(විනීතා එම් ගමගේ)

කොවිඩ් 19 වසංගතය පැතිරයාම හේතුවෙන් රැකියා අහිමිවූ විගමනික ශ්‍රමිකයන්ට යළි රැකියා සොයා දීමට හා ඔවුන්ට යම් වන්දි මුදලක් ලබා දීමට සහය වන්නැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ජාත්‍යන්තර කම්කරු සංවිධානයෙන් ඉල්ලීමක් කර ඇත.
 
එම ඉල්ලීම ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකාවේ  නියෝජිත සිම්රිත් සිංග් මහත්මිය සමඟ ඉකුත් දා කම්කරු අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවක දී ඉදිරිපත් කර ඇති අතර එකී ඉල්ලීම සිම්රිත් සිංග් මහත්මිය භාරගත් බව කම්කරු අමාත්‍යංශය කියයි.
 
ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව නිසි වේතන ලබාගැනීම හා වීසා ලබා ගැනීමේ දී ඇතිවන ගැටළු මෙන්ම රැකියා නියෝජිතයන් විසින් විශාල මුදලක් අයකිරීම වැනි කරුණු කෙරෙහි ද අමාත්‍යවරයා නියෝජිතවරිය ගේ අවධානය යොමු කළේය.
 
එතෙර රැකියා නියෝජිතයින් විශාල මුදලක් අයකරන බැවින් දේශිය රැකියා නියෝජිතයින් විශාල මුදලක් අයකරන්නට සිදුව ඇතැයි ඔවුන් පවසන බැවින් විදේශ රටවල නියෝජිතයින් විසින් අයකරන ගාස්තු අඩුකර ගැනීමට මැදිහත් වන ලෙසද අමාත්‍යවරයා ඉල්ලා ඇත.
 
එමෙන්ම රැකියා සඳහා විදේශ ගතවන ශ්‍රමිකය්නට වීසා ලබා ගැනීමේ ක්‍රමවේදය පහසු කිරීමට මැදිහත් වන ලෙස ද අමාත්‍යවරයා ඉල්ලා තිබේ.
 
මෙරට කම්කරු නීතිරීති ගෝලීය ක්‍රමවේදයන්ට අනුව වෙනස් කිරීමට තමන් විසින් මේ වනවිටත් පියවර ගෙන ඇතැයි ද කම්කරු අයිතීන් ආරක්ෂා කිරීම හා ක්මකරුවන් හා හාම්පුතුන් අතර සුහදශීලී සම්බන්ධතාවක් ඇති කිරීමට කම්කරු අමාත්‍යංශය හා රජය පියවර ගන්නා බව ද මෙම සාකච්ඡාවේ දී අමාත්‍යවරයා පවසා තිබේ.