම පෙත්සම කැඳවා ඇත.

එහිදී කරුණු තහවුරු කිරීම සඳහා සහ ඉල්ලා සිටින අතුරු තහනම් නියෝගය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට පෙත්සම වෙනත් දිනයක කැඳවීමට තීරණය කර තිබේ.

පාරිසරික යුක්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂක හේමන්ත රංජිත් කුමාර මහතා විසින් ගොනු කළ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු පස් දෙනෙකු නම් කරනු ලැබ සිටිති.