( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ සියයට 40 කොටස් ඇමරිකාවේ සමාගමකට  පවරාදීමට එරෙහිව සහ එම සමාගමට ද්‍රව වායු සැපයීමේ කොන්ත්‍රාත්තුව වළක්වාලන  නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා  මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් හා  ඇල්ලේ ගුණවංශ හිමියන් විසින්  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ  මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබීය.

මෙහි වගඋත්තරකරුවන් වශයෙන් අගමැති  මහින්ද රාජපක්ෂ ඇතුළු කැබිනට් මණ්ඩලය, කැබිනට් මණ්ඩලයේ ලේකම්වරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා , නිව් ⁣ෆොට්‍රස් සමාගම , නීතිපතිවරයා ඇතුළු  54 දෙනෙකු වග උත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.

නීතීඥ මංජුල බාලසූරිය මහතා මාර්ගයෙන් මෙම පෙත්සම ගොනු කරනු ලැබ ඇත.

යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකා සමාගමකට පවරා දීමට රජය ගත් පියවර තුලින් තමාගේත් , රට වැසියන් ගේත් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ප්‍රකාශ කරන ලෙසත් , මෙම පෙත්සම් විභාගය අසා නිමවන තුරු එම සමාගමට යුගදනවි බලාගාරයේ කොටස් පවරා දීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන්නැයිද කාදිනල්තුමා හා ඇල්ලේ ගුණවංශ හිමියෝ සිය පෙත්සම මගින් ⁣ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.