(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
ප්‍රබල පාතාල කල්ලි නායක මාකඳුරේ මදුෂ්ගේ ප්‍රධානතම වෙඩික්කරුවකු ලෙස සැළකෙන යුද හමුදාවේ හිටපු ලාන්ස් කෝප්‍රල්වරයකුගේ කඹුරුපිටිය නිවසක් පරික්ෂා කිරීමේදී යුද හමුදා නිල ඇදුම් තොගයක් හා ටී 56 වර්ගයේ ජීව පතොරම් 21 ක් ඇතුළු යුද උපකරණ රැසක් අද (25) සොයා ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
එම දේපොල සමඟ නිවස හිමි අදාළ සැකකරුගේ පියා ද පොලීසිය සැකපිට ප්‍රශ්න කිරීම් සඳහා අත්අඩංගුවට ගනු ලැබීය.
මාකඳුරේ මධූෂ්ගේ සමීපතම මිතුරකු ද වන සැකකාර ලාන්ස් කෝප්‍රල්වරයාගේ පන්නිපිටියේ නිවසේ තිබී රුපියල් කෝටි 700 මැණික් මංකොල්ලයට උපයෝගීකර ගත් බවට සැකකරන අත් විලංගුවක් ද පොලිසිය විසින් සොයා ගන්නා ලදී.
යුද හමුදා නිල ඇඳුම් සමඟ යුද හමුදා හිස් වැසුම්, ලාංඡන, බොත්තම් ආදී දේපොල රැසක් ද හමු වී තිබේ.
මැණික් ගල් මංකොල්ලයට අමතරව ඉකුත් වසරේ නොවැම්බර් 4 වැනි දා හක්මන ප්‍රාදේශීය සභාවේ ශ්‍රීලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී ලොකුහකුරුගේ ශාන්ත මහතා ඝාතනය කිරීම හා කඹුරුපිටියේ ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම ආදී අපරාධ රැසකට අදාළ යුද හමුදා සාමාජිකයා සම්බන්ධ වී තිබෙන බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
ඒ සියල්ල සිදුකර ඇත්තේ මාකදුරේ මධූෂ් නැමැත්තාගේ මෙහෙයවීම මත බවද පොලීසිය සඳහන් කරයි.
සපුගස්කන්ද යුද හමුදා කඳවුරේ සේවය කාලයේ දී ඔහු මෙම අපරාධ වලට සම්බන්ධ වී තිබේ. ඔහුව අත්අඩංගුවට ගැනීමට සොයන විට රාජකාරියෙන් පලා ගොස් දැනට සැගවී සිටින බවද පොලීසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකාර ලාන්ස් කෝප්‍රල්වරයාගේ 53 හැවිරිදි පියා හෙට (26) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



COMMENTS
සාපරාධී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වැරදිකාරයන් හා බඩුභාණ්ඩ සොයා අල්ලා ගැනීම සම්බන්ධයෙන් අපේ පොලිසිය මෑත කාලයක සිට දක්වන උද්‍යෝගශීලිභාවය හා කාර්යශීලිත්වය ඇත්තෙන්ම ප්‍රශංසනීයයි….ශ්‍රි ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට අපේ උත්තමාචාරය !!!
රණවිරුවන් දඩයම් කිරීම නැමති ප්‍රශ්නය පැනනගින්නේ නැද්ද?
දිනපතා බදු නම් හම්බවෙනවා. නමුත් දඬුවමක් දෙන බවක් නම් අපට පෙනෙන්නට නැත.
ලෝකයේ මොනම රටකවත් පොලිස් වැටලීමකින් අල්ල ගන්නා නඩු භාණ්ඩ ඒවා අල්ලාගත් නිලධාරීන් විසින් අත් වැසුම් නොමැතිව අත පත ගානවා අප නම් දැක නැත. මෙවැනි අවස්ථාවලදී සියලුම නිලධාරින් බදු පරික්ෂා කරන්න අත්වැසුම් පැළඳ ගෙන බවයි අප දැක ඇත්තේ.... මෙවැනි කටයුතුවලින් එම බඩු බාහිරාදිවල ඇති ඇඟිලි සලකුණු සහ වෙනත් ද්‍රව්‍ය නාස්ති වෙනවා නේද?
සිරිමල් මේවා මාධ්‍ය සංදර්ශන. නඩුවලට අදාල දේවල් කරලා අවසන් වෙලා තියන්නේ. ඊට පස්සේ තමයි මාධ්‍ය සංදර්ශන තියන්නේ.
පිලිපින් ජනාධිපතිතුමාට බැරි වෙයිද දන්නේ නැහැ නේද මාසයකට දෙකකට වගේ අපේ රට ඉල්ලං කරන්න
අර දසුන් කිව්වා වගේ අපේ රටේ අපරාධකරුවන්ට සහ මෙහෙයවන්නන් හට කිසිම අනතුරක්වත් අනතුරක සේයාවක්වත් නැහැ.
මදුෂ් කියන්නේ 100% දේශප්‍රේමියෙක්. මොහුට ඕනේ වෙලා තිබ්බේ ලංකාව ආර්ථික වශයෙන් වැදගත් තැනකට ගෙන්න. මොහු ගත්ත ක්‍රියාමාර්ග හැම එකක්ම හරි නැ, ඒ වුනත් පරමාර්ථය නිවැරදි.
පොලිසිය කියන විදිහට බලාගෙන ගියහම මදුෂ් කියන මේ අට වසරවත් සමත් නැති කෙනාට ලංකාව පුරාම ආයුධ සන්නන්ධ ගෝලයෝ ඉන්නවා. ඔහුට වුවමනාවක් තිබුනා නම්, එකවර පොලිස් මුලස්ථානෙට ජනාධිපති මන්ධිරයට පහර දීලා රටම වුනත් අල්ල ගන්න පුළුවන්කම තිබිලා තියෙනවනේ ?