(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

අද පවතින ප්‍රශ්න දිහා බැලුවම මේ රටට අවශ්‍ය වන්නේ හිට්ලර්ලා වැනි නායකයන් බව ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පාර්ලිමේන්තුවේදී අද ( 21) පැවැසීය.

සමහරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හිට්ලර් වැනි නායකයකු ලෙස හඳුන්වන බව පැවසූ අමාත්‍යවරයා  ඔහු එවැනි පන්නයේ  අයකු  නොව ප්‍රජාතන්ත්‍රවාදී නායකයකු බවද සඳහන් කළේය.

ඔහු ප්‍රජාතන්ත්‍රවාදී නායකයකු නොවේ නම්  යන දුම්රිය මිනිසුන් සමග මග නවතා ගෙන සිටින වෘත්තීය සමිති මේ රටේ තිබෙන්නේ කොහොමදැයි  ඔහු ප්‍රශ්න කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාට මඩ ගැහුවත්  කුමන විවේචන කළත් ඔහු දක්ෂ අවංක නායකයකු බවත් ඔහු රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර ඇති බවත්  චන්ද්‍රසේන මහතා කීවේය.

රජයට ලැබිය යුතු ආදායම් කොවිඩ් ප්‍රශ්නය නිසා විශාල වශයෙන් අහිමි වුණු බව පැවසූ ඉඩම් අමාත්‍යවරයා ජනාධිපතිවරයා මේ මට්ටමින් හෝ රට කරගෙන  යෑම ගැන සතුටු විය යුතු බවද සඳහන් කළේය.

රට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බවත් ලබන පෙබරවාරි මස තුන්වෙනිදා සිට රට පුරා වැඩ ලක්ෂයක් ඇරඹීමේ  වැඩපිළිවෙළක් අරඹන බවත් හෙතෙම සඳහන් කළේය.

සුළු කර්මාන්ත, පශු සම්පත්, කුඩා කර්මාන්ත, ගෘහ කර්මාන්ත  යන ආදී අංශ මේ යටතේ සංවර්ධනය කෙරෙන බවද ඔහු කීවේය.

රටේ ඩොලර් නැතිවීම  මේ ආණ්ඩුවේ ප්‍රශ්නයක් නොවන බවත් එදා රට  පාලනය කරපු උදවිය මහා භාණ්ඩාගාරයේ  ඩොලර් ගොඩ ගසා තිබුණේ නම් මෙවැනි තත්වයක් උදා නොවන බවත් එස් එම් චන්ද්‍රසේන මහතා  පැවැසීය.

ජනතාවට බොහෝ  අමාරුකම් තිබෙන බව පිළිගන්නා බවත් මේ ජීවත්වීමේ ප්‍රශ්නයට රජයක් හැටියට විසඳුම් ලබාදිය යුතු බවත්  ඔහු  ප්‍රකාශ කළේය.

අර්බුදකාරි තත්වය සමනය කර රට   සාමාන්‍ය තත්වයට ගැනීමට  හැකිවූයේ එන්නත්කරණයේ  සාර්ථකභාවය නිසා බව ඔහු වැඩිදුරටත් පැවසීය.